අද මෙන්ම අතීතයේද සිංහලයන්ගේ ආර්ථික රටාවේ ප්‍රමුඛ ස්ථානය හිමි වූයේ කෘෂි කර්මාන්තයටය. විජය කුමරු ලංකාවට පැමිණ අනුරාධ, උරුවෙල, විජිත ආදී නම්වලින් මෙරට ආදිම ජනාවාස පිහිටුවා ගන්නා ලදි. එම ජනාවාස පිහිටුවා ගත්තේ මල්වතු ඔය, කලා ඔය, දැදුරු ඔය, වළවේ ගග, කිරිඳි ඔය ආදී වූ ගංගා ආශ්‍රිතවය. මෙරටට මුලින්ම පැමිණි ආර්ය කණ්ඩායමේ නායකයා ලෙස සැලකෙන විජය කුමරුන්ගේ ඇමතියෙකු වූ අනුරාධ නම් කුමරු මල්වතු ඔය අසල ඔහු නමින් ජනපදයක් පිහිටුවා එහි වැවක් කරවූ බව වංශකතාවල සඳහන් වී ඇත. මෙසේ මුලින් මෙරටට පැමිණ පදිංචි වූ ආර්යයන් විසින් ගංගා අසබඩ ජනපද පිහිටුවා වැව් ඉදිකිරිමෙන් හෙළිවන්නේ ආරම්භයේ සිටම කෘෂිකර්මාන්තය සිංහල වර්ගයාගේ ආර්ථික රටාවේ ප්‍රධාන තැන ගත් බවයි. විජය රජුගෙන් පසුව මෙරට රජ වූ පණ්ඩුවාසුදේව කුමරුගේ පුත්‍රයකු වූ ගිරිබණ්ඩසිව නම් කුමාරයා ඔහුගේ පාලනය යටතේ පැවති ගිරිකණ්ඩ නම් ප්‍රදේශයේ පිහිටා තිබූ "සියක් කිරියක්” පමණ වූ කුඹුරු යායක ගොයම් කැප වූ බව කියන පුවත වංසකතාවේ දැක්වේ. මෙයින් හෙළි වන්නේ ආර්යයන් මෙහි පදිංචි වී නොබෝ කලකින්ම මෙරට කෘෂිකර්මාන්තය අතින් විශාල දියුණුවක් ලබා තිබූ බවයි.
අතීතයේද කෘෂිකාර්මික කටයුතු වලදී ප්‍රධාන තැන ලැබුණේ වී ගොවිතැනටය. වී වගාවට ප්‍රධාන තැනක් හිමි වූයේ අද මෙන් අතීතයේද සිංහලයාගේ ප්‍රධාන ආහාරය බත් වූ බැවිනි. වී වගාව ක්‍රි.පූ 4000 දි පමණ චීනයේ හා ඊසාන දිග ඉන්දියාවේ ආරම්භ වූවක් ලෙස සැලකේ. පසුව ඉන්දියාවේ ඉන්දු හා ගංගා නිම්න ඔස්සේ අර්ධද්වීපික ඉන්දියාවේ ව්‍යාප්ත වූ මෙම වගා ක්‍රමය ශ්‍රී ලංකාවටද පැතිර තිබේ. දැදුරු, මල්වතු. කලා නිම්න ඔස්සේත් මහවැලි ගංගා නිම්න ඔක්සේත් මුලින්ම ආරම්භ වී යැයි සිතිය හැකි වී වගාව වැඩි කල් නොගොස්ම දිවයින පුරාම ව්‍යාප්ත විය. එකල ගොවියන් වසරකට කන්න දෙකක් හෝ තුනක් වී වගාව සිදු කරනු ලැබුවේ බතට අවශ්‍ය සහල් ලබාගැනීම සඳහාය. සමහර අවුරුදුවල කන්න තුනකම වී වගා කර ඇති බව සඳහන් වුවද අවුරුද්දට කන්න දෙකක් වී වගාකිරීම සාමාන්‍ය සිරිතයි. මුළු අවුරුද්ද පුරාම වලින් ජලය ලබාගත හැකිව තිබූ මඩ ඉඩම් ඇතැම් විට අවුරුද්දකට කන්න තුනක් වගා කරනු ලැබ ඇතත්, වැසි දියෙන් වගා කළ කුඹුරු එසේ වගා කොට ඇති බව සඳහන් වන්නේ කන්න දෙකක් පමණි. මෙසේ අවුරුද්දකට කන්න දෙකක් හෝ තුනක් වගා කිරිමේදී එකල ගොවීන්ට අවුරුද්ද පුරාම පාහේ ඒ හා සම්බන්ධ විවිධ කාර්යයන්හි නිරත වන්නට සිදුවිය. කණු මුල් උදුරා, අතු, කටු, මැටි කැට ආදිය ඉවත් කොට ඒවා ගිනිකොණ කුඹුරු සකස් කර ගැනීම, සී සෑම, වැපිරීම, පැල් රැකීම, ගොයම් කැපීම, ධාන්‍ය අටු කොටුවල තැන්පත් කිරීම ආදී වූ විවිධ කටයුතුවල නිරතවීමට ගොවියාට සිදුවෙයි.
එකල මඩ ඉඩම්වල මෙන්ම ගොඩ ඉඩම්වලද වී වගා කර ඇත. බිම් හෙවත් කුඹුරු වශයෙන් එකල තෝරා ගනු ලැබ ඇත්තේ ගංගා විල් හා වැව් වැනි ජලාශ ඇසුරෙහි පිහිටා තිබූ බිම් හා වාරිමාර්ග මගින් පහසුවෙන් ජලය ලබා ගැනීමට හැකිව තිබූ නිම්න බිම්ය. මඩ ගොයමට නොදෙවනි තැනක් ගොඩ ගොයමට ද ලැබී තිබේ. කෙසේ නමුත් ගොඩ මඩ දෙකෙහිම වී ගොවිතැන කරනු ලැබුවද වඩාත් වැදගත් වූයේ මඩ ගොවිතැනය. ගොඩ ගොයම් ගැනත් හැල් වී වැටුණු කෙත් ගැනත් දහතුන්වන ශතවර්ෂයට අයත් සද්ධර්මරත්නාවලියෙහි සඳහන් වී ඇත. සිංහලයන් විසින් වී ගොවිතැන සඳහා ගෙන ඇති වී වර්ග අතර මා වී, රත්හැල්, හීනටි වැනි වී වර්ග ප්‍රධාන තැනක් ගනියි. වර්තමානයේ නම් විවිධ නම් සඳහන් වී වර්ග විශාල ප්‍රමාණයක් ගොවීන් විසින් වගා කරනු ලබයි. මෙසේ ප්‍රධාන වශයෙන්ම වී ගොවිතැන සිදු කරන්නේ යල සහ මහ යන කන්න දෙකෙහිදීය.
සිංහලයන් වී ගොවිතැනෙහි දී භාවිත කළ උපකරණ පිළිබඳව ද තත්කාලීන සාහිත්‍යයෙන් තොරතුරු හෙළි වී ඇති බවද සඳහන් වේ. මේවා අතර නගුල, පෝරුව, වියදණ්ඩ, කැත්ත, දෑ කැත්ත, උදැල්ල, දැත්ත, සකපෝරුව, කුල්ල, ආදී උපකරණ ප්‍රධාන තැනක් ගනියි. සී සෑම සඳහා ගවයන් මෙන්ම අලි ඇතුන්ද යොදාගෙන තිබේ. කෘෂිකර්මාන්තයේදී ඒ ඒ අවස්ථාවට අවශ්‍ය ශ්‍රමය ලබා ගැනීම සඳහා සිංහල ගොවීහු සී සෑම, අස්වනු කැපීම වැනි අවස්ථාවල දී අන්‍යෝන්‍ය සහය පැතූහ. වර්තමානයේ අත්තම් ක්‍රමය මෙන් එකලද ගොවිතැන් කටයුතුවලදී එකිනෙකාට ආධාර කිරීමේ සිරිත පැවැතිණි. සමහර අවස්ථාවල වැටුප් ගෙවා දෛනික ස්වයට කුලී කරුවන් යොදා ගොවිතැන් කටයුතු සිදු කරගන්නා අවස්ථා ද ඇත. මේ හැර අද ක්‍රමයටද ගොවිතැන් කටයුතු සිදු කරගනු ලබයි. අතීතයේ රජුට, ප්‍රභූවරුන්ට සහ ශාසනයට හිමිව පැවති ඉඩම්වල පදිංචිව සිටි ගොවි ජනතාව එම ඉඩම් වගා කොට නියමිත අස්වැන්න කොටසක් ඉඩම් හිමියන්ට ලබා දී ඇත. වී වගාව සඳහා අඳ ක්‍රමය, කුලී ගෙවීම හා අත්කම් ක්‍රමය මගින් ශ්‍රමය සපයා ගන්නා ලද ආකාරය ගැනත් සලකා බලන විටත් සමාජයේ දේශපාලන හා ආර්ථික රටාව දෙස බලනවිටත් විවිධ ජීවන මට්ටම්වලට අයත් සිංහල ජනයා අන්‍යෝන්‍ය සහයෝගයෙන් ජීවත් වූ බව කිව හැකිය. ගොඩ ඉඩම් හෙවත් හේන් සකස් කොට ගෙන ඇත්තේ වාරිමාර්ග පහසුකම් නැති හෝ අඩු තැනිතලා හෝ මුඩුබිම්වලය. ගොඩ ඉඩම් ප්‍රධාන වශයෙන් වගා කරන ලද්දේ වැසි දියෙනි. ඉඩම් ගිනි තැබීම, ගිනි තැබූ ඉඩම් කට්ටිවල ධාන්‍ය වැපිරීම හෝ රිටක් වැනි උපකරණයකින් පොළොවේ සිදුරු තනා බීජ සිටුවීම මගින් මෙම හේන් ගොවිතැන සිදු කරන ලදි. අතින් හෝ කැපෙන උපකරණයකින් අස්වනු නෙළා ගැනීම ද මෙම ආදිම හේන් ගොවිතැන් රටාවේ ලක්ෂණයක් විය.
හේන් ගොවිතැනේ ප්‍රධාන අංග කිහිපයක්.
1. ගිනි තැබීමෙන් බිම් කොටස් එළි කිරීම
2. වගා කිරිමට භූමිය විශේෂයෙන් පිළියෙළ නොකිරීම
3. බෝග මාරු කිරීමක් නොකිරීම (එක් කන්නයක දී වගා කරන ලද භූමිය එහි සාරවත් බව යළි ඇතිවනතුරු අතහැර දැමීම.)
හේන්වල වගා කරන ලද බෝග සම්බන්ධයෙන් බුත්සරණ, වෙසතුරුදා සන්නය, සිංහල ථූපවංසය, සද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාරය, සිංහල බෝධිවංශය, සද්ධර්මරත්නාකරය යන කෘතිවල සඳහන් වේ. එම බෝග ව න්නේ උඳුමුං, මෑ, කුරක්කන්, ඉරිගු, අමු, අබ, දුරු, තණ, කරබටු, තිබ්බටු, වම්බටු, අළුපුහුල්, වට්ටක්කා, ලබු, කැකිරි, තම්පලා, කහ, සුදුළුනු, උළුහාල් යන දේවල් ය. මෙයට අමතරව ගෙවතු වගාවන්ද අතීතයේ සිටම කෘෂි ආර්ථිකයෙහි වැදගත් විය. නිවෙස් අවට ඉඩම්වල විවිධ එළවළු වර්ග, බතල වැනි අල වර්ග, ධාන්‍ය, ඉගුරු, බුලත්, පුවක්. ගම්මිරිස්, සියඹලා, දොඩම්, අඹ, දෙහි, කොස්, කෙසෙල්, පොල්, තල්, කිතුල් යනාදිය වවා තිබූ බව සාහිත්‍යයේ සඳහන් වේ. කුරුඳු වගාව පිළිබඳ තොරතුරු සොයා ගත හැක්කේ දහතුන් වන ශත වර්ෂයෙන් පසුවය. යුරෝපීයන් පැමිණීමත් සමග සිංහලයන් කුරුඳු වගාවට යොමු වී තිබේ. මෙය ප්‍රධාන වැවිලි බෝගයක් ලෙස මෙරට ව්‍යාප්ත විය. පසුව මෙරට ආර්ථික බෝග ලෙස තේ, පොල්, රබර් ආදිය සඳහා ද සිංහලයා යොමු විය. සිංහල ආර්ථික රටාවෙහි පෙර කාලවල මෙන්ම සත්ව පාලනයටද වැදගත් ස්ථානයක් හිමිවිය. මී ගවයන් හා එළ ගවයන් ඇති කිරීම බහුලව පැවති අතර එළුවන්, කුකුළන් වැනි සතුන් ඇති කිරීම ද ඔවුන් අතින් සිදුවිය. සී සෑමේදීත් ගොයම් මැඩීමේදීත් ඔවුන් මී ගවයන් යොදා ගනු ලබයි. කිරි, බිත්තර ආදිය ලබා ගැනීම සඳහාත් සත්ව පාලනය සිදු කරනු ලැබීය.
Comments
Post a Comment