ආර්යය සිංහලයන් මෙහි පදිංචියට පැමිණෙන විට වැව් අමුණු බැඳ ගොවිතැන් සඳහා ගංගාවලින් ජලය ලබා ගන්නා ක්‍රමය පිළිබඳව මූලික දැනුමක් ඇතිව සිටින්නට ඇත. මේ දැනුම උපයෝගී කර ගනිමින් ඔවුන් ආරම්භයේදී ඔවුන්ගේ ගොවිතැන් සඳහා ගංගා ජලය හා වර්ෂා ජලය ප්‍රයෝජනයට ගන්නට ඇත. ගංගා ජලයෙන් වගාකළ කුඹුරු 'නදී මාතික' වශයෙනුත් අහස් දියෙන් හෙවත් වැසි දියෙන් වගා කළ කුඹුරු දේවමාතික වශයෙන් පොත පතෙහි හඳුන්වා ඇත. ආර්යයන් මෙහි පදිංචි වූ මුල් සියවසේදී ඔවුන්ගේ ගොවිතැන් කටයුතු සඳහා ගංගාවලින් හා වැස්සෙන් ලැබුණු ජලය ප්‍රමාණවත් විය. නමුත් පසු කාලය වන විට රටේ ජනගහනය අධික වීමත් ඇතැම් අවුරුදුවල කලට වේල්ලොවට වැසි නොලැබී යාමත් ජනාවාස අසලින් ගලා ගිය ගංගා වැඩි සංඛ්‍යාවක් ශ්‍රීම සෘතුවේදී සිදී යෑමත් වැනි හේතු නිසා ගොවිතැනට අවශ්‍ය ජලය ප්‍රමාණවත් ලෙස නොලැබිණි. රටේ තැන් තැන්වල පිහිටා තිබූ ගංගා, ඇළ මාර්ග සම්බන්ධ කර ගනිමින් මුලදී ඔවුන් කුඩා වැව් හෙවත් ගවැව් ඉදිකරන්නට වූයේ මේ ප්‍රශ්නයට විසදුමක් වශයෙනි.
මෙවැනි කුඩා ගම් වැවක් මුලින්ම ඉදිකරනු ලැබ ඇත්තේ ක්‍රි. පූ. හයවන සියවසේදීය. මහාවංසයෙහි දක්වා ඇති පරිදි මෙම කුඩා වැව ඉදිකරන ලද්දේ විජය කුමරු සමග පැමිණි අනුරාධ නම් ඇමතියා විසින් පිහිටුවා ගත් අනුරාධගාම ජනපදයේ ය. මහාවංසයේ සඳහන් පරිදි එයින් සියවසකට පමණ පසු අනුරාධපුරයේ ප්‍රථම පාලකයා වූ පණ්ඩුකාභය රජු විසින් ජයවැව, අභය වැව හා ගාමිණී වැව යනුවෙන් වැව් තුනක් අනුරාධපුරයේ සාදවන ලදි. පණ්ඩුකාභය රජුගේ මුණුපුරන් වූ දේවානම්පියතිස්ස රජු විසින් තිසා වැව හා වලස් වැව ඉදිකරන ලද බව සඳහන් වේ. ක්‍රි. පූ. දෙවන සියවසේදී අනුරාධපුර රාජ්‍යයේ හා රුහුණු දනව්වේ ඉදි කෙරුණු වැව් කිහිපයක් ගැන හා ඇළ මාර්ගයක් ගැනද වංසකතාවල හා සමකාලීන සෙල් ලිපි කිහිපයකින් හෙළි වී ඇත. එම කාලයට අයත්,
දූරතිස්ස වැව
විහාර වැව
සුන්දරි වැව
ලභිය වසහ වැව
දිගා වැව
යන වැව් පිහිටා තිබුණේ රුහුණු ප්‍රදේශයේය. මීට අමතරව සුමන වැව, කලත්ත වැව හා පෙළවාපි වැව් පිහිටා තිබුණේ අනුරාධපුර රාජධානියේය. පූජාවලියේ සඳහන් පරිදි එම කාලයේ සද්ධාතිස්ස රජු විසින් පදවිය ඇතුළු තවත් වැව් කීපයක් කරවා ඇත. මල්වතු ඔය, දැදුරු ඔය, කිරිඳි ඔය, මැණික් ගඟ හා ගල්කය ආශ්‍රිතව එකල වැව් ඉදිකර ඇත. ක්‍රි. පූ. පළමු වන සියවස වන විට සිංහලයන්ගේ වාරිමාර්ග කටයුතු රටේ සෑම ප්‍රදේශයකම පාහේ ඉතා පුළුල් වශයෙන් ක‍්‍රියාත්මක වෙමින් පැවති බව සමකාලීන සෙල්ලිපිවලින් අනාවරණය වී ඇත. එකල කරවන ලද වැව් තුනක් ගැන හා එක් ඇළ මාර්ගයක් ගැන පමණක් වංසකතාවේ සඳහන් වී ඇත. නමුත් එකල පැවති වැව් රාශියක් හා ඇළවල් කිහිපයක් පිළිබඳව මේ යුගයට අයත් සෙල්ලිපිවලින් හෙළි වී ඇත. මහවැලි ගගට නුදුරින් පිහිටා ඇති මින්විල නම් ස්ථානයෙන් ලැබුණු සෙල් ලිපියක එහි පිහිටා තිබූ ඇළ මාර්ගයක් ගැන සඳහන් වී ඇත. මේ ඇළ මාර්ගය සකස් කර තිබුණේ මහවැලි ගග හරස් කොට වේල්ලක් බැඳීමෙනි. වංශකතාවල හා සෙල් ලිපිවල එන තොරතුරුවලින් වැදගත් කරුණු දෙකක් අනාවරණය වී ඇත. ඉන් එකක් නම් ක්‍රි. පූ. හයවන සියවසේදී පමණ සිංහලයන් ඉතා කුඩා ගම් වැව් ඉදිකිරීමෙන් හා අමුණු බැඳ ජලය ගෙන යාමෙන් ආරම්භ කළ වාරි කර්මාන්ත ව්‍යාපාරය ක්‍රි. පූ. පළමු වන සියවස පමණ වන විට ශීඝ්‍රයෙන් දියුණුවට පත්ව තිබුණු බවයි. ඒ යුගය වන විට මහවැලි ගඟ වැනි විශාල ගංගා හරස් කොට වේලි බැඳ ඇළ මාර්ග ඇතිකොට ඒවා මගින් ඈත පිහිටා තිබූ කුඹුරුවලට ජලය ගෙන යෑමට තරම් දියුණු කාර්මික ඥානයක් මෙරට සිංහල වැසියන් ලබා සිටි බව ඒවායින් හෙළි වී ඇත.
මේ කාලයේ සිංහලයන්ගේ වාරිකර්මාන්ත ව්‍යාපාරය ක්‍රම දෙකකට අනුව පවත්වාගෙන ගොස් ඇත. ඉන් එක් ක්‍රමයක් වූයේ ගංගා හා අතු ගංගා හරහා ගල් අමුණු බැදීමෙන් හෝ මැටි, ලී හෝ කොළ අතු වැනි ද්‍රව්‍ය යොදා තාවකාලික වේලි බැදීමෙන් හරවා ගනු ලැබූ ජලය ඇළ මාර්ග ඔන්සේ ඈත පිහිටි කුඹුරුවලට ගෙනයෑමයි වාරි කර්මාන්ත ව්‍යාපාරයේ දෙවන ක්‍රමය වූයේ වැව්වල සිට ඒවාට පහතින් පිහිටා ඇති කුඹුරුවල මාතිකා හෝ මාතරා මඟින් ජලය ගෙන යෑමයි.ක්‍රි. ව. පළමු වන සියවසේදී පමණ ගම් වැව් මෙන් කීපගුණයක් විශාල වැව් ඉදිකිරීම ආරම්භ වී ඇත. එලෙස විශාල වැව් ඉදිකිරීමට පෙළඹුණේ රටේ ජනගහනය ක්‍රමයෙන් වැඩිවීම හේතුවෙන් වැඩියෙන් ආහාර නිෂ්පාදනය කිරිමට සිදු වූ නිසාත් රටේ දුර්භික්ෂ වැළැක්වීම එකල සිටි රජවරුන්ගේ යුතුකම වු නිසාත්ය. ආමණ්ඩ ගාමිණී අභය රජු විසින් දක්ෂිණ දේශයෙහි ඉදි කෙරුනු මහාගාමණ්ඩි වැවද ඉලනාග රජු විසින් රුහුණේ කරවන ලද තිස්ස හා දූරතිස්ස නම් වැව් දෙකද, අනුරාධපුරය අසල ඉදිකරවනු ලැබූ මණිකාරගාම වැවද අයත් වන්නේ ක්‍රි. ව. පළමු වන සියවසේ මුල් භාගයටය.
මහ විලච්චිය, මානන්කැටිය, හිරිවඩුන්න, නොච්චිපොතාන, මහාවාපී, කෝලම්ඹගමක වැව, කොහාල වැව, වම්බුටි වැව, නිතුපත්පාන වැව, මහරාමයන්ති වැව ආදී වූ වැව් වැඩි වශයෙන් කරවා ඇත්තේ වසභ රජු විසිනි. ඔහු විසින් වැව් එකොළසක් හා ඇළ මාර්ග දොළසක් කර වූ බව සඳහන් වේ. වංසකතාවල ක්‍රි. ව. පළමු වන හා තුන්වන සියවස් අතර කාලය තුළ කරවන ලද වැව් තිස්පහක පමණ නම් සඳහන් වී. ඇත. මේවාට අමතරව තවත් වැව් එකසිය පනහක පමණ නම් සමකාලීන සෙල්ලිපිවලින් අනාවරණය වී ඇත. පළමුවන ජෙට්ඨ තිස්ස රජු විසින් කරවන ලද හෙළුම්ගමු, මහටඹු, දෙමට, පිසත්තා, වඩුගමු, බමුණුගමු යන වැව් හයද මෙම කාලයට අයත්ය. එමෙන්ම පහත සඳහන් මහසෙන් රජුගේ වැව් සොළොසද මෙම කාලයට අයත්ය.
මින්නේරිය වැව
පරක වැව
වෙලන්විටිය වැව
හුරුල්ල වැව
කුම්බාලක වැව
මාගල්ල වැව
මාමිණියාව වැව
රත්මල්කඩ වැව
මහාදාරගල්ල වැව
කෝකවාත වැව
තිහව වැව
කුථපහන වැව
මොනර වැව
මෙම වැව් අතරින් විශාලම වැව ලෙස සැලකෙන්නේ හෙක්ටාර 1915 ක් පමණ වූ විශාල ප්‍රදේශයක පැතිර පවත්නා මින්නේරිය වැවයි. මේ වැව ඉදිකිරීමත් සමග මහා පරිමාණයේ වැව් ඉදිකිරීමේ ආරම්භය යයි සැලකේ. ක්‍රි .ව. තුන්වන සියවස හා හත්වන සියවස අතර කාලය ඇතුළත ඉදිවුණු මහා පරිමාණයේ වැව් සංඛ්‍යාව තිස්පහක් පමණ වේ. මේ කාලයේදී ඉදි කරනු ලැබූ මහා පරිමාණයේ වැව් තනවා ඇත්තේ ගංගා නිම්න ඇසුරු කොට පිහිටා ඇති පර්වත හෝ කඳුගැට දෙකක් යා කොට වේල්ලක් බැඳීමෙනි. ගංගාවලින් ගලා එන ජලයෙන් හා වැසි දියෙන් වැව පිරුණු පසු බිසෝකොටුව නමින් හදුන්වනු ලබන සොරොවකින් ජලය පිට කරමින් පළමුව එම ජලය මහ ඇළවල් ඔ ප්පු ඊළගට කුඩා අතුරු ඇළ මාර්ග හෙවත් මාතිකා ඔස්සෙත් කුඹුරු කරා ජලය ගෙනයයි. ඇතැම් විට මහ වැවකට පහතින් පිහිටා තිබූ කුඩා වැව්වලට ද ඇළ මාර්ග මගින් ජලය පිරවීම සිදුකරන්නට ඇත. පැරණි සිංහල වාරිකර්මාන්ත ඉංජිනේරුවන්ගේ ශ්‍රේෂ්ඨ නිර්මාණයක් වූ බිසෝකොටුව නිමවා ඇත්තේ වැවෙන් ජලය පිට කිරීමේ දී වැව් බැමට විය හැකි හානිය වැළැක්වීමටය. මහා පරිමාණයේ වාරි කර්මාන්ත බිහිකිරීමෙහිලා පැරණි සිංහල ශිල්පීන් උපයෝගී කොටගෙන ඇති මෙවැනි විද්‍යාත්මක ශිල්පීය ක්‍රම දෙස බලන විට පෙනෙන කාරණයක් වන්නේ හත්වන සියවසටත් පෙර සිංහලයන් මේ වාරිමාර්ග ක්‍රම සැලසුම් කිරීම හා නිර්මාණය කිරීම අතින් ලබාගෙන තිබූ පුදුම සහගත කුසලතාවයි.
Comments
Post a Comment