gossiplanka image 1
 



 නිවිතිගල


කිව්වහම ආයේ, ආවා සාත්තරකාරයෙක්. ආවේ ඉන්දියාවේ ඉඳන්. සාත්තරකාරයා කිව්වාට ඒ ඇත්තා පුරසිද්ධ වුණේ නිමිතිකාරයා කියලා. කෙනෙක් ඇහැගැටුණා ද ඒ අයගේ දූත ලක්ෂණය බලලා නිමිති කියනවා. ඒ හින්දා මිනිස්සු නිමිති අහ බලාගන්ට ආවා ගියා. ඒ අතරේ, මේ නිමිතිකාරයා උන්නේ එක්තරා ගල්පොත්තක් උඩ යි. දැන් ඔහොම වසරින් වසර ගෙවිලා ගියා. මිනිස්සු එනවා නානාප්‍රරකාර නිමිති අහ බලන්ට. කල් යෑමේ දී මේ නිමිති කියමන ඒ අහල ගං සාවියේ ම පුරසිද්ධ වුණා නොවැ. කොටින් ම දැන් නිමිතිකාරයාගේ නිමිති කීම වගේම, නිමිතිකාරයා වාසය කරන ගල්පොත්තත් පුරප්‍රසිද්ධ වුණා. කොටින් ම ඒ ගල්පොත්ත නිමිතිකාරයාගේ ගල්පොත්ත වුණා. ඒ හින්දා ඒ ගල්පොත්ත තිබ්බ සාවිය නිමිතිගල කියලා කියන්ට ගත්තා. කාලයක් තිස්සේ මෙහෙම නිමිති ගල - නිමිතිගල කියලාතියද්දි ඒ නිකම්ම නිවිතිගල බවට පත් වුණා. ඒ නම අදත් බැහැර වෙන්නේ නිවිතිගල කියලානේ.




හලාවත



වත්හිමි කුමාරයා රජකම් කළේ කුරුණෑගලයි. වත්හිමි කියන්නේ මුස්ලිම් යකඩ දෝලියකගේ පුතෙක්. මේ නිසා වත්හිමි කුමාරයා හා ඇතුගල්පුර ඒ කියන්නේ කුරුණෑගල ගම්වැසියන් අතර විරසකයක් ඇති වුණා. මේ විරසකය දිගින් දිගට ගියා. ඒ නිසා ඊට පිළියමක් හැටියට මහා සෙත් ශාන්තිකර්මයක් කළ යුතු බවට වත්හිමි කුමාරයාගේ හිතෙෂීන් කියා හිටියා. ලංකාවෙන් ඇදුරන් සොයා ගත හොත් එයත් වත්හිමි කුමාරයාට නපුරක් වෙයි කියලා හිතුවා. ඒ නිසා බැරි ම තැන ඒ පිරිස යෝජනා කළා ඉන්දියාවෙන් පිරිසක් ගෙන්වා ගන්ට. ඉන්දියාවේ කාලි දේශයේ කට්ටඬින් සිටින නිසා ඔවුන් මෙරටට ගෙන්වා ශාන්තිකර්මය කරගන්ට වෑයම් කළා. සාලි කට්ටඬියන් ලංකාවට එන්නට මැළි වුණා. බැරි ම තැන සාලින්ට දන්වා සිටියා වත්හිමි කුමාරයා සූදු පිටියක් සූදානම් කරලා තියෙන්නේ කියලා. සාලි ඇවිත් වත්හිමි කුමාරයා ඉන්න ඉසවට යන්ට මාවතක් තනා ගත්තා. සාලි ආගිය මාවත ඊට පස්සේ ඕ ඒ පළාත් වැසියන් සාලි ආවත කියලා කියන්ට වුණා. සාලි ආවත ඩිංග ඩිංග බැහැර වුණේ සලාවත කියලා. හැබැයි දැන් ඒ පළාතට කියන්නේ හලාවත කියලයි.



යක්ගහපිටිය



ඔය, අපේ දුටුගැමුණු කුමාරයාට උන්නානේ දසමහා යෝධයෝ. දසමහා කිව්වේ - හැබෑ ම යෝධයෝ දහ දෙනකුටයි. එයින් එක යෝධයෙක් තමා ගෝඨයිම්බර යෝධයා. උස හැටියට මහත - මහත වගේ ම හයිහත්තිය. ඒ හින්දා ම මේ හතර මහා පුරුසයාට ස්ත්‍රීන්ගේ බැල්ම වැටුණා. ඒ වුණාට කියන්ට, ගෝඨයිම්බර යෝධයා තෝරා ගත්තේ එක ස්ත්‍රියාවක් විතරයි. ඇය හැබෑ ම රූමතියක්. සිරියාවන්ත රූපේ. අක්බඹරු කෙහෙරැල්ල. ඒ වාගේම පාටයි. මේ හින්දා ගෝඨයිම්බර යෝධයාගේ බිරිඳ ගැන කරුත් කථා බහ වුණා. වැඩේ කියන්නේ ඔය රිටිගල ජයසේන උන්නානේ. ආං ඒ රිටිගල ජයසේ දොහක් නොහොබිනා විහිළුවක් කළා. ඒක්කෙන් වුණේ ගෝඨයිම්බර යෝධයා එක්ක රිටිගල ජයසේන හටනක් පටන් ගත්තා. ආයේ ලේසි පාස දෙනෙක් නෙමේනේ. හටන ඇවිළිලා ගියා - දෙන්නා ම මරු විකල්ලෙන් පටන් කළා. ගෝඨයිම්බර යෝධයා දස්සයා. දුන්නා හරියට නිලේ බලලා පාරක්. රිටිගල ජයසේනගේ බෙල්ල ගලෝලා ගිහිං බිම පත බෑවුණා. මං ඔය හැටියට මේ රිටිගල ජයසේනයි ගෝඨයිම්බරයි හටන් කළ බිම බලන කොට හරියට යක්කු නටලා වාගේ ඒ අවට ගහකොළ බිඳිලා තිබ්බේ. ඒක දැකලා මිනිස්සු කියන්ට ගත්තා මං මෙතන යක්ගස් පිටිය වගේ නේ කියලා. ඊට පස්සේ ඒ පළත යක්කහපිටිය කියලා හඳුන්වන්නට ගත්තා.



ඇඹුල්දෙණිය



කිව්වහම ඒ කාලේ ඒ පළාතට හරිහමං නමක් තිබ්බේ නෑ. ඔය කටට එන එන එක වාරණ නම් කියා හිටියා. ඒ අතරේ, ඒ පළාත පුරසිද්ධ වෙන්ට කාරණාවක් බලපෑවා. ඒ තමයි පළාතේ නම් දරාපු වෙදාණන් කෙනෙක් උන්නා. උන්නැහේ වෙදකම් කළේ, ආයේ සල්ලි බාගේ බලාගෙන නෙමෙයි. පරම්පරා උරුමයක් තිබ්බා. ඒ ගුණයට වෙදකම් කළා. එන කාටත් බේත් හේත් හදලා දෙනවා. නැතිනම් බේත් ඖෂධ තියෙන ඉසව් කියනවා. වට්ටෝරුව අතට දෙන ගමන්. ආං ඒ වෙදාණන්ගේ හුරුකම නිසා එක සාවියක් වැඩිවැඩියෙන් පුරසිද්ධ වෙන්ට ගත්තා. ඒ කියන්නේ ඒ සාවියේ තිබේ දෙණියෙක්. නිකන්ම නිකම් දෙණියෙක් නෙමෙයි. බේත් අවුසදවලින් සාර දෙණියෙක්.ඒ වගේයැ - මේ දෙණිය පුරා ම ඇඹුල් අවුසද ඕන තරම් තිබ්බා. අපේ වෙදාණන් බේත් සීට්ටු ලියලා දීලා කියනවා - මේ දෙණියට ගිහිං උවමනා ඇඹුල් අවුසද ගලෝගනිල්ලා කියලා. ඔය නිසා බේත් ගන්ට දෙතුං වංගියේ ආපු ඇත්තෝ කියන්ට ගත්තා ඒ දෙණියං - ඇඹුල් බේත් දෙණියෙ කියලා. එහෙම කිව්වට ඩිංග ඩිංග මේ බැහැර වුණු ඇඹුල්දෙණියෙ කියලයි. ඇඹුල්දෙණියේ නම තාමත් ඒ පළාතේ තියෙනවා. හැබැයි දෙණියෙවත් ඇඹුල් අවුසදවත් නම් නෑ ඕං,



උල්හිටිය



හිටියා එක නම් දරාපු විදානේ කෙනෙක්. හිටියෙ රජකාලේ හොඳේ. මේ සුළු විදානේ මහා අසමජ්ජාති මිනිහා. ගමේ රටේ කාටවත් ම හොඳක් කළේ නැහැ. කරන තරමක් කළේ දුෂ්ටකම්, නොහොබිනා කම්, මේ නිසා ගම්මුන් සුළු විදානේගෙන් ඈත් වෙලා ජීවත් වුණේ. ඔහොම ඉන්න කොට ඔන්න හිටි ගමන් මේ සුළුවිදානෙට මාරාන්තික ලෙඩක් වැළඳුණා. බේත් කළා පලක් නෑ. මැරෙන්ට වැටුණා. මරණාසන්න වෙද්දි ගම්මුන් ඇවිත් හිටන් උදව් කරන්ට ගත්තා. සුළුවිදානේ අඩන්ට ගත්තා. මම උඹලාට කළේ නපුරුකම් මම ඒ ගැන කනගාටුයි කියලා.

ඊට පස්සේ ඉල්ලා හිටියා මේ ලෙඩින් මා මැරෙනවා. එවිට මට සැනසිල්ලේ ඉන්ට අර හංදිය අද්දර උලක් හිටෝලා මගේ මිනිය ඒකේ ගහපල්ලා කියලා. සුළුවිදානේ මරණාසන්නව නව වැඳුම් වැඳලා කීව නිසා ගම්මුන් ඒ වැඩේ එහෙම කළා.ඊට පස්සෙ දොහක රජතුමා ඒ ළඟින් යද්දී දැක්කා උල තියලා මිනිහෙක් මරලා ඉන්නවා. ඒ ගැන තොරතුරු විමසා බලා, රජතුමා තමාට ඉහළින් දඬුවම් දුන් මේ ගමේ සියලු පිරිමින් උන්නේ හිටෝලා මරණයට පත් කළා. මෙහෙම උල හිටෝලා ගමක් මරා දැම්ම සුළු විදානේගේ වෛරය ඊට පස්සෙයි කාටත් දැනුණේ.

ඒ වගේ ම, එහෙම ගමක් උල් හිටෝලා මරා දාපු නිසා ඒ පළාත උල් හිටෙව්ව ගම වුණා. ඒක ඩිංග ඩිංග බැහැර වුණේ “උලහිටිය” කියලයි.




කැන්තපහුව


යන්ත්‍ර - මන්ත්‍ර ගුරුකම්වලින් කෙළ පැමිණි මහා දස්ස යතිවරයෙක් උන්නා. උන්නාන්සේ යකුන් බැඳගෙන වැඩ ගත්තා. යකුන් ගෙන් වැඩ ගැනිල්ල ලේසි පාසු නෑ. කොච්චරවත් වැඩ කරන්ට ඕනෑ. ඩිංග ඩිංග එහාට මෙහාට වුණොත් වැඩේ කම්මුතු වෙන්නේ ජීවිතේ ගිහින්. නමුත්, මේ යතිවරයාණන් වහන්සේට මහා බලයක් තිබුණා. ඒ වගේමයි, යකුන් බැඳගෙන වැඩගත්තේ මිනිස්සුන් වෙනුවෙන්. වැව් බඳිනවා - මංමාවත් තනනවා - ඒ දඬු තනනවා - මේ වගේ ලොකු වැඩ කටයුතු තමයි කළේ. ඕ ඔහොම යකුන්ගෙන් වැඩ ගන්න මේ උන්නාන්සේ එක් කාලයක මහා තේජබල යකෙක් පත්කර ගත්තා. මේ යකා වැඩ කරනවා කියලා කියන්නේ හරියට විදුලිය වාගේ කෙස් ගාන පමාවෙන් වැඩ කරනවා. .

ඔන්න මේ යකාගෙන් වැඩ ගන්නට ගියා ම මොකද අපේ යතිවරයන්ටත් තේරුම් ගියා හිතූ තරම් ලේසි නෑ කියලා. ඒ හින්දා ළිං, මේ යකාගෙන් බේරෙන්ට හිතාගෙන යකාට වැඩක් පවරලා හිමිනම පන්සලෙන් පිටවුණා. ඒ කියූ වැඩ ඉවර කරලා යකා හිමිනම හොයාගෙන ආවා. එතකොට දැනුණා හිමිනම මග ඇරලා ගිහිං කියලා. යකා කැත්තක් අරගෙන හිමිනම සොයමින් දුවන්ට ගත්තා. හිමිනම දුටුවා කැත අරක්ගෙන යකා එන්නේ ගොදුරට කියලා. මතුරලා ඉරක් ඇඳලා ඒ ඉරෙන් එපිටට ගියා. යකාට සීමාව පැනලා යන්ට බැරි වුණත් ගෙනා කැත්ත දමලා ගැහුවා. හිමි නම ඉස්සර වුණා. කැත්ත පහු වුණා. මේ හැටියට කැත්ත පහු වීම නිසා ඒ සාවිය පසෙං පහු “කැන්තපහුව” බවට පත්වුණා.