බුලාගල
මේ ගමට නම පටබැඳුණේ බොහෝ ඈත කාලයක වෙච්ච සිද්ධියක් හන්දයි. ඒ ගංතුලානේ උනේ හේන් ගොයියෝ. යල - මහ දෙකන්න සාරෙට හේන් ගොයිතැන් කළා. වැඩේ කියන්නේ මේ හේන් සාවියේ මහා සද්ධන්ත ගල්කුළක් තිබ්බා. ඒ ගල් කුළ වටලා මහ රූස්ස කැලෑවක් පාමුලින් වැවක් තිබ්බා. හේන් කොටන හේන් රකින කාටත් මේ ගල්කුළ පේනවා. ඔහොම යද්දි එං හිටි ගමං මේ ගල්කුළ මත්තේ පඬුපාට චීවරයක් දරාගන්න භික්ෂූන් වහන්සේ නමක් ප්‍රාදූර්භූත වුණා. දැහැමි සක්මන - සංසුන් ඉරියව් භාවනායෝගීව දවස ගත කිරීම අවට වන රොදේ පලතුරු පමණයි අහර. මේ හිමියන්ගේ සංසුන් ඉරියව් හින්දා ම හේන් ගොයියන් අතර කතාවක් ඇති වුණා. මේ ගල්කුළට වැඩම කරලා ඉන්නේ අපේ ගෞතම බුදුන් වහන්සේ කියලා. ඇයි ඉඳුරන්නේ සංසුන්කම තමයි ඊට හේතු වුණේ. ඉතිං මිනිස්සු දාන මාන දෙන්ට ගත්තා. ඒ විතර යැ. කියා හිටියා බුදුන් වැඩ හිඳින ගල කියලා අර ගල් කුළට.බුලාගල - ගල්කුළ තියෙන සාවිය ම ඒ නමින් හඳුන්වන්ට ගත්තා. ඔන්න ඊට පසු, බුදුන් වැඩ හිඳින ගල - කියන එක පුරසිද්ධ වුණා. ඊටත් පස්සෙන් පහු 'බුලාගල' බවට පත් වුණා.
වාඩිගල
ඕං ඒ වංගියේ ඈ - ඒ කිව්වේ අපේ දුටුගැමුණු රාජකුමාරයා හටන් පුහුණු වෙන සන්දියේ. කිව්වත් වාගේ ඒ කාලේ හටන් ශිල්ප සියල්ල ම ඉගෙන ගන්ට වුණා. ඒ වගේමයි. හටනට උවමනා කලප්පන්න හදා ගන්න හැටිත්, ඒ කියන්නේ අවි ආයුධ ශිල්පයත් ඉගෙන ගත්තා. මේ පුහුණුව ලේසි පාසු එකක් නෙමෙයි. කයට දුක් දෙන ක්‍රියාවක්. ඇඟපතේ රුදාවයි හැම නිතර ම. ඒත් පටන් පුහුණුව අත පසු කළේ නැහැ. මෙහෙම හටන් ශිල්පය පුහුණු කළ අවධියේ ඕ, දුටුගැමුණු කුමාරයාට හරි පුරුද්දක් තිබ්බා. හටන් පුහුණු වෙලා මහන්සි වුණාම ඕං එක ගල් තලාවක් තිබ්බා. ඒකේ වාඩි ගන්නවා.මේ ගල්තලාව හරි ලස්සනයි. ඒ වගේ ම වාඩිගත්තහම හරි සුවපහසුයි. ඒ තරමට අවට පරිසරය සුන්දරයි. කලක් ගත වෙද්දි මේ ගලාවේ වෙන උදවිය වාඩිගත්තේ නෑ. දුටුගැමුණු කුමාරයා විතරයි වාඩි ගත්තේ. මහන්සිය නිවා ගන්ට. ඔය හන්දා දුටුගැමුණු කුමාරයා වාඩිගත්ත ගල - ටික කලකින් වාඩිගල කියලා කවුරුත් නැවැහැර කරන්න ගත්තා. ඕං, ඊට පස්සේ ඒ ඉසව්ව වාඩිගල බවට පත්වුණා.
රාජාංගණය
සාලිය රාජකුමාරයා අසෝකමාලාව එක්කලා පයුරු පාසානම් පවත්වන කාලේ එක සාවියක දී නිතර මුණ ගැසුණා. පළමුවෙන් ම මුලිච්චිවෙලා තිබ්බේ අනුරාජපුරේ හෙල්ලෝලී ගමේ දී යි. ඊට පස්සෙන් පහු රාජකීය කුමාරයෙක් රොඩී කුප්පායමේ ලගින්ට එන එක රාජ උදහසට හේතුවක් නිසා ඒ පළාත් අත් ඇරලා රොඩී රැහේ ගියාලු පිට පළාතකට. ඒ පළාතේ හරි ම ලස්සන ගතලාවක් තිබිලා තියෙනවා. ඒ ගල්තලාවේ අංගණයකට වෙලා සාලිය කුමාරයා අසෝකමාලාව එක්කලා පිළිසඳර කථාවේ යෙදෙනවා. මේ මුලින් මුලින් ඒ පළාත්වල ඇත්තන්ට මහා විලම්බාසියක් වුණා. පසෙන් පහු තේරුම් කර ගත්තා මේ රාජකීය කුමාරයා හින්දා ඒ ඉසවට මුලිච්චි නොවෙන්ට යන්ට. ඒ හින්දා ගල් අංගණයේ කාටවත් නොපෙනී කථාබහ කිරීමට, සල්ලාපයේ යෙදීමට සාලිය කුමාරයාට වගේ ම අශෝක මාලාවටත් හැකි වුණා ලු. ඕ, ඔහොම ඉන්න කොට, ඒ ගල් අංගණය තියෙන සාවියට ඒ පළාතේ ඇත්තන් කියන්නට ගත්තලු - රාජ අංගණය කියලා. හැබැයි ඒක බැහැර වෙලා තියෙන්නේ රාජ්‍යංගණය හැටියටයි.රාජාංගණය, අදත් ඒ සාවිය හඳුන්වන නාමය වෙලා තියෙන්නේ.
බොලගම
වළගම්බා රජතුමා රජකම් කළේ වනයට වැදිලා - කැලෑ හටන් කරමින්. එහෙම කැලෑ හටන් කරන්න වුණේ ත්‍රිසිංහලය එක්සේස්සත් කිරීමේ අරමුණ හින්දයි. ඒ වෙද්දිත් සතුරු ආක්‍රමණ රැ සක් රට පුරා දියත්වෙලා තිබේ. මේ නිසා වළගම්බා මහරජතුමා ඒ ඒ පළාත්වලට ගිහින් සේනා සංවිධානය කළා. ආයුධ හදන හැටි කියලා දුන්නා. පාළු වී ගිය කුඹුරු අස්වද්දලා භෝග දියුණු කළා. මෙහෙම හටනට උවමනා පරිසරය හදාවඩා ගන්න කොට ඔන්න එක කාලයක් හටන්වලින් ජය ලබන්නට ගත්තා. මේ නිසා දිගින් දිගට ම හටන්වලින් ජය ගනිමින් ඉදිරියට සේනා මෙහෙය වූවා.ඔය අතරේ, එක හටනක් අහවර වෙලා වන වැදුණා. ඒ සේනාවට වගේ ම රජතුමාටත් වින්ඩෝකය ඕන හන්දා. මහ වනය කියලා පිරිස ගමන් කළාට එකවර ම ඒ කැලෑව මැද්දේ මහා සශ්‍රීක ගමක් දැක්කා. එවිට වළගම්බා රජු එකවර ම, 'මේ බොල ගමක් නේ! කිව්වා. බොල ගමනේ කියලා කියපු ඒ කථාව හින්දා ඕ ඒ ගමට බොලගම කියලා කියන්ට මිනිස්සු හුරුවුණා.අදත් එම ගමට නම බැහැර වෙන්නේ බොලගම හැටියට යිම තමා.
අඹකොළවැව
ඔය මී ඔය, දන්නවා ද - ආං ඒක ගලාගෙන යන්නේ හත්කෝරලයේ ඉහත්තාවෙන්. ඒ වංගියේ මී ඔයට බැහැලා හරක් යනවා වනාතවිල්ලුව පැත්තට. ගිහිං ඉඩෝරය නිමා වෙද්දි ආයේ ම දක්ඛං එනවා. මේ හැටියට ඉඩෝර කාලේ හිඳෙන මී ඔය හරහා බැම්මක් බැන්දා. ඒ අභය කියලා රාජ කුමාරයෙක්. අභය රාජකුමාරයා දැක්කා වන්නි ඉඩෝර කාලෙට මී හරක් ගාල් පිටින් දක්කා ගෙන මී ඔයේ යනවා. ආයේ ම වැහි සමය එද්දි දක්කාගෙන එනවා. මේ, මී ඔයෙන් වැඩක් ගන්ට හිතාගෙන එක සාවියක බැම්මක් බැන්දේ. ඕ, එතැන් හිටන් මී ඔය නතර වුණා. මහා වැවක් හැදුණා. ඒකට මොකද ඔය දිග අතටමයි මෙ අලුත තනාපු වැවේ වතුර පිරීගියා. දොහක් අභය රාජ කුමාරයා ආවා වැව බලන්න. බැලින්නම් නිල් කැටේට වතුර පිරිලා. ඒ වුණාට දිගටි හැඩයකටයි වැවේ වතුර පිරුණේ. මේක හරියට අඹ කොළයක් වාගේනේ කියලා රජ කුමාරයා කිව්වා. මං එතැන් සිටන් ඒ වැවයි, ඒ පළාතයි අඹකොළවැව කියලා බැහැර වුණා.
Comments
Post a Comment