gossiplanka image 1
 


පරවහගම


අපේ වීර කැප්පෙටිපොළ උන්නැහේ හිටියා නොවැ. උන්නැහේ සුද්දන්ට විරුද්ධ වුණා. හටන් කළා - සුද්දෝ ලංකා බිමෙන් එලෝලා දාන්ට. ඒ සන්දියේ සුන්දෝ රට පුරා ම අණබෙර යැව්වා. හැකිනම් මේ කැප්පෙටිපොළ ඇත්තා අල්ලා දියව් කියා. අල්ලා දුන්නොත් රන් පවුම් මෙච්චර දෙනවා කියලා කියා හිටියා. ඕං එතකොට කැප්පෙටිපොළ උන්නැහේ හිටියේ වහං වෙලා. තමුන්ගේ නගාගේ ගෙදර. ඒක තිබ්බේ මේ විජිතපුරයට සමීපයේ. මං ඒ ගෙදර වහංවෙලා උන්නේ වටේට වන රොද - ඒ ළඟින් පැනලා අනුරාජපුරේ යතෑකි - මාතලේටත් යතෑකි යි. එක දොහක් මේ කැප්පෙටිපොළ උන්නැහේට සෙත් සාන්තියක් කළා ඒ ගෙදර උදවිය. එදා ආවා ගමට ලුණු - කම්බා පිළි අරන් එන තම්බි වෙළෙන්දා. මේ ඇත්තා ආවේ වෙනදා වගේ පුරුද්දට නවාතැන් ගන්නයි. නමුත් එදා නවාතැන් දුන්නා. රෑ හොරෙන් වහංවෙලා බලා හිටියෙ ඇයි ද මෙහෙම වෙනස්කමක් කළේ කියලා. ඈ එදා දැක්කා ඇහැලේපොළ නිලමේ මේ ගෙදර වහං වෙලා ඉන්න හැටි. ගිහිං ඔත්තුව දුන්නා සුද්දන්ට.  ඕං පහුවදා සුද්දෝ මේ ගමට එනවා කියලා ආරංචිය ආවා. ගම්මු කළේ සුද්දෝ ගමට ඇතුළු වන හැම මංකඩකම කටු අකුල් ඇදලා දාලා පාර වැහුවා. ඒක දැක්කා විතරයි අද පාර වහලා මේ ගමේ කියලා සුද්දෝ කියා හිටියා. පාර වහලා - ගමේ කියාපු කතාව හින්දා ඕං එතැන් සිටන් ඒ සාවියට කියන්න ගත්තා පාර වහපු ගම කියලා. හැබැයි ඒ නම බැහැර වෙලා දැන් කියා හිටින්නේ පරවහගම කියලයි



 අගුණකොළපැලැස්ස


 ඔය අපේ මුතුන් මිත්තන් පැලැස්ස කියලා කියා හිටියේ ස්ථාන දෙකකටයි. එකක් හාන කොට, ඒ කිව්වේ මී ගොන් බැඳගෙන හාන කොට අතුරු ගහනවා නේ. ආං ඒ අතුරු සීමාවෙන් පිටාවත - මෙහෙම කියමුකෝ ලියද්දේ තව හාන්ට තියෙන කොටහට කිවේ පැලැස්ස කියලයි ඕං. ඒ හින්දාම වෙන්ටැ වෙල් අද්දර කුඩා බිම් තීරු ඉතිරිවෙලා තියෙනවා නේ. ආං එවා කොයි එකටත් කිව්වේ පැලැස්ස කියලයි. පැලැස්ස කියන නාමය වෙල අද්දරක ම තියෙන කොටහක් ම වෙන්ට ඕනෑ. පැලැස්සට හරි හමන් අයිතිකාරයෙක් නෑ. කලකට හරක් දිගේලි කරනවා. කොහොම හරි පැලැස්සේ තියෙනවා ඕනෑපදං පලාකොළ වර්ග හැදිලා. පලා විතරයැ - එලෝන්කොටියට තියෙනවා වන ඖෂධ.  


මේ හැටියට තිබ්බ එකපැලැස්සක් ගැන තමයි මේ ගමට නම හැදෙන්ඩත් හේතු වුණා කියලා පුරාණේ හිටන් කියන්නේ. මේ පැලැස්සේ සහමුලින් ම පිරිලා තිබුණේ අඟුණකොළ, කිරිඅඟුණ වගේ ම තිත්ත අඟුණත් තිබ්බා. අඟුණකොළ! අප්පා එහෙම රහ පලාවක්. මේ හින්දා ඒ ගංතුලානේ පමණක් නොවෙයි - අහල ගං සීමාවේ කවුරුත් අගුණ කඩාගෙන යන්ට ආවේ මෙහාට. ඒ ඒ  හින්දා ම මේ පැලැස්ස හඳුන්නන්ට වුණා අඟුණකොළ පැලැස්ස කියලා.  ඕං බලමුකෝ ඩිංග ඩිංග ඒක බැවැහැර වෙලා දැන් ඒ සාවිය ම හඳුන්නන්නේ අගුණකොළපැලැස්ස කියලා නොවැ.


අටකළංවත්ත


කළඳ - මංචාඩිය වී ඇටය - මුං ඇටය - ආදී නම් නිතර ම භාවිතයට ගත්තා රත්තරන් කිරා මැන බලන කොට. ආයේ බේත් ඖෂධ කිරණ කොටත් මං ඔය කළඳ - මංචාඩිය නිතර භාවිතයට ගත්තා. ඒ වගේමයි , කළන් වචනය නිතර බැහැර වුණා මුදල් ගනුදෙනුවෙදි. මොකද පුරාණේ මුදල් හදල් ගනුදෙනු කරලා තියෙන්නේ රත්තරන්වලින් නැතිනම් රිදියෙන්. මේ, මේ හින්දා කළන් වචනය නිතර විවහාරයට ගත්තා. ආයේ හෙනම් කිව්වහම - මේවා මේ ගමට නම පටබැඳිලා තියෙන්නේ මං එය විදිහටයි ඈ. ඒ සිද්ධිය මෙහෙමයි ඒ පළාතේ හැටියට පුදුම තරම් සශ්‍රීක ඉසව්වක්. මොනවද වෙන්නේ නැත්තේ. හැම නිතර ම වැහිපල ලැබුණා. ගහකොළ නිලට නිලේ වැඩුණා. ඔන්න ඔය පළාතේ උන්නා යහමින් ඉඩකඩං තිබ්බ ඇත්තේ අටදෙනෙක්. ඒ ඇත්තෝ එක ම පවුලේ උදවිය. ඒ අටදෙනාට තමයි සාගරයට ඉඩං තිබේ. හැබැයි රජෝ පුංචි පරහකුත් මෙතැන තිබ්බා.


මේ සාගරේට ඉඩං තියෙන පවුලේ අටදෙනා පුදුම තරම් ගොං වැඩ කළා.ගොං කිවේ උපන්ගෙයි මෝඩයෝ. ආං ඒ හින්දා ඒ කාලේ  වැවිලිකරුමාන්තයට ආපු සුද්දෙක් රත්තරන් කළන් අටක් දීලා මේ සාගරේට තියෙන ඉඩං අයිති කරගත්තා. එක් සහෝදරයකුට රත්තරන් කළඳයි. හැබැයි මොළේ කළඳක් නැති මේ අය රත්තරන් කළඳ ගානේ අරගත්තා - ඉඩම් සියල්ල දුන්නා.

ඕං එදා හිටං ඒ ඉඩමට අටකළංවත්ත කියන්න වුණා. ඒ නම තාම ඒ සාවියට මේ නම කියනවා නොවැ.



අඹෝරුව


දන්නවා ද තිබුණා අඹ ගස් යායක්. මේ අඹගස්වල අඹ හටගත්තා වකාරෙට. ආයෙ කුරුලු කොබෙයියෝ වැහිවැහලා අඹ ගස්වල උන්නේ. ඒ වුණාට ඒ අඹ කාලා ඉවර කරන්ට බැරි වුණා. ඒ තරම් අඹ හැදෙනවා. හැදෙනවාද කියලා අහනවා බලන්ටත්  ආසාවයි. ඕං, බලමුකෝ අඹ ගස් යාය පිහිටලා තිබේ. මහා පුදුම ඉසව්වකයි. කාටවත්ම ගොඩින් සමීපවෙන්ට බෑ. වටකරේ ජලාශය. මං මේ හින්දයි අඹගස්වලට නිතර කුරුල්ලෝ ඇවිත් වහගෙන උන්නේ. වටේට්ට තිබේ වැවක් වාගේ. විශාල ජලය පිරුණු සාවියක්. ඒ හින්දන් ඒකට හරි වැඩක් කරන්ට ඒ පළාතේ ඇත්තේ මනාප වෙලා උන්නා.


ඇයි ද දන්නවා ද - මේ ගස්වල පුදුම තරම් රහ අඹ හැදිලා තියෙන්නේ. මී අඹ, පෙට්ටි අඹ, වලු අඹ වාගේ පුදුම තරම් රහ අඹ හැදෙනවා. මං අඹ කාලේ එනවාන්නේ. එතකොට අඹ කඩාගෙන එන්නට ඔරුවක් තනා ගත්තා. මේ ඔරුව වෙන වැඩකට පාවිච්චි කළේ නැහැ. ගත්තේ අඹ සන්දියට අඹ කඩාගෙන එන්ට විතරමයි. ඒ හින්දා මේ ඔරුවට මේ ගංතුලානේ ඇත්තන් කියා හිටියේ අඹ ඔරුව කියලා. ඇයි ගංකරයේ කොයි ගෙදර උදවියත් ඔරුවෙන් ගිහිං ඇති පදන් අඹ කඩාගෙන ආවනේ. , ඔය හැටියට අඹ ඔරුව කියන එක ඩිංග ඩිංග විවහාරයට ආවා. ඒ හින්දා ඒ සාවියට අඹ ඔරුව කියන්ට ගත්තා. ඒක බැහැර වුණේ අඹෝරුව කියලයි.



ආණමඩුව


මේ වන අඩවියේ ඕන තරම් වනසතුන් උන්නා. ඒ හින්දාමයි මිනිස්සු දඩයමට ආවේ. ආ කෙනෙක් හිස් අතින් ගියේ නෑ. ඒ තරම් දඩයම් සරුයි. හැබැයි මෙතන කොස්සක් තිබුණා. තිබුණාද කියන්නේ . මේ වන සාවියේ කරක් ගහන එක ලේසි පාසු නෑ. හැම නිතර ම අතරමං වෙනවා. මං මුළා වැල් එමටයි. ඒ හින්දත් කවුරුත් දඩයමට ආවේ කාණ්ඩ වශයෙන් තනිපංගලමේ දඩයක්කරුවන් ආවේ නෑ. හැබැයි දඩයම්කරුවන් රංචු පිටින් ආවත් වන බිමේ අතරමං වුණා. අං එහෙම අතරමං වෙච්ච එක පිරිසක් මහා ඇබැද්දියකට මූණ දුන්නා. මේ වන බිමේ අතරමං වුණා මදිවාට ඒ දොහේ වැහිපිට වැහි වහින්න ගත්තා. දැන් වැස්සෙන් බේරෙන්ටත් ඕනෑ නේ. මොකද කරන්නේ ඒ ඇත්තෝ බිම ඉන්ට බැරි ම තැන ගහක් තෝරාගෙන ඒකේ මඩුවක් තැනුවා. මේ ගහේ තනාපු මඩුවේ දින කීපයක් ගත කළා. එහෙමයි ප්‍රාණය බේරා ගත්තේ. මේ බිම් තීරුව පුරා ම ජලය පිරිලා තිබුණු හින්දයි. ඔන්න ඊට පස්සේ මේ මංමුළා වැල් තියෙන අඩවියේ පාර පෙන්නන මග ලකුණු බවට පත්වුණේ මේ ගස උඩ තියෙන මඩුවයි. ආන්න මඩුව කියලා ඈත ඉඳලා පෙන්නනවා. එවිට ඒ මඩුව ළඟට යනවා. පාර හොයාගන්ට පුළුවන් වුණා - මේ මඩුවට නැඟලා බලපුවහම. ඕං ඔය හැටි අන්න මඩුව කියන එක ඩිංග ඩිංග බැහැර වුණේ ආමඩුව කියලා පෙන්වන හැටියට ඊට පස්සෙ පහු ඒක ආණමඩුව වුණා.