gossiplanka image 1
 


 


ස්වාමීන් වහන්ස වෙසක් උත්සවය බෞද්ධයකු සැමරිය යුත්තේ කෙසේ ද?


හෙළ නරපතියන් ඇතුළු බෞද්ධ ජනතාව විසින් සියවස් ගණනාවක් තිස්සේ පවත්වාගෙන ආ වෙසක් උත්සවය මේ දක්වා ම අඛණ්ඩව පවත්වාගෙන එනු ලබනවා.එහිදී බුදු සිරිත ඇසුරෙන් නෙත් බඳනා වෙසක් පහන්, තොරණ සැරසිලි, සවන් පිනවන බොදු ගී ගායනා, නහය පිනවන සුවඳ දුම් පූජා, දිව පිනවන ආහාර පාන දදීම්, කය සනහන ලේ දන්දීම, ගිලන් උවටැන් ආදි කුසල් සිත් වඩවන ආමිස පූජාවන්ගෙන්

බොදු ජනතාව ලබන්නේ අසීමිත සුවයක්. තවත් පිරිසක් අටසිල් දසසිල් සමාදන් වීම, භාවනා කිරීම ආදි මනස පිරිසුදු කරන ප්‍රතිපත්ති පූජාවන්ගෙන් ලබන්නේ නිරාමිස සුවයක්.


මෙවැනි ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්හි හැමදාමත් නිරත වන්නේ එක ම පිරිසක්. වෙසක් දිනයේදී වත් පන්සල් එන්නේ නැති බෞද්ධයෝ වර්තමාන සමාජයේ ඉන්නවා වෙන්ද?

අපේ බෞද්ධ සම්ප්‍රදාය තීරු ගණනාවකට බෙදී තිබෙනවා.

1. සදාචාරත්මක බුදු දහම

2. දාර්ශනික බුදුදහම

3. ජනප්‍රිය බුදුදහම

4. සංස්කෘතික බුදුදහම

ඉහත පැනයට මේ පදනම මත සිට කතා කිරීම මා සිතන්නේ වඩාත් ඵලදායකයි. නිති පන්සිල් රකින, පොහෝ දිනයේදී පෙහෙවස් සමාදන් වී අටසිල් රකින උපාසකඋපාසිකාවන් වැඩි පිරිසක් ඉන්නේ සදාචාරාත්මක බුද්ධාගමේ. සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකික ජන සමාජයේ බෞද්ධ සම්ප්‍රදායන් ආරක්‍ෂ කරන්නේ මේ පිරිස යි. හොඳ කරන, හොඳ අගය කරන, නරක නොකරන, නරක පිටුදකින, පිරිසක් හැටියට මේ අය ඉහළින් පිළිගැනෙනවා. ඔවුන් දන් දෙනවා, සිල් රකිනවා, පන්සල් යනවා, යහපත් දේ කරනවා, යහපත් දේ කරන අය අගය කරනවා, නරක අය පිටු දකිනවා. මේ පිරිසට අමතරව දාර්ශනික ප්‍රස්තුත පදනම් කරගත් බෞද්ධ පිරිසකුත් ඉන්නවා. ඔවුන් බහුල වශයෙන් විහාරස්ථානය සමග ඇලී ගැලී සිටින්නේ නැහැ. දන් පහන් පූජා කිරීම, පිරිත් දේශනා කරවීම්, බෝධි පූජා පැවැත්වීම් ආදියට සහභාගි වන්නේ බොහෝම අඩුවෙන්. . නමුත් මේ අය දාර්ශනික ප්‍රස්තුතයන් ගැන කතා කරනවා. අභිධර්මය, නාම රූප අතර ඇති වෙනස, භාවනා වැනි ගැඹුරු ධර්ම කරුණු පිළිබඳ සත්‍ය ගවේෂණයෙහි නියැලෙනවා. ශාස්ත්‍රීය පොත් කියවනවා. මෙහි සමාජමය වශයෙන් පන්ති ස්වභාවයකුත් තියෙනවා. මේ පැළැන්තිය තුළ "අපි භාවනා කරන කණ්ඩායමක්, අපි අසවල් පන්සලට යන්නේ, අපේ ගුරුවරයා අසවල් හාමුදුරුවෝ” මේ ආකාරයේ පුංචි සමාජ කුලකයක් එහෙමත් නැති නම් ද්විතීයික සමාජ කණ්ඩායමක් ලෙසටයි හැසිරෙන්නේ. විශේෂයෙන් නගර ආශ්‍රිතව වෙසෙන මේ පිරිස කතා බස් කරන්නේ අනෙකාව තරමක් දුරට හෙළාදකින ආකාරයට යි. ජ


නප්‍රිය බුද්ධාගම සහ සංස්කෘතික බුද්ධාගමට අයත් පිරිසගේ කාර්ය භාරය කෙබඳු ද?.


ඉහතින් සඳහන් කළ සමාජ තීරුවලට අමතර ව ජනප්‍රිය බුද්ධාගම සහ සංස්කෘතික බුද්ධාගම පවතිනවා. අපි මෙහෙම හිතමු. ගමේ බෝක්කුව ළඟ තරුණයෝ පිරිසක් ඉන්නවා. ඔවුන් ඒකරාශි වන්නේ ත්‍රීවිලර් කණ්ඩායම්, පාසල් හැරගිය අය ගේ ක්‍රීඩා සමිති ආදිය සමගයි. මෙහි ඇතැම් ඒවා නිල ලත් සමාජ කණ්ඩායම්. නමුත් සමහර ඒවා නිල නොලත් බෝක්කු කණ්ඩායම්. එතැනත් සමාජ උපකුලකයක් තියෙනවා. ඒ අයගේ භාෂා විලාසය, ආදායම් මාර්ග, ජීවන පරමාර්ථ වෙනස්. නමුත් මේ අයත් බෞද්ධයෝ. ඔවුන් අගය කරන්නේත් ජනප්‍රිය ධර්ම දේශනා සහ ප්‍රකාශන. සමාජ සම්මතයන්ට පහර දෙන, සමාජයේ ඉහළ තනතුරක සිටින කෙනකුට පහර දෙන ධර්ම දේශනා ශ්‍රවණය කරන එක්තරා ආකාරයක ආත්ම තෘප්තියක් ලබනවා. මේ සකලවිධ සමාජ තීරු අතරට තවත් එක සමාජ තීරුවක් තියෙනවා. ඒ සංස්කෘතික බුදු දහම. මම දකින ආකාරයට මේ පිරිස තමයි වැඩිපුර ම ඉන්නේ. අලුත් නිවෙසක් ඉදි කළ විටදී මේ අය පළමුවෙන්ම කරන්නේ ‘බුදු සරණයි', 'දෙවි පිහිටයි, කියා ලිවීම යි. 'ජේසු පිහිටයි’ කියන තැනැත්තාත් සංස්කෘතික බෞද්ධයෙක්. තමන්ගේ තාත්තා ඉදිරියේදී දුම් පානය නොකරන කිතුනු සහෝදරයෙක් ඉන්නවා නම් ඒ තැනැත්තා සංස්කෘතික බෞද්ධයෙක්. ශ්‍රී ලංකාවේ සිටින කිතුනුවන් වැඩි පිරිසක් ජාකෝමේ ගොන්සාල්වේස් කිතුනුවෝ. කිතුනු දහම ශ්‍රී ලාංකික කිරීමට උත්සාහ කළ පළමුවැනි පියතුමා එතුමා යි. ඒ නිසා ජාකෝමේ ගොන්සාල්වේස් කිතුනුවෝ කියන්නේ සංස්කෘතික බෞද්ධයෝ යි.වෙසක් කුඩු, තොරණ ඉදි කිරීම නිෂ්ඵල ක්‍රියාවක් වෙසක් දවසට පන්සලට ගිහින් බණ ඇසීම, භාවනා කිරීම පමණක් ප්‍රමාණවත් කියලා ඇතැම් අය පවසනවා. ශ්‍රී ලංකාව යනු මහා සංස්කෘතික දේශයක්. මේ සංස්කෘතික දේශයේ අනන්‍යතා ම ලක්ෂණය සංස්කෘතිය යි. ඒ නිසා වඩ වඩා සංවර්ධනය විය  යුතේ ද එය යි. බෞද්ධයා තුළ මෙකී සංස්කෘතික බුදු දහම ආරක්ෂා වීමට නම් වෙසක් කුඩු, තොරණ හදන්න ඕන, දන්සල් දෙන්න ඕන. වෙසක් කුඩුවක් හදන තැනැත්තාට දින ගණනාවක් ඒ සඳහා වෙහෙසීමට සිදු වෙනවා. ඒ නිසා ඔහුට සිල් ගන්න ලැබෙන්නේ නැහැ. නමුත් කෙනෙක් කියන්න පුළුවන් වෙසක් කුඩුව හදන කාලය සිල් සමාදන් වීමට ගත කළා නම් හොඳයි' කියලා මම ඒ මතයේ නොවෙයි ඉන්නේ. වෙසක් කුඩුවක් හැදීම තුළ ගැඹුරු සංස්කෘතියක් තියෙනවා.


වෙසක් කුඩුවක් හැදීම තුළ තිබෙන සංස්කෘතිය කුමක් ද?


උදාහරණයක් ගනිමු. අපි පොඩි කාලේ සරුංගල් හැදුවා. අනේ ඒකට විඳපු දුකක්. බට පතුරු හොයන්න යන්න ඉස්කෝලෙ නිමා වන තුරු නොඉවසිල්ලෙන් ඉන්නෙ. කුස්සියෙ තියෙන මන්නය ඒකට ගන්නෙ. අම්මගෙන් බැනුම් අහල ඉවරයක් නැහැ. බොහොම අමාරුවෙන් බටපතුරු එකතු කරල සරුංගලය බැඳගත්තත් කොළ හොයන්න ඕන. කොළ ගන්න සල්ලි නැහැ. පස්සෙන් ගිහිල්ලා නැන්දලට මාමලට කියලා, කොළ ටික එකතු කරගන්නවා. කුස්සියට ගිහින් බත් ඇට ටිකක් අරන්ගෙන සරුංගලේ අලවාගන්නවා. ඒත් මේකට නැට්ටක් නැහැ. හරි අමාරුවෙන් කල්පනා කරල පත්තර කොළයක් අරගෙන රැලි කපල එල්ලනවා. නැතිනම් පොල් කොළයක් එල්ලනවා. දැන් මේක යවන්න නූල් නැහැ. අම්මා මහන මැෂිම ළඟ කැරකිලා බොහොම අමාරුවෙන් නූල් ටිකක් ඉල්ලගන්නවා. මේ විදිහට සරුංගලය නිමා කරන්න

මේ දරුවා මොන තරම් වෙහෙසක් ගත්තා ද? ඉන් පසු තවත් යහළුවො හත් අට දෙනෙක් සමග වෙල් ඉපනැල්ලට ගිහිල්ලා සරුංගල් යවනවා. ඒත් මේක කූරිය ගහනවා. ඒත් උත්සාහය අත් හරින්නේ නැහැ. වෙලේ දුවද්දී මඩේ වැටෙනවා. නැවත නැවතත් උත්සාහ කරනවා. මේ විදිහට

බොහොම අමාරුවෙන් සරුගලය ඉහළට අදනවා. වැඩි වෙලාවක් විනෝද වෙන්න ලැබෙන්නේ නැහැ. ලොකු සුළඟක් ඇවිත් සරුංගලය කඩාගෙන යනවා. හරිම දුකයි. ඇස්වලට කඳුළු එනවා. විශාල කැපකිරීමක් කරලා අහිමි වෙනකොට හරිම දුක යි. මෙන්න මෙතැනයි සංස්කෘතිය සංවර්ධනය වූ තැන. සරුංගලය හදල නිමවෙන තුරුම ළමයා තුළ සංවර්ධනයක් සිදු වුණා.


ළමයා තුළ ඇති වූ සංවර්ධනය කෙබඳු ද?


තමාගේ ඉලක්කය කරා ගමන් කිරීම, ජයග්‍රහණය කළ හැක්කේ හුදෙකලාවෙන් නො වෙයි. සහයෝගයෙන් යමක් කළ හැකි ය යන අන්තර් මානසික සංවර්ධනය, මෙබඳු දේ සඳහා නිරන්තර උත්සාහයක නිරත විය යුතු ය යන මනස සංවර්ධනය වන්නා වූ සියලු සත් සිතිවිලි සමුදාය ම ඇති වන්නේ මේ ක්‍රියාකාරකමත් සමග යි.


වර්තමානයේ ඒ තත්ත්වය වෙනස් වෙලා?


 ඔව්. දැන් ඒ තත්ත්ව ය වෙනස් වෙලා. සරුංගල් කඩේ විකුණන්න තියෙනවා. කවුරු හරි පුතෙක් කියනවා තාත්තට " තාත්තෙ, මට සරුංගලයක් අරන් දෙන්න” කියලා. තාත්තා කිසි ම ලෝබකමක් නැතිව එකෙන් බැහැල ගිහිල්ලා හොඳ ම  සරුංගලයක් අරන් දෙනවා. ඒ දරුවා සරුංගලය අරින්න ගිහින් නූල කඩාගෙන ගියා ම මොකක් ද කරන්නේ? තාත්තා ළඟට දුවගෙන ඇවිත් " තාත්තේ මගේ සරුංගලය කඩාගෙන ගියා, තවත් එකක් අරන් දෙන්න” කියනවා. දැන් මේ තත්ත්වය තුළ සංවර්ධනය වූ සංස්කෘතික භාවය කුමක් ද? කිසිවක් නැහැ.

සරුංගලය නැති වූ බව දරුවා පියාට දැනුම් දුන්නා. ඒ දැනුම් දීම මත දරුවාට කීකරු වූ පියා පාරිභෝගික සමාජය අප තුළ නිර්මාණය කර ඇත්තා වූ මිල දී ගැනීම සංකල්පයේ පාරිභෝගික භාණ්ඩයක් බවට පත් වූ සරුංගලය මිල දී ගත්තා. මිල දී ගැනීම නිසා ම ඒ පිළිබඳ අගයක් නැහැ. වෙසක් කූඩුවක වැඩි ම වටිනාකම තියෙන්නේ වෙසක් පෝය දවසේ රෑ වන තුරු පමණ යි. වෙසක් කූඩුව ප්‍රදර්ශනය කරන්න ආරම්භ කරන කොට ඊට අදාළ සංස්කෘතිය සංවර්ධනය වෙලා ඉවර යි.


පාරිභෝගික ආර්ථිකය සහ සංස්කෘතියක භාවය අතර ඝට්ටනයෙන් ඇති වන බලපෑම කවරේ ද?


පාරිභෝගික රටාව විසින් වැඩියෙන් ම පහර දී තිබෙන්නේ සංස්කෘතියට යි. පවුල් ජීවිත්තේ උදේ සිට රෑ වන තුරු ම සිදු වන්නේ පාරිභෝගික ආර්ථිකය සහ සංස්කෘතික භාවය අතර ඝට්ටනය යි. රාත්‍රී නින්දට යෑමට සූදානම් වී බුදුන් වැඳීම සහ රූපවාහිනිය බැලීම් අතර තියෙන ඝට්ටනය බලන්න. සංස්කෘතික භාවයක් ඇති ගෙදර බුදුන් වැඳීමේදී ගෙදර සියලු සාමාජිකයන් ආගමත් සමග එකට එකතු වෙනවා. කතා කරනවා, පිරිසුදු ඇඳුම් අඳිනවා.ගෙදර සුවඳවත්, කඩන්නේ මල්, පාරිභෝගික ආර්ථිකයේ නිර්මාණයක් වන රූපවාහිනියේ කඩන්නෙ වෙන මල් ජාතියක්. පෙරන්නෙ පැණි. ටෙලිෆෝන් සහ ටෙලිවිෂන් සමග මල් කැඩීම වෙනස්. පැණි පෙරිල්ල වෙනස්. එහිදී එකට ඒකරාශි වීමක් නැහැ. මතවාදී ව එකතු වීමක් නැහැ. එක එක්කෙනා වෙන වෙන ම රුපවාහිනී නාට්‍යයත් සමග ඒකාත්මික වෙලා. නිදාගන්නේ මොන ඇඳුම් පිටින් ද කියලවත් මතක නැහැ. හෙට දවසේ නිවෙසේ සිදු වන දේ පිළිබඳ සාමාජිකයන් අතර සාකච්ඡාවක් නැහැ.


ස්වාමීන් වහන්ස, වෙසක් දිනට නොකළ යුතු දේවල් මොනවා ද?


සංස්කෘතික ස්වභාවය අවතක්සේරුවට පත් කරන්නා වූ දේවල් නොකළ යුතු යි. වෙසක් දිනයේදී පෙන්වන ඔළු බක්කන් ප්‍රසංගයෙන් සංස්කෘතිය සංවර්ධනය වෙන්නේ නැහැ. නමුත් රූකඩ කියන්නේ අපට ම ආවේණික වූ සංස්කෘතික අංගයක්. අපි හිතමු අරිෂ්ඨ බෝතලයක් තියෙනවා. ඒකට කසිප්පු දැමූ විට රාමුව අරිෂ්ඨයි, අභ්‍යන්තරය කසිප්පු. ඒ වගේ ම කසිප්පු පෙනුමක් තියෙන බෝතලයකට අරිෂ්ඨ දානවා. කසිප්පු පෙනුමයි, නමුත් අරිෂ්ඨ අන්තර්ගත වෙනවා. ඔළුබක්කන් යොදාගෙන ජාතක කතාවක් නිර්මාණය කිරිම කසිප්පු බෝතලයකට අරිෂ්ඨ දැම්මා වගෙයි. රූකඩවලින් තුට්ටු දෙකේ කතාවක් නිර්මාණය කිරිම අරිෂ්ඨ බෝතලය කසිප්පු දැම්මා වගෙයි. ඒ දෙක ම කළ යුතු දේවල් නො වෙයි. මෙහිදී රජයේ මාධ්‍ය කටයුතු කරන්නේ රට පෙරට සංකල්පය මත යි. රට පෙරට යනෙහි අරුත් දෙකක් තියෙනවා. එනම් රට ප්‍රගතිශීලීව ඉදිරියට ගමන් කිරීම, රට පෙර තිබුණු සංස්කෘතියට ගමන් කිරිම. මේ දෙඅංශයෙන් ම රට සංවර්ධනය විය යුතු යි. මීට දශක දෙකතුනකට පෙරදී තිබුණු කටු මැටි ගහපු මාන  සෙවිලි කළ නිවෙස ටයිල් ඇල්ලූ තහඩු සෙවිලි කළ ගෙයක් බවට පත් වුණාට කිසිදු ගැටලුවක් නැහැ. කොළඹ හතේ පිහිටි තට්ටු කිහිපයකින් සමන්විත ඇතැම් සුපිරි නිවාසවල පැරැණි සංස්කෘතිය තවමත් තියෙනවා. ඒ නිසා රටක පාරිභෝගික භාණ්ඩ සහ භෞතික සැප සම්පත් බහුල වීම එහි සංස්කෘතියේ ඉදිරි ගමනට බාධාවක් නො වෙයි. නමුත් මාන සෙවිලි කළ බිම මැටි ඇතිරූ ගෙදර අසංස්කෘතික මිනිසුන් තවමත් ජීවත් වෙනවා. ඒ නිසා සංස්කෘතිය රැඳෙන්නේ ජීවන රටාවත් සමග නො වෙයි. සංස්කෘතිය සංවර්ධනය කිරීම හැම දෙනා ම එකතු වී කළ යුත්තක්.