gossiplanka image 1
 


ස්වාමීන් වහන්ස, සිංහල අවුරුදු උත්සවය ආරම්භ වුණේ කොහොම ද?


අවුරුදු උත්සවයක් පිළිබඳ අපට හමු වන පැරැණි ම වාර්තාව වන්නේ රොබට් නොක්සගේ විස්තරය යි. රජ මාලිගයේ දොරටුවක් පාසා තොරණ බැඳ, කොඩි සේසත් නංවා, අතිශය අලංකාර ලෙස සරසා තිබුණු අතර, මහරජතුමා විසිතුරු ඇඳුමින් සැරසී, ප්‍රීතිමත්ව ජනතාව හමුවට පැමිණෙන බව එහි සඳහන් වෙනවා. සෑම තරාතිරමක ම පිරිස් රජතුමා හමු වී, තෑගි බෝග පිරිනැමීම ද මේ උත්සවයෙහි අංගයක් වූ බව පැවසෙනවා. රටේ ජනතාව මේ උත්සවය කෙසේ සැමරුවේ දැ යි මේ වාර්තාවේ අන්තර්ගත වී නැහැ. එහෙත් නුවර යුගයට අයත් ග්‍රන්ථයක් වන අවුරුදු මාලය' නමැති කෘතිය සිංහල අලුත් අවුරුදු උත්සවය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් ඉදිරිපත් කරන පැරැණිතම ලේඛනය විදිහට හඳුන්වන්න පුළුවන්.


අවුරුදු චාරිත්‍ර සඳහා පූර්වාදර්ශය ලැබුණේ භාරතයෙන් ද?


ලාංකික සංස්කෘතිය තුළ විද්‍යමාන වන උත්සව පිළිබඳ විමසා බැලීමේදී පැහැදිලි වන්නේ, ඉන් බොහොමයක් භාරතීය බලපෑම් හෝ ආභාසය ඔස්සේ මෙරට ජන ජීවිතයට පිවිස ඇති බව යි. බුදු දහමත්, බෞද්ධ සංස්කෘතියත් භාරතයෙන් බිහි වී, පෙරදිග රටවලට ව්‍යාප්ත වූ බව අප දන්නවා. අවුරුදු උත්සවය කියන ජ්‍යොතිෂ ශාස්ත්‍රය හා සම්බන්ධ නැකතක් හෝ නැකැත් කිහිපයක් මුල් කරගෙන පවත්වනු ලබන විසිතුරු උත්සවයක්. ජ්‍යොතිෂ ශාස්ත්‍රය භාරතයෙන් අපට ලැබුණු දායාදයක්. එහෙම නම් නැකැත් පිළිබඳ පූර්වාදර්ශය ලැබුණේ  භාරතයෙන් බව අවිවාදයෙන් පිළිගත යුතු යි. සූර්ය මාස ක්‍රමය අනුව අලුත් අවුරුද්ද උදා වන්නේ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණීමත් සමඟ යි. නක්ෂත්‍රානුකූලව ඉන්දියාවේ වසන්ත උත්සවය පවත්වන කාලය යි. ඍතු බෙදීමේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යම් අසමානතා තිබුණත්, ඉන්දියාවේ වසන්ත සමය උදා වන වකවානුව, ශ්‍රී ලංකාවේ ද සෞභාග්‍යවත් සම්පන්න කාලයක්. බක් මාසය භාග්‍යවත් මාසයක් වන්නේ ඇයි? . ඒ සඳහා තුඩුදුන් හේතු දෙකක් තියෙනවා. අස්වනු නෙළා අවසන් වීම නිසා ජනතාවගේ අත මිට සරු වී, සිත් සතන් ප්‍රබෝධවත් වීම එක් කරුණක්. සෞම්‍ය දේශගුණය නිසා තුරුලිය මලින් පලින් බර වී, කුරුල්ලන්ගේ නදින් මිහිරි වී, සොඳුරු පරිසරයක් නිර්මාණය වෙනවා. සතුටු වන්නටත්, සැණකෙළි පවත්වන්නටත් සුදුසු මානසිකත්වයක් මෙන් ම, පරිසරයක් ද පවතින බක් මාසය, භාග්‍යවත් මාසයක් ලෙසත් හඳුන්වන්නේ ඒ නිසයි.


චාරිත්‍ර විධි ඉටු කිරීම බෞද්ධයාට කොතරම් දුරට ගැළපෙනවාද?


ලෝකයේ දියුණුවට පත් වූ සෑම රටක් ම ඒ තත්වයට පත් වී තිබෙන්නේ කම්මැළි නැතිව වෙලාවට වැඩ කිරීම නිසයි. ඒත්  අපට තිබෙන ලොකු ම දුර්වලකම වෙලාවට වැඩ නො කිරිම සහ නිකරුණේ කාලය ගත කිරීම යි. සිංහල අලුත් අවුරුද්දේදී වෙලාවට වැඩ කිරීමේ වටිනාකම අපට අවබෝධ කර දෙනවා. සිංහල අවුරුදු සිරිත් විරිත් අතර පුණ්‍ය කාලයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. සංක්‍රාන්ති සමය ලෙස හඳුන්වන මේ කාලය සාමාන්‍ය ජනතාව හඳුන්වන්නේ නොනගතය ලෙසට යි. ගෙවී ගිය වසරත්, උදා වන වසරත් අතරට වැටෙන මේ කාලය තුළ බෞද්ධයා පුරුදු වී ඇත්තේ ගමේ විහාරස්ථානයට ගොස් තුනුරුවන් වන්දනා කිරිමට යි. එහිදී දෙවිදේවතාවුන්ට, විශේෂයෙන් ඉටු දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. එය උදා වන වසරට ඉෂ්ට දේවතාවුන්ගේ ආශීර්වාදය ලබාගැනීමක්. " ඉෂ්ට දේවතා නමස්කාරය අවුරුදු උත්සවයේ වැදගත් අංගයක්, වෛදික පිළිගැනීම්වලට අනුව දේවතාවුන් වහන්සේ රාශියක් වැඩ වෙසෙනවා. අහසේ, පොළොවේ, දෙව්ලොව, චෛත්‍ය, ආරාම හා වෘක්ෂ ආදියෙහි වසන විවිධ දෙවි දේවතාවුන් ඒ අතරට අයත් වන එක් කොටසක්. ලෝවැසි ජනයාගේ අභිවෘද්ධිය යහපත සලසන දේවතාවන් ඉෂ්ට දේවතාවන් ලෙස සැලකෙනවා. භාරත ජනතාව අතර පැවැති මේ අදහස බෞද්ධයන් අතරට පැමිණ තිබෙනවා. විමාන වත්ථු, ප්‍රේත වත්ථු ආදි බෞද්ධ පොත්පත්වල අන්තර්ගත කරුණු ඊට උදාහරණ සපයනවා.


සිංහල අවුරුදු උත්සවයේ ඇති 'සමාජීය වටිනාකම' කුමක් ද ?


සිංහල සිරිත්, විරිත් ලොව සෑම සංස්කෘතික ලක්ෂණයකට ම වඩා කැපී පෙනෙන්නෙත්, අබිබවා යන්නේත්, ප්‍රෞඪත්වයෙන් ඉස්මතු වී ඇත්තේත් නිර්මල සංස්කෘතියක් අප සතුව පවතින නිසා යි. සිංහයා බුදු සමයෙන් ලද හික්මීම අනුව, වසර ගණනාවක සිට අදීන හා සරල සිරිත්වලට යොමු වූ පිරිසක්. බෞද්ධ ඉගැන්වීම්වලට අනුව යහපත් ජීවිතයක පැවතිය යුතු කුදුමහත් සෑම ලක්ෂණයක් ම අවුරුදු චාරිත්‍ර අතර දක්නට ලැබෙනවා. සහජීවනය, වැඩිහිටියන්ට සැලකීම, කෘතෝපකාර, වෙලාවට වැඩ කිරීම, ආගමික වතාවත් ඒ අතර ප්‍රධාන යි.

සිංහල අවුරුදු උත්සවය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සමාජයට නැවුම් බවක් ගෙන දෙනවා. ඉතා පිරිසුදු රත්තරන්  වුවත්, කල් යාමේදී අවපැහැ ගැන්වීම ස්වාභාවිකයි. එවිට එය යළි පිරිසුදු කරන්න ඕන. යළිත් එහි ප්‍රකෘති තත්ත්වය මතු වන්නේ එසේ වරින් වර පිරිසුදු කිරිමෙනුයි. සමාජය ද එබඳු යි. මිනිසුන් එකට ජීවත් වන විට විවිධ හැලහැප්පීම්වලට මුහුණ දෙන්න වෙනවා. වාද භේද, අඬ දබර, නොමනාපකම් ඇති වෙනවා. ඒ සියල්ල ම සිංහල අලුත් අවුරුද්ද උදාව හා සමග බැඳුණු සිරිත් විරිත් මගින් බැහැර කෙරෙනවා. එමගින් සමාජය යළි ඒකාත්මිකව ප්‍රකෘති සහජීවනය ලබනවා. අවුරුදු උත්සවයේ හරයත් සමාජීය වටිනාකමක් ඇති වන්නේ එවිට යි. .


අවුරුදු සිරිත් - විරිත් ඉටු කිරිම "ආධ්‍යාත්මික ප්‍රබෝධයකට” ඉවහල් වන බව පැවසෙනවා?



සිංහල අලුත් අවුරුද්ද තරම් සමස්ත සමාජය ම ආදරයෙන් බැඳෙන තවත් උලෙළක් නැති තරම්. ක්‍රෝධය, වෛරය, තරහව, පසුතැවීම, දුක, ආවේගය, ශෝකය ආදි නිරෝගී දිවියට වින කරන සියලු දේ ඉවත ලා, මවුපිය - දුදරුවන්, ගුරුවරුන්-ගෝලයන්, වැඩිහිටියන් - බාලයන්, ගෞරවය, ආදරය එකින්නෙකාට පුද කරනවා. මුළු අවුරුද්ද පුරා ම ගෙදර මවුපියන්, වැඩිහිටියන්ගේ අවවාද නොතකන දරුවෝ, අවුරුදු දිනයේදී බුලත් හුරුලු දී, පාද නමස්කාර කර, සිදු වූ වැරැදිවලට සමාව ලබාගන්නවා. මුළු අවුරුද්ද ම වැරැදි දිවිපෙවෙතක් ගත කළ පුද්ගලයා, ලබන්නා වූ අවුරුද්දේ නිවැරැදි ජීවිතයක් ගත කිරීමට අධිෂ්ඨාන කරගන්නවා. අපගේ සිංහල අලුත් අවුරුදු සිරිත් විරිත් තුළ ආධ්‍යාත්මික සහනය රැකගැනීම සඳහා කර ඇති අවධානය බලන්න වටිනවා. අවුරුද්දේ පුණ්‍ය කාලය ගත කරන්නේ පන්සලේ යි. මල්, පහන්, සුවඳ දුම් පූජා කර, සංඝරත්නයේ ආශීර්වාද ලබාගෙන, උදා වන්නා වූ වසර පුරා ම ජය සතුට උරුම කරන බව සිතන්හි ධාරණය වීමෙන් ඇති වන්නේ මානසික සුපහන් බවක්. අලුත් අවුරුද්දේ පිළියෙල කරන කිරිබතෙන් කොටසක් බුද්ධ පූජාවටත්, තවත් කොටසක් මහ සඟරුවනටත්, තවත් ප්‍රමාණයක් අසල්වැසි නැදෑ හිතවතුන්ටත් නිර්ලෝභීව බෙදා දෙනවා. එවිට ඇති වන අලෝභ සිතිවිලි ආධ්‍යාත්මික සුවයට හේතුවක්. ඉහතින් සඳහන් කළ වැඩිහිටියන්ට නමස්කාර කිරිම පමණක් නෙමෙයි, අපගේ ජීවිතය පවත්වාගැනීමට උපකාර කළා වූ ගහකොළටත් දිය බිඳක් ලබාදී, සාපිපාසාව නිවූ ළිඳටත් ගෞරව පූද සැලකිලි දක්වනවා. මේවායින් අප කොතරම් ආධ්‍යාත්මිකව උසස් මිනිසුන් ද කියන එක පැහැදිලි කරන්න පුළුවන්. සාම්ප්‍රදායික ජාතික ක්‍රීඩා අද අභාවයට යමින් පවතිනවා.අවුරුදු උත්සවයේ පාරම්පරිකව පැවත එන සාම්ප්‍රදායික ජාතික ක්‍රීඩා අභාවයට යමින් පැවතීම කණගාටුවට කරුණක්. පොර පොල් ගැසීම, ගුඩු පැනීම, අං කෙළිය, කතුරු ඔන්චිල්ලා පැදීම, කොට්ට පොරය, ලී කෙළි, පංච දැමීම, රබන් ගැසීම ඉන් කිහිපයක්. අද අපේ මේ හෙළ ක්‍රීඩා දැකගන්නට ලැබෙන්නේ රූපවාහිනියෙන් පමණයි. . බොහෝ අවුරුදු උත්සවවල සිංහල කමක් නැහැ. අපේ උරුමයන් යට කරන්ගෙන, ක්‍රිකට්, පාපන්දු, බයිසිකල් තරග, සංගීත පුටු, ග්‍රීස් ගහේ නැගීම වැනි තරග පෙරමුණ ගෙන තිබෙනවා. හෙළ ජන ක්‍රීඩාවලින් සමාජයට ලැබුණේ මනා හික්මුණු, ජය  පරාජය සම සේ ඉවසිය හැකි, සමගි සමාදානයෙන් යුතු, නිරෝගී තරුණ පරපුරක්. ඒත් අද ක්‍රීඩාවලින් සමාජයට ලැබෙන්නේ ජය පරාජය ඉවසිය නොහැකි, නොහික්මුණු, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පලි ගැනීම් ආදි චේතනාවන්ගෙන් පිරුණු පරපුරක්. පෙර සිංහල රජ දවස වසන්ත සමයේ ක්‍රීඩා දෙකක් පැවැත්වූවා. ඒ දඩයම් ක්‍රීඩාව හා දිය ක්‍රීඩාව යි. විදේශ ආක්‍රමණ නිසා ක්‍රීඩා දෙක ම අපෙන් ඈත් ව ගියා. අද අවුරුදු මේසයේ කැවිලි පිගාන අබිබවා මත්පැන් බෝතලය පෙරමුණ ගෙන තිබෙනවා. ඇතැම් පිරිසක් සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් දින ගණනාවක් කා - බී විනෝද වෙනවා. ඒ අතර වැඩිහිටි ඇතැමෙක් ගතානුගතික චාරිත්‍රචාරිත්‍ර අනුගමනය කරමින් ඒවා අභාවයට යා නොදී රැකගැනීමට උත්සාහ ගන්නවා. එය සතුටට කරුණක්. අද ඇතැම් පෞද්ගලික රූපවාහිනී නාලිකා සංකර නැටුම්, ගැයුම් ජාතික ක්‍රීඩා ලෙස ඉදිරිපත් කරමින්, තරුණ පිරිස පොලඹවා ගැනීමේ උත්සාහයක නිරත වෙනවා. අතනින් මෙතනින් ණයට ලබාගත් සංකර නැටුම් ගැයුම් ඉදිරිපත් කිරීමෙන් ඔවුන්ගේ එක් යටි අරමුණක් පැහැදිලි කෙරෙනවා. ඒ අනෙකක් නෙමෙයි. දැනට අප සතුව පවත්නා ජාතික ක්‍රීඩා මුහුණුවර ද විනාශ කර දැමීමේ අරමුණ යි. අවුරුදු උදාව නිමිත්තෙන් මත්පැන් පානය කර ඇතැමෙකු සිහි විකල් කරගන්නවා. ඉන්පසු පිල් බෙදී රණ්ඩු සරුවල් කරගෙන, රෝහල්ගත වෙනවා. අවුරුද්ද ආරම්භ වීමට පෙරාතුව ම සුරාසල් වසාදැමුවත්, තහංචි සීමා කඩාබිඳදමා ඒවා අලෙවි කරන අයද සිටිනවා. . බත බුලතින් හා කැවිලි පෙවිලිවලින් පිරී ගිය අලුත් අවුරුදු කෑම මේසය අබිබවා මත්පැන් පිටාර ගලාගොස් තිබෙනවා. මේ තත්වයෙන් තරුණ පෙළ බේරාගැනීම මෙවර අපේ අලුත් අවුරුදු පැතුම විය යුතු යි.