gossiplanka image 1
 


සිංහල - ස්වදේශික මුල්ම ඓතිහාසික රජු වශයෙන් සැලකිය හැකි වූයේද, අනුරාධපුරයේ ආරම්භක පාලකයා වූයේද පණ්ඩුකාභය රජතුමාය. එතුමා විසින් එකල පැවති විවිධ ආගම් අදහන අයගේ ප්‍රයෝජනය පිණිස නගරයේ ඒ ඒ තැන්වල විවිධ ආගමික ගොඩනැගිලි ඉදිකළ බව ඉතිහාස මූලාශ්‍රවල සඳහන් වේ. බුදු දහම ලක්දිවට ගෙන ඒමට පෙර පැවතියේ වෘක්ෂ වන්දනය, දේව වන්දනය, මළවුන් පිදීම ආදියයි. ඒ කාලය තුළ ඔවුන් ස්වභාවික ක්‍රියාවලින් දේවත්වයට අනුගත කොට වන්දනා කරන්නට වීම දක්නට ලැබිණි. සිංහල වංශකතාවල සඳහන් වන අන්දමට සිංහලයන් බුද්ධාගම වැළඳ ගත්තේ පණ්ඩුකාභය රජුට අවුරුදු හැටකට පමණ පසු අනුරාධපුරයේ රජ කළ දේවානම්පියතිස්ස රජුගේ කාලයේදීය.  දේවානම්පියතිස්ස රජු දවස බුද්ධාගම රාජ්‍ය ආගම වශයෙන් පිළිග ගැනීමත් සමගම ලංකාවේ සඟ පරපුරේ සහ මෙහෙණි සසුනේ ආරම්භය ඇතිවිය. එමෙන්ම ස්තූප වන්දනාව හා බෝධි වන්දනාව ජනප්‍රිය විය. නමුත් බුද දහම පැමිණීම නිසා ඊට කලින් පැවති වැඳුම් පිදුම් ක්‍රම හා වෙනත් ආගමික විශ්වාස මුළුමනින් අභාවයට ගිය බවක් නොපෙනේ.  මිහිඳු මාහිමියන් විසින් සිදු කරන ලද්දේ පැවති ඇදහිලි හා විශ්වාසයන් සඳහා අරුත් සැපයීමකි. වෘක්ෂ දේව වන්දනාව බෝධි වන්දනයක් බවට පත් කරලීම ඒ සඳහා හොඳම නිදර්ශනයකි.


දේවානම්පියතිස්ස රජුගේ කාලයේ මිහිදු හිමියන් විසින් ලංකාවට ගෙන එන ලද්දේ ථේරවාදී බුද්ධාගමයි. එහි මූලස්ථානය බවට පත්වූයේ දේවානම්පියතිස්ස රජු විසින් අනුරාධපුරයේ මහමෙවුනා උයනේ ඉදිකරවන ලද මහා විහාරයයි. වළගම්බා රජුගේ පස වන රාජ්‍ය වර්ෂය දක්වාම ලංකාවේ සෑම භික්ෂුවක්ම භික්ෂුණියක්ම ධර්මය හා විනය පිළිබඳ වූ කරුණකදීම පිළිගත්තේ මහා විහාර මතයයි. නමුත් මේ රජුගේ පසළොස් වැනි රාජ්‍ය වර්ෂයේදී මහා විහාරයෙන් වෙන් වී ගිය භික්ෂූන් වහන්සේලා පිරිසක් මේ රජු විසින් කරවන ලද අභයගිරි හෙවත් අභයුත්තර විහාරයේ පදිංචියට යෑමෙන් පසු ලංකාවේ ප්‍රථම නිකාය භේදය ඇතිවිය. මේ අලුත් නිකාය අභයගිරි නිකාය වශයෙන් හැදින්විණි.  වෝහාරිකතිස්ස රජුගේ කාලයේ අභයගිරිවාසීන් මහායාන ධර්ම විශේෂයක් වූ වෛතුල්‍යවාදය පිළිගත් බවත්, ඒ රජු මේ අලුත් ධර්මය පිළිගත් භික්ෂූන්ට නිග්‍රහ කර වූ බවත්  වංසකතාවන්හි සඳහන් වෙයි. වෝහාරිකතිස්ස රජුගේ කාලයේදී මහායාන ධර්ම ප්‍රචාරය මැඩ පවත්වනු ලැබූ නමුත්, ගෝඨාභය රජුගේ කාලයේදී අභයගිරිවාසී භික්ෂූන් වහන්සේලා පිරිසක් නැවතත්  වෛතුල්‍යවාදය ප්‍රචාරය කිරීමෙහි නිරත වූ බවත් ඔවුන් එහිදී  අලුතෙන් ඇරඹූ නිකාය සාගලික නමින් හැදින්වුණු බව නිකාය සංග්‍රහයෙහි දැක්වේ. දකුණු ගිරි වෙහෙර විසූ සාගලික නිකායිකයෝ මහසේන රජු විසින් පසු කාලයෙහිදී ඉදි කරවන ලද ජේතවන විහාරයේ පදිංචියට යාමෙන් පසු වන නිකායිකයන් යනුවෙන්  හදුන්වන්නට විය. මෙසේ ඇති වූ නිකායත්‍රය අතර වරින්වර ඇති වූ ගැටීම් කිහිපයක් වංසකතාවල සඳහන් වී ඇත.


මේ තුන් නිකායම පොළොන්නරුවේ රජකළ මහා පරාක්‍රමබාහු රජුන්ගේ කාලය දක්වාම වෙන් වෙන්ව පැවත විත් ඒ රජුගේ උත්සාහය නිසා යලිත් එක් නිකායක් බවට පත්විය.  වරින්වර ඉන්දියාවේ ඇති වූ නව මහායානික අදහස් පිළිගැනීමට අභයගිරි හා ජේතවන විහාර කැමැත්තෙන් සිටි බව කියවේ. ගෝඨාභය හා මහාසේන යන රජවරුන්ගේ කාලවලදී  වෛතුල්‍යවාදය ලංකාවට පැමිණි අතර පළමු වැනි සේන රජුගේ කාලයේදී දඹදිවින් ආ වාජිරියවාදය නම් වූ මහායාන ධර්මයක්ද දෙවැනි සේන රජුගේ කාලයේදී නීලපට දර්ශනය නම් වූ තවත් මහායාන ධර්මයක්ද අභයගිරිය හා සේවනය මාර්ගයෙන් ලංකාවේ ප්‍රචාරය කර හරින ලදී. අනුරාධපුර යුගයේ අවසාන භාගය වන විට මහායාන ඉගැන්වීම්වලට ගරු කළ විශාල පිරිසක් ලංකාවේ විසූ බවට සාක්ෂි ලැබී ඇත. නමුත් එකොළොස් වැනි සියවසේ මුල් හරියේදී ඇති වූ චෝළ ආක්‍රමණවල ප්‍රතිඵලයක් වශයෙන් මහායාන නිකායන් මෙන්ම ථේරවාද නිකායද පරිහානියට පත්ව ඇත. මහා විජයබාහු රජු පොළොන්නරුවේ රජ වීමෙන් පසු බුරුමයෙන් උපසම්පදා භික්ෂූන් වහන්සේලා හා ත්‍රිපිටකය මෙහි ගෙන්වාගෙන ලංකාවේ කුලපුත්‍රයන් මහණ උපසම්පදා කරවා බුද්ධාගම යලි නගා සිටුවන්නට විය.  පළමුවන පරාක්‍රමබාහු රජ පොළොන්නරුවේ රජ වීමෙන් පසු බුද්ධාගමේ විශාල දියුණුවක් ඇතිවිය. වළගම්බා රජුගේ කාලයේ භේදභින්නව තිබූ සංඝ සමාජය පරාක්‍රමබාහු රජුගේ උත්සාහය නිසා නැවත සමගි විය. පළමු වැනි විජයබාහු , පළමුවන පරාක්‍රමබාහු හා නිශ්ශංකමල්ල වැනි රජවරුන්ගේ අනුග්‍රහය නිසා පොළොන්නරු යුගයේ දී යලිත් දියුණු වූ බුද්ධාගම ක්‍රි. ව. 1214 දී පමණ සිදු වූ මාඝ ආක්‍රමණය නිසා නැවතත් පිරිහීමට පත්විය. අවුරුදු 40 ක් පමණ වූ මාඝගේ රාජ්‍ය කාලය ලංකාවේ පුරාතන යුගයේ බුද්ධශාසන ඉතිහාසයේ ඉතාම බිහිසුණු කාල පරිච්ඡේදය විය. මාඝ සහ ඔහුගේ සේනාව රජරට පිළිම ගෙවල් බිඳ බොහෝ චෛත්‍ය වනසා රුවන්වැලි ආදී මහා දාගැබ් බිඳ දමා ඒවායේ නිධන් කොට තිබූ ශාරීරික ධාතු වැනසීය. මහජනයා මිසදුටු ගන්වා විහාර පිරිවෙන්වෙන් ආදී ආයතනයන්හි තමාගේ භටයින් පදිංචි කොට තුනුරුවන් සතු ධනය පැහැර ගෙන දහම් පොත් විනාශ කොට බුද්ධාගමට මහා හානියක් කළ බව චූලවංසයේ සඳහන් වී ඇත. මාඝගේ අණසක රජකමට පමණක් සීමා විය. එකල මායා රටේ හා රුහුණු රටේ නොයෙකුත් ස්ථානයන්හි පාලනය ගෙන ගියේ ප්‍රාදේශාධිපතීත්ය. එනිසා බුද්ධශාසනය මුළුමනින්ම ලංකාවෙන් තුරන් වීම වැළකුණි. නමුත් පොළොන්නරු යුගයේ අවසාන කොටසේදී ඇති වූ දේශපාලන වියවුල් නිසා රාජානුග්‍රහය නොලත් සංඝ සමාජයේ විනය අන්තයටම පිරිහී ගිය බව සඳහන් වේ.


තුන්වැනි විජයබාහු රජු දඹදෙණියේ තම රාජධානිය පිහිටුවා ගත් පසු ඔහු වටා රොක් වූ මහා තෙරවරු කීප නමක් ඒ රජ විසින් දඹදෙණියේ අලුතෙන් ඉදිකරන ලද විජයසුන්දරාරාමයෙහි සංඝයා රැස්කරවා උන්වහන්සේලා අතර එකල තිබූ විවිධ මතභේද පරික්ෂා කොට බලා ඒවා විනය රීතිවලට අනුව විනිශ්චය කොට කතිකාවතක් පිළියෙල කොට යලිත් භික්ෂු විනය පවත්වා ගෙන යාමට කටයුතු කර ඇත. සංඝ විනය තව දුරටත් වැඩි දියුණු කරනු සඳහා උපසම්පදා කරවීම හා සුදුසුකම් තිබූ භික්ෂූන් වහන්සේලා ස්ථවීර හා මහාස්ථවීර පදවිවලට පත් කිරීම ආදිය කර වූ විජයබාහු රජු භික්ෂූන්වහන්සේලාට දිනපතා සිව්පසයෙන් උපස්ථාන කළ බව දැක්වෙයි.  තුන්වන විජයබාහු රජු ඇවෑමෙන් රජකමට පත් ඔහුගේ පුත්‍ර දෙවැනි පරාක්‍රමබාහු රජුද තම පියා පටන් ගත් ශාසනික කටයුතු වැඩිදියුණු කළේය. එකල ලක්දිව දුර්ලභ වූ ආගමික පතපොත අසල බෞද්ධ රටවලින් ගෙන්වා පිටපත් කරවා උගත් භික්ෂූන් වහන්සේලා අතර බෙදා දීමෙන්ද, පිටරටවලින් උගත් බෞද්ධ භික්ෂූන් වහන්සේල්ලා මෙහි වැඩම කරවීමෙන්ද එතුමා ශාසනයේ දියුණුවට අතහිත දුණි. මේ රජුගේ කාලයේදී ද සංඝ කතිකාවතක් ඇති කොට දුශ්ශීල භික්ෂුන් දහස් ගණනක් ශාසනයෙන් නෙරපන ලද බව නිකාය සංග්‍රහයෙහි සඳහන් වී  ඇත. සංඝයා විසින් පිළිපැදිය යුතු නීතිරිති ඇතුළත් වූ දඹදෙණි  කතිකාවත මෙකල පනවන්නට යෙදී ඇත. මේ වන විට අභයගිරි, ජේතවන හා මහාවිහාර යන නිකාය තුන අභාවයට ගොස් තිබුණු නමුත් වනවාසී හා ග්‍රාමවාසී යනුවෙන් අලුත් නිකායයන් දෙකක්  බිහිවී ඇත. මීට අමතරව මූළ නමින් හැඳින්වුණු ආයතන අටක් ගැනද සඳහන් වී ඇත. එනම්,


උතුරුමූළ  

වාදුම්මූළ

දකුණුමූළ

සෙනෙවිරද්මූළ

කපාරාමූළ

විල්ගම්මුළ

මහනෙත්පාමූළ

ගලතුරුමුළ යන්නයි


මහ තෙරවරුන් ළගට සංඝ සමාජයේ වැදගත් තැනක් ලැබුණේ මේ ආයතන අටේ ප්‍රධානීන්ටය. සංඝ සමාජයේ ඊළගට වැදගත් වූයේ පිරිවෙන්වල අධිපති භික්ෂූන් වහන්සේලාය. දඹදෙණි පෙළපත අවසන් වීමෙන් පසුව ඇති වූ දේශපාලන අවුල් වියවුල් නිසා සංඝ සමාජය නැවතත් පිරිහී ගියේය. යලිත් ශාසනය පුනරුත්ථාපනය වූයේ මහනුවර රාජ්‍යයේ පළමුවන විමලධර්මසූරිය රජුගේ කාලයේදීය. සිංහලයන් බුදුදහම වැළඳ ගැනීමෙන් පසුවත් ඔවුන් ඊට පෙර පුරුදුව සිටි ඇදහීම් ක්‍රම හා පුද පූජා ආදිය සුළුවෙන් හෝ පවත්වාගෙන ගිය බව පෙනේ. පණ්ඩුකාභය රජුගේ කාලයේදී කරවන ලද කාලවේල යක්ෂයාගේ දේවාලයෙහි මහාසේන රජු විසින් චෛත්‍යයක් බැන්ද වූ බව මහාවංසයේ සඳහන් වෙයි. එමෙන්ම මේ රජු ගෝකණ්ණ , එරාකවිල්ල සහ කලන්දක යන විහාර තුන ඉදි කරවූ බව කියන්නේ කලින් ශිව දේවාලයක් හා තවත් දේවාල දෙකක් පිහිටා තිබූ තැන්වලය. කිත්සිරිමෙවන් රජුගේ කාලයේ දළදා වහන්සේ ලංකාවට ගෙන ආ දන්ත කුමරු හා හේමමාලා කුමරිය මෙහි පැමිණ මුල් දිනයේ නවාතැන් ගත් බව කියන්නේ මහාතිත්ථ වරාය අසල පිහිටි දේවාලයකය.  මහානාම රජු දවස ලංකාවට පැමිණි ෆාහියන් භික්ෂුව ඒ රජු හින්දු සිරිත් විරිත් අනුගමනය කළ බව තමාගේ දේශාටන වාර්තාවෙහි සඳහන් කර ඇත. තුන්වැනි කාශ්‍යප රජු භික්ෂූන්ට හා බමුණන්ට ගරු කළ බවත් දෙවන සේන රජු බමුණන් දහසකට මුතුමැණික්වලින් හා රන්රුවන්වලින් පිදූ බවත් වංශකතාවෙහි දැක්වෙයි. දෙවිනුවර උපුල්වන් දෙවොල ඉදිකරවන ලද්දේ පළමු වැනි දප්පුල රජු විසින් බව කියනු ලැබේ.  ලංකාවට බුද්ධාගම හදුන්වා දීමේදී ලංකා ඉතිහාසයේ මුල් භාගයේදී සිදු වී අද දක්වා අතිශය වැදගත්කමක් දරන සිද්ධිය බව කිව යුතුය. මේ සිද්ධිය බොහෝ විට බුදුන් වහන්සේගේ ඉගැන්වීම් සමුදාය සංවිධානාත්මක ලෙස මෙරටට හදුන්වා දීම පමණක් නොවන බව කිව යුතුය. බුදුදහම හඳුන්වා දීමෙන් පසු සිංහලයන් අතර ආගමක් වශයෙන් අපට ලැබුණු තත්ත්වය අගය කළ යුතුය.