
ස්වවාමීන් වහන්ස, තවත් වසරක තත්තල් උත්සවය අත ළගටම ඇවිත්. තැන තැන සැරසිලි කෙරෙනවා. මේ උත්සවය සමරන්න බැතිමතුන් බොහෝ උනන්දුවෙන් කටයුතු කරනවා. එවැනි මොහොතක බෞද්ධ භික්ෂුවක් හැටියට ඔබ වහන්සේ නත්තල දකින හැටි දැනගන්න කැමතියි. අපේ රටේ ප්‍රධාන ජාතික උත්සව කිහිපයක් තියෙනවා. ඒ අතුරෙන් සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය, වෙසක් උත්සවය, පොසොන් උත්සවය, නත්තල ප්‍රධාන තැනක් ගන්නවා. නමුත් කිතුනුවන් පවා නත්තලේ අරුත හරියට තේරුම් අරගෙන ඉන්නවා ද කියල මට නම් සැක යි. නත්තල කියන්නේ කාලබීල - නටල විනෝද වෙන උත්සවයක් කියලයි ඇතැම් අය හිතන්නේ. සල්ලි තියෙනව නම් හැමදාම නත්තල් කියන්නේ එවැනි අය බවයි මට හිතෙන්නේ.
නමුත් කිතුනු ආගමට අනුව නත්තලේ ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා. කිතුනුවන් අදහනේ දෙවියන් වහන්සේ . ජේසුසු ක්‍රිස්තුන් වහන්සේ එතුමාගේ පුත්‍රයාණෝ. එතුමා මේ ලෝකයට සාමය පිළිබඳ පණිවුඩය රැගෙන ආ ශාස්තෘවරයෙක් එකල පැවති යුදෙව්වන්ගේ ඒකාධිපති මර්දනය හමුවේ ක්‍රිස්තුන් වහන්සේ ඔවුන්ට එරෙහිව නැගී සිටියා. අහිංසක මිනිසුන්ට පිහිටවීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළා. ඒ නිසා ක්‍රිස්තුන් වහන්සේට ගෞරව කිරිම සඳහා ලෝකයේ සිටින කෝටි සංඛ්‍යාත කිතුනු ජනතාවක් එදිනට නත්තල සමරනවා.
අතීතයේ පටන් ම අපේ රට බෞද්ධ රටක් ය යන මතයක් බහුතර ශ්‍රී ලාංකිකයන් අතර තියෙනවා. එවැනි රටක කිතුනුවන්ගේ උරුමය ඔබ වහන්සේ දකින්නේ කොහොම ද?
අනුරාධපුර යුගයේත් කිතුනු ආගම පැවතුණා යැ යි අද ඇතැම් කිතුනු විද්වතුන් පවසනවා. සීගිරියේ කැණීම්වලදී පැරැණි කුරුසයක් හමු වී ඇති බවත්, ඒ අනුව ඒ සමස්ත මේ රටේ කිතුනුවන් ජීවිත් ව සිටිය බවත් මේ අය කියනවා. මෙවැනි තරක ඉදිරිපත් කිරීමෙන් අතීතයේදී ලංකාවේ කිතුනු ආගම් අදහන පිරිසක් ජීවත්ව සිටියා යැයි ඔප්පු කරන්නට බැහැ. එය ඔවුන් ගන්නා නිෂ්ඵල උත්සාහයක් හැටියටයි මම නම් දකින්නේ. වර්ෂ 1515න් පසුව ලංකාවට පෘතුගීසීන්, ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් පැමිණියා. ඉන්පසුව අපේ මුහුදුබඩ ප්‍රදේශවල තමයි කිතුනු ආගම පළමුවෙන් ම ව්‍යාප්ත වුණේ. මේ කිතුනු ආගම ව්‍යාප්ත වීම පිළිබඳ සුන්දර අතීතයක් නම් නොවෙයි තිබෙන්නේ. නමුත් දැන් පරම්පරා ගණනාවක් ඉක්මවා ගොස් අවසානයි. දැන් ජීවත් ව සිටින්නේ මේ රටේ ම මවුපියන්ගෙන් ඉපදිලා මේ රටේම හැදුණු වැඩුණු පිරිසක්. ඒ නිසා ඔවුන් දැන් අපේ ම රටේ කිතුනුවන් හැටියට අපි පිළිගන්න ඕනැ..
මුල් කාලයේ නත්තල අපට ආගන්තුක උත්සවයක් වුණත් දැන් දැන් නත්තලට දේශීයත්වයක් ලැබෙමින් තියෙනවා. ඔබ වහන්සේ මේ තත්ත්වය දකින්නේ කොහොම ද?
අතීතයේදී නත්තල පැවැත්වුණේ අපට ආගන්තුක වූ උත්සවයක් ලෙසින් තමයි. ඒ මොක ද, ක්‍රිස්තියානි ආගමත් සමග ම බටහිර සංස්කෘතියකුත් අපට ලැබුණා. ඒ බටහිර සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමට ක්‍රිස්තියානි ආගම විශේෂයෙන් ඉවහල් වුණා. නත්තල් උත්සවවල හැඩරුව, බාහිර ස්වරූපය, සම්පූර්ණයෙන්ම බටහිර රටවල නත්තල් උත්සවයක ස්වරූපය ගත්තා. පල්ලිවල දේව පූජා පැවැත්වූවේ ගීතිකා ගායනා කළේ ඉංග්‍රීසි භාෂාවෙන්.අපේම රටේ පිරිසක් අපේම සංස්කෘතියට අයිති උත්සවයකට වඩා බටහිර සංස්කෘතියට නැඹුරු උත්සවයක් ලෙසයි මෙය කාලාන්තරයක් තිස්සේ පැවැත්වූයේ. අපි දන්නවා නත්තලට 'කැරොල් ගීත' කියනවා. මේ කැරොල් කියන එක අපේ වචනයක් නො වෙයි. ඉස්සර අපි කුඩා කාලයේදී දැක්කා පාරවල 'නත්තල් ගීතිකා කණ්ඩායම්. ඒ වගෙම නත්තල් පසන් කන්තාරු කියල සංගීතමය සහ නාට්‍ය වැඩසටහන්. ඒවා උප සංස්කෘතියක් ලෙස අපේ රටේ තිබුණා.
නමුත් දැන් ක්‍රමයෙන් කිතුනු බැතිමතුන් අපේ රටේ සංස්කෘතියට අනුගත වෙමින් දේශීය සංස්කෘතික අංග නත්තලට ආදේශ කරගෙන තිබෙනවා. කිතුනුවන් අන්‍ය ආගමිකයන් සමග තියෙන සංස්කෘතික සුහදතාව වර්ධනය වීමට හොඳ ප්‍රවේශයක් ලෙසයි මම එය දකින්නේ.
දේශීය සංස්කෘතික අංග නත්තලට ආදේශ වී ඇති බව කියන්නට අපට තියෙන සාධක මොනවා ද?
අපට බුදු දහම ලැබුණේ ඉන්දියාවෙන්. නමුත් පසුව එය අපේ රටේ ආගමක් බවට පත් වුණා. හින්දු ආගමත් ඉන්දියාවෙන් ලැබුණට අපේ හින්දු බැතිමතුන් දේශීය සංස්කෘතික ලක්ෂණ උකහාගෙන තියෙනවා. ඒ වත්ම නත්තලට දේශීය සංස්කෘතික අංග එකතු කරගනිමින් නත්තල් ගීතිකා දේශීය නාද රටාවන්ට අනුකූලව ඉදිරිපත් කරනවා. ඒ විතරක් නොවෙයි. අපේ නැටුම් සංස්කෘතියේ බෙර, හේවිසි උඩරට නැටුම් ආදියත් සම්බන්ධ කරගෙන තිබෙනවා. මේ අන්‍යෝන්‍ය සුහදත්වය නිසා ඇතැම් ප්‍රදේශවල බෞද්ධ උත්සවවලට කිතුනුවන් පැමිණ ද්‍රව්‍යමය ආධාර මෙන් ම ශ්‍රමය කැප කිරීම මගින් ද දායකත්වය සපයනවා.
මීගමුව, වත්තල, සීදුව ආදි ප්‍රදේශීවල මේ තත්වය දක්නට තියෙනවා. ගමේ පන්සලේ කවදවත් ආගම් භේදයක් නැහැ. ඇතැම් පන්සල්වල මරණාධාර සමිතියේ ලොකු පිත්තල පහනක් තියෙනවා. ඒ පහන්නේ උඩ කොටසේ තියෙන ධර්ම චක්‍රය අවශ්‍ය වෙලාවට ගලවන්න පුළුවන්. කතෝලික ගෙදරක මරණයක් වුණොත් ඒ ධර්ම චක්‍රය ගලවල එතෙන්ට සවි කරන්න පුළුවන් කුරුසයක් හදල තියෙනවා. ඒ කුරුසය හයි කරල මළ ගෙදරට ගෙනියනවා. ඒ වගේ ම මේ ප්‍රදේශවල වසරක් පාසා පන්සලේ මරණාධාර සමිතියේ මියගිය සාමාජිකයන්ට පින් දීල දානයක් දෙනවා. ඒ දානෙන් පසුව එන පළමු වැනි ඉරිදට දේවස්ථානයේදී මරණාධාර සමිතියේ හිටපු සාමාජිකයන්ට ආශීර්වාද පූජාවක් කරනවා. ඒ වගේ ම ඒ ප්‍රදේශවල ඇතැම් පන්සල්වල නත්තල වෙනුවෙන් විශේෂ භක්ති ගීත සන්දර්ශනයක් පවත්වනවා. මේ සඳහා සහභාගි වන ළමයින්ගෙන් අඩක් ම බෞද්ධ දරුවෝ. ඉතිරිය කිතුනු දරුවෝ. ඒ ප්‍රදේශවල බොදු දරුවන්ට නත්තල් බැති ගීත ප්‍රසංගයට සහභාගි
වීම අලුත් අත්දැකීමක් නොවෙයි.
දැනට වසර ගණනාවක සිට ම මේ ප්‍රසංගය සිදු කරනවා. වෙසක් උත්සව දිනයේදී වෙසක් බැති ගී ප්‍රසංග සංවිධානය කරනවා. සිය ගණනක් දරුවන් සහභාගි වන මේ ප්‍රසංගයට කතෝලික දරුවන් ද ගායනයට එක් වෙනවා. දරුවන් මේ සඳහා උනන්දුවෙන් සහභාගි වෙනවා පමණක් නො ව, මවුපියන් ද තම උපරිම දායකත්වය ලබා දෙනවා. පන්සලේ පින්කමට පල්ලියේ පියතුමා සහභාගි වෙනවා. ඒ වගේම පල්ලියේ මංගල්‍යයට පන්සලේ හාමුදුරුවන්ට ආරාධනා ලැබෙනවා. ඒ නිසා විශේෂයෙන් මේ ප්‍රදේශවල පන්සලත් පල්ලියත් අතර වෙන් කළ නොහැකි සහෝදර බැම්මක් ඉදි වී තිබෙනවා.
අපේ රටේ බහුතර ජනතාව බෞද්ධ. ඔවුන්ට මේ නත්තල වෙනුවෙන් ඔබවහන්සේ දෙන පණිවුඩය කුමක් ද?
බෞද්ධයෝ කියන්නේ බොහොම නිදහස් ව හිතන්න පුළුවන් පිරිසක්. වෙනත් ආගමක ආගමික නායකයෙක් ළග ශ්‍රේෂ්ඨ ගුණාංග තියෙනවා නම් ඔවුන්ට ගෞරව කරන්න බෞද්ධයෙකුට කිසි ම බාධාවක් නැහැ. ඒ වගේ ම බුදු දහමේ කියන්නේ නැහැ අන්‍ය ආගම් හෙළා දකින්න කියලා. එහෙමත් නැති නම් අන්‍ය ආගමිකයන් පලවාහරින්න කියලා. මේ වගේ අපේ සහෝදර ජනතාවක් තමන්ගේ ආගමික වතාවත් සිදුකරන අවස්ථාවක බොහොම සුහදත්වයෙන් ඒ සඳහා ආශීර්වාද කරන්න පුළුවන්. ඇත්තෙන් ම, කිතුනුවන් ක්‍රිස්තුන් වහන්සේ සලකන්නේ දෙවියන් වහන්සේන්ගේ පුත්‍රයෙක් ලෙසටයි. එසේත් නැතිනම් දෙවියන් වහන්සේ ගේ ඉගැන්වීම ලෝකයට ඉදිරිපත් කිරීමට පැමිණ නියෝජිතයෙක් හැටියටයි.
කිතුනු දහම යනු දේව වාක්‍යයක් හෝ දෙවියන් කියාපු දෙයක් හෝ වේවා, අපි ගරු කරන්නේ ඒ ආගමේ ශාස්තෘවරයා වූ පේප්පුතුමන්ගේ මුවින් පිට වූ වදන්වලට යි. යහපත් සමාජයක් උදෙසා එතුමා බොහෝ දේ ප්‍රකාශ කළා. "ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න” කියලා තියෙනවා. අපේ බුදුහාමුදුරුවෝ "සියලු සත්වයෝ සුවපත් වේවා!" යනුවෙන් දේශනා කළේත් එවැනි දෙයක් තමයි. තමා හැර අනෙක් සියලු දෙනාම අසල්වැසියෝ. ඒ කිසිවකුටත් වෛර කරන්නේ නැතිව ක්‍රෝධ කරන්නේ නැතිව සියලු දෙනා සමග ම කරුණාවෙන් ජීවත් වෙන්න කියලයි මේ හැම ශාස්තෘවරයෙක් ම දේශනා කර තිබෙන්නේ. අපේ ආගම්වල තියෙන පොදුවේ අපි කාටත් එකඟ වෙන්න පුළුවන් බොහෝ දේවල් සමග අන්‍යෝන්‍ය වශයෙන් සුහදත්වයෙන් කටයුතු කරන්නට නත්තලත් එක අවස්ථාවක්. අප සුබවාදීව මේ දිහා බලල, සියලු කිතුනු බැතිමතුන්ට මේ නත්තල සතුටින් ආගමික භක්තියෙන් යුතු ව ගත කරන්නට අවස්ථාව ලැබේවායි ප්‍රාර්ථනය කළ යුතුයි. එවැනි මානසිකත්වයක් ඇති කරගත්තොත් එය අපේ රටේ ආගමික සහජීවනය වැඩිදියුණු වීමට එක්තරා අවස්ථාවක් කරගන්න පුළුවන්.
Comments
Post a Comment