gossiplanka image 1
 

ස්වාමීන් වහන්ස, අතීතයේ පටන් භික්ෂූන් වහන්සේ දිවි හිමියෙන් බුදු සසුන රැකගත්තා. හෙමාන කළා. අද දවසේ අපේ උරුමය ගැන කතා කරන්නට අවස්ථාව ලැබී ඇත්තේ ඒ නිසා යි. බුදුදහමට අනුව 'භික්ෂුව’ අර්ථ දක්වන්නේ කෙසේ ද?


බුදුරජාණන් වහන්සේගේ අපේක්ෂිත අරමුණ වුණේ මනුෂ්‍යයාගේ ආධ්‍යාත්මික සුවය ඇති කිරීම යි. ඒ සඳහා ගොඩනංවන ලද බළකායක් හැටියට භික්ෂු සමාජය හඳුන්වන්නට පුළුවන්. භික්ඛු මිත්‍ර සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කෙළේ භික්ෂුව යනු "සමාජ මිත්‍රයෙක්” බව යි. ඒ සඳහා බලපාන කරුණු හතක් ද එහිදී පෙන්වා දුන්නා. ප්‍රිය මනාප වීම, ගෞරවනීය වීම, බුහුමනට සුදුස්සෙක් වීම, තමන්ගේ දායකයන්ට අර්ථවත් දේ කියාදීම, පැහැදිලිව දේශනා කිරීම, ගැඹුරින් අර්ථකථනය කිරීම, තම දායකයන් පරිහානියට පත් නොවන ආකාරයට ජීවත් වීම යන්න ඒ කරුණු හත යි. බුදුරජාණන් වහන්සේ චාතුම සූත්‍රයේ දී "භික්ෂුත්වය” ලබාගැනීම "ගැඹුරු ජලාශයකට ගොඩබැසීමට" සමාන කළා. ගැඹුරු ජලාශයකට බහින කෙනකුට බිය හතරක් තියෙනවා. ඒ තමයි රළ, කිඹුල්, සුළි, මත්ස්‍ය බිය. රළ බිය කියන්නේ ගුරුවරුන්ගේ අවවාද අනුශාසනා නමැති බිය. කිඹුල් බිය කියන්නේ ශාසනයේ අකැප දේ, ඉන්ද්‍රිය සංවරයෙන් දැක්වෙන්නේ සුළි බිය යි. මත්ස්‍ය බිය යනු භික්ෂුව බිලී බාගන්නට සුදානම් වෙලා ඉන්න සංවිධාන සහ කණ්ඩායම්. භික්ෂු ජීවිතයක් ගොඩනංවාගැනීමේ දී ගිහි ජීවිතයකට වඩා ටිකක් අමාරු කාර්යයක්. එතැනදී මේ දේවල්වලට  හසු නොවී, ඒවායෙන් වැනසෙන්නේ නැතිව ඉන්නට ඕනෑ.


මේ අභියෝගවලට මුහුණ දීමට වර්තමාන "භික්ෂුව” සමත් වී සිටිනවා ද?


21 වැනි සියවස වන විට භික්ෂූන්ට මුහුණ දීමට ගැටලු රාශියක් නිර්මාණය වෙලා තියෙනවා. වර්තමානයේ අපි පැහැදිලි කතිකාවකට පැමිණිය යුතු තරමට ම භික්ෂුව විවේචකයකු වෙලා තියෙනවා, චුදිතයකු වෙලා තියෙනවා. ඒ වගේ ම භික්ෂුවගේ කාර්යභාරය අභියෝගයට ලක්වෙලා තියෙනවා.මෑතකදී ශාසනික වශයෙන් ඇති වූ විශේෂ අර්බුදයක් තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට අග්‍රවිනිශ්චකාරයා පැමිණෙන විටදී භික්ෂුන් නොනැගිටීම. එහිදී ඇති වූ අර්බුදය අපේ ශාසනය තුළ පළමු වතාවන්ට සිදු වූ දෙයක්. මෙහිදී අගවිනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට යන්න කියලා භික්ෂූන්ට නියෝගයක් දුන්නා. නමුත් උන් වහන්සේ එය පිළිගත්තේ නැහැ.


ජාතික ගීය ගායනා කිරිමේදී භික්ෂුව අසුන්ගෙන සිටිනවා ද යන්න පිළිබඳ අද සංඝ සමාජයේ පොදු එකඟතාවක් නැහැ නේන්ද?


 බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන ඉතා වැදගත් උත්සව සභාවලදී පවා ජාතික ගීය ගායනා කරන විට ඇතැම් භික්ෂුන් පිරිසක් නැගී සිටියදී තව පිරිසක් වාඩි වී සිටිනවා. ඒක සමහර විට අප ජාත්‍යන්තර මට්ටමින් හෑල්ලු වීමට හේතුවක් වෙන්න පුළුවන්. අපේ ප්‍රධාන මහානායක මාහිමිපාණන් වහන්සේ හතර දෙනා ම මෑතකදී ප්‍රකාශයක් කළා ජාතික ගීය ගැයීමේදී භික්ෂුව අසුන් මත වාඩි වී සිටිය යුතු යි කියා. ඉන් පසුව ඒකට එරෙහිව වියත් භික්ෂූන් වහන්සේ පිරිසක් ප්‍රකාශයක් කළා. ජාතික ගීය ගයද්දී නැගී සිටීමෙන් අපේ විනයට හෝ ශික්ෂාකාමිත්වයට හානියක් වෙන්නේ නැහැ කියලා.විසුද්ධි මාර්ගයේ සන්නයේ තියෙන නිදර්ශනයක් මට මෙහිදී සිහිපත් වෙනවා. මාගම හිටපු එක්තරා රජෙකුට රටේ සියලු භික්ෂූන් පිරිවරාගෙන අනුරාධපුරය වඳින්නට යෑමේ ආශාවක් ඇති වුණා. අණ බෙරකරුවන්ගේ මාර්ගයෙන් සියලු භික්ෂූන්ට අනුරාධපුරයට වඩින ලෙස දන්වමින් රාජ නියෝගයක් ද නිකුත් කළා. නමුත් එක ම භික්ෂුවක් හෝ වැඩියේ නැහැ.රජුට ඒ ගැන අපමණ කේන්තියක් ඇති වී පලි ගන්න තීරණය කළා. පලි ගත්තෙ භික්ෂූන්ට රිදවල නො වෙයි. මාගම හිටපු කිරිදෙන මවුවරුන් සහ දරුවන්ගෙනුයි, පලි ගත්තේ මේ මවුවරුන්ගේ පියයුරු පටියකින් බැඳල මුද්‍රාවක් තැබීමට නියෝග කළා, දරුවන්ට කිරි දෙන එක නවත්වන්න. රාජ නියෝගයක් නිසා ඒ මුද්‍රාව ගලවන්න තහනම්. දැන් අම්මල දරුවන්ට කිරි දීගත නොහැකිව කෑගහනවා. දරුවෝ බඩගින්නේ අඬනවා. මේ තත්වය බලාගෙන ඉන්න බැරි ම තැන මහජනතාව හාමුදුරුවන්ගෙන් ගිහින් ඉල්ලා සිටියා අප ගැන අනුකම්පාවෙන් රජ රටට වඩින්න කියලා. අන්න ඒ වෙලාවේ සංඝයා වහන්සේ එකතු වී තීරණයක් අරන්ගෙන තිබෙනවා අපි රජුගේ ඉල්ලීමට හිස නමන්නේ නැහැ. නමුත් ජනතාවගේ ඉල්ලීමට හිස නමනවා කියා රජරටට වැඩියාලු.එයින් කියැවෙන්නේ අතීත භික්ෂුවගේ අභිමානය යි. රජවරුන්ට වත් හිස නොනැමූ භික්ෂු පරම්පරාවක් අපේ රටේ ඉඳල තියෙනවා. ජාතික ගීය ගැයීමේ දී නැගී සිටීමෙන් භික්ෂුව ගිහියා හා සමාන තත්වයට වැටෙනවා. ඒ නිසා මහානායක හිමිවරු ගත් තීරණයට අප කන්දිය යුතු යි.


ඉහත දැක්වූ කරුණුවලට අමතරව අපේ රටේ හඳුනාගත හැකි ශාසනික විලෝපකාරී තත්ත්වයන් මොනවා ද?


අද වන විට ධර්මය වැරැදි විදිහට අර්ථකථනය කිරීම නිරතුරුව අසන්නට ලැබෙනවා. විශේෂයෙන් ජනප්‍රිය දේශකයන් වහන්සේ බිහි වීමත්, උන් වහන්සේට වෙන් වූ ව්‍යාපෘති බිහි වීමත් සමග බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමගේ මතවාදවලට ගැළපෙන ලෙස විවරණය කරන්න යෑම නිසා බරපතළ ලෙස හානිදායක තත්වයක් උදා වෙලා තියෙනවා. තරුණ ශ්‍රාවකයන්ට අනුව ඒවා කොමිටි බණ, සීරියස් බණ, බුදුදහම තම සිතැඟි පරිදි විග්‍රහ කරන බණ, ත්‍රිපිටකයේ එන සූත්‍රවලට නව අර්ථකථන සපයන බණ. නිවන තව බොහෝ දුර යැ යි පවසමින් දරුමල්ලන් හදාවඩාගැනීමට උපදෙස් දෙන බණ ආදි මේ සියලු දේශනා හමුවේ අපේ බෞද්ධයෝ මංමුළා වෙලා. කවුරු හරි ද? කවුරු නිවැරැදි දැයි කියා විමසනවා. සෙවීම සඳහා පුළුල් ධර්ම කතිකාවතක අවශ්‍යතාව මතු වී තිබෙනවා. ඒ වගේ ම අද ඇතැම් භික්ෂූන් තමන්ගේ මූලික අයිතිවාසිකම් අහිමි වූ බව පවසමින් රියැදුරු බලපත්‍ර ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා තියෙනවා.භික්ෂුව යනු පැහැදුණු අය තවත් පහදවත නොපැහැදුණු අය වඩාත් පැහැදවන්න ඉන්න පිරිසක්. භික්ෂුවක් රථයක් පදවාගෙන යෑම අපේ සංස්කෘතියට ගැළපෙන්නේ නැහැ. එයින් සමාජයේ වන්දනීය තත්වයට හානියක් වෙන්න පුළුවන්. මෙහෙම ගියොත් තව ටික දවසක් යනකොට විවාහ වෙන්නත් අවසර ඉල්ලා භික්ෂූන් උසාවි යාවි.


වර්තමානයේ බුදු සසුනට එල්ල වී ඇති අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට සුදුසු වඩාත් ප්‍රබල යන්ත්‍රණයක් සකසා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවා ද?


මෙවැනි අර්බුදකාරී තත්වයන් විසඳාගැනීම සඳහා 1956දී බණ්ඩානායක රජයෙන් බුද්ධ ශාසන තොරතුරු කොමිෂන් සභාවක් පත් කළා. නමුත් එහි නිර්දේශ ක්‍රියාවට නැංවුණේ නැහැ. ඉන් පසු විවිධ රජයන් විවිධ කොමිෂන් පත් කළා. ඒ කිසිවකින් නිශ්චිත විසඳුමක් ලැබුණේ නැහැ. බුදුරදුන් බුදු බව ලබා වසර 2600 පිරීම නිමිත්තෙන් තව අවුරුදු තුනකින් බුද්ධ ජයන්තියක් එනවා. 2011 සම්බුද්ධත්ව ජයන්තිය කියල නම් කරල, ඒ වෙනුවෙන් අපි ජනාධිපතිතුමාවත් හමු වුණා. බුද්ධ ශාසන කොමිෂන් සභාවලින් නිර්දේශිත ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීම පිළිබඳ යෝජනා අපි එහිදී භාර  දුන්නා. ඒවා ක්‍රියාවට නැංවුණොත් මේ ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරක් ලැබේවි. ඒ වගේ ම භික්ෂුවගේ අභියෝගවලට පැහැදිලි විසඳුම් ලබාදෙන ශ්‍රේෂ්ඨ වූ ගෞරවනීය වූ නායකත්වයක් අද අපට අවශ්‍ය වී තිබෙනවා. මේ සංස්ථාව රැකගැනීමට නම් අප එවැනි තැනකට යා යුතු වෙනවා.