මාස්පොත
ඔය අපේ වළගම්බා රජතුමා උන්නාන්නේ. උන්නැහේ වනගත වෙලා ඉඳගෙනයි හටන් ව්‍යාපාර දියුණු කළේ. කොටින් ම ඔය ගරිල්ලා හටන් ඉස් ඉස්සෙල්ලා ම අත්හදා බැලුවේ අපේ වළගම්බා රජතුමා කියලනේ කියන්නේ. මේ මෙහෙම කාලය ගත කරද්දි ඔය හත්කෝරලයේ තියෙනවා යක්දෙස්සා ගල කියලා ගලක්. ඒ කාලේ ඒ ගල අවට තිබ්බ කඳු ගැටයක වාර්තාවෙන්නේ මසක් කියලා. ඒ මාසයේ නිකම් ම නිකං දානය ගිල දමමින් උන්නේ නැහැ. මේ මාසය පුරා ම ලිවා පොතක්. මාසයෙන් පොතක් ලියුවක් එහි කියවුණේ මේ යුද්ධය කරන හැටි - ඒ වගේමයි හතුරාව පරාජය කිරීමට සැලැසුම් වගේ දේවල් තමයි පොතට ඇතුළත් වුණේ. මේ පන්සලට ආවා වළගම්බා රජතුමාගේ හිතවත් සෙනෙවියන් පිරිසක් වෙස්වළාගෙන්. එහෙම කළේ වළගම්බා රජු අහුවේවි කියන බයටයි. ඒ අතර මසකින් ලියූ පොත පිළිබඳ කතාව ගියා ගමට. ගමෙන් රටට ගියා- මසකින් පොතක් ලිය ගම කියලායි ඒ ආරණ්‍ය තියෙන ඉසව්වට කවුරුත් කියන්ට ගත්තේ මාසෙන් පොත ලියාපු ගම කියලයි. ඔං ඔය කියන කතාව බැහැර වෙලා දැන් ඒ ගමට කියන්නේ මාස්පොත කියලයි.
බිසෝපැන්නගල
එක්තරා රජ කෙනෙක් නිරන්තරයෙන් සතුරන් සමඟ සටනට එළඹුණා. ඊට හේතුව වුණේ - ඒ කාලයේ විවිධ සතුරු ආක්‍රමණ තිබීම යි. කෙතරම් සතුරු ගැටුම් තිබුණත් මේ රජු ඒවායින් ජයග්‍රහණය කළා. සටනට ඉතා දක්ෂයි. ඒ වගේයි, රට වැසියන් ද රජුට හිතවත්. මේ නිසා නිතර නිතර රජතුමා සතුරු සේනා එක්ක සටනට ගියා. ඒ යද්දිත් රජ දේවිය හිටියේ හරි ම කනස්සල්ලෙන්. රජතුමාට අනතුරක් වේවි කියන සැකය දේවින්නාසේන්ගේ හිත්තේ තිබුණා. ඒ වගේ ම රජතුමාට හිතේෂි වන්තයි. රජතුමන් දේවීන් වහන්සේගේ ආලවන්තකමට මනාපයි. ඊටත් හැම හටනකින් ම දිනේ දේවියගේ වාසනාවට යැයි නිතර ම කියන්ට හුරු වෙලා උන්නා.
ඕං ඒ වංගියේ එක දොහක දරුණු හටනක් ඇවිළුණා. දේවිය තේරුම් ගත්තා මේ හටනින් නම් රජ පරාදයි කියලා. ඒ නිසා රජතුමා එක්ක හිටියාට හිතා ගත්තා රජු පරාදයට පත් වුණොත් දිය ඇල්ලකින් පැනලා මැරෙනවා කියලා. රජු සටනට ගියේ දින්නොත් සුදු කොඩියක් එවන බවටත්, පැරදුනොත් රතු කොඩියක් එවා ඒ බව දන්වන බව කියා දීමෙනුයි. කිව්වත් වාගේ රජු සටනින් දිනුවා. ඒ බව බිසවුන් වහන්සේට දන්වන්ට සේවකයෙක් යැව්වා. යැව්වා කියන්නේ මේ අවාසනාවන්ත සේවකයා වැරැදි කොඩියයි ඔසවාගෙන ගියේ. ඒ දැකලා බිසව පැන්නා ඇල්ලට ඒ ඇල්ල උඩ තිබ්බ ගලට නැගලා. ඊට පස්සේ ඒ ගලටත් වටපිටාවේ සාවියටත් කියන්න ගත්තේ බිසෝ පැන්න ගල කියලයි. ඔන්න, අදටත් ඒ ගල පිහිටි සාවියට බිසෝපැන්නගල කියලා බැහැර වෙනවා.
සෙවණගල
ඒ පළාතේ හැටියට හප්පා ඒ කාලේ වැහි පිට වැහි වැස්සේ. හාත්පස මහ ගන කැලෑව. ඒ එක්කල ම දිය කඳුරුවලින් දිය වැස්සෙනවා. ඔහොම කාලයක් ගත වෙද්දී ඔය පළාතට ආවා මිනිස්සු කාණ්ඩයක්. ඒ ගං ගෙවල් තනාගෙන. හේන් කොටාගෙන ජීවත් වෙන්න හිතාගෙනයි. මේ කාණ්ඩය ආවේ උන්නු ගම්බිම් අත්හැරලා. මොකද ඔය ගම්වලට වඳුරු වසංගත එනවානේ. ආං එතකොට සහමුලින් ම ගම් විනාස වෙනවා. එහෙම වෙද්දි ගමේ ඉතිරි වෙන කාණ්ඩේ කවුරුත් එක්කලා ගම හැර යනවා. මෙහෙම ආ පිරිස මේ ඉසව්වේ නවාතැන් ගත්තා. අවට දිය කඳුරුවලින් දිය වැසෙනවා.
ආයේ දියවර යහමින් තියේ නම් හේන් ගොවිතැන් කරන්නට බැරිවැයැ. මෙලෙස පැමිණි පිරිස මෙතන ගමක් හදාගත්තාට ඒ ගමට හරිහැටි නමක් තිබේ නෑ. හැබැයි එක දිය කඳුරක් තිබ්බා ඒක්කෙන් දිය වෑහෙන නිසා එතන තිබ්බ යෝධ ගල් කුළ දිය සෙවලින් පිරිලා. ඒ සෙවලගල නගින්ට වලිකාලා ඒ සෙවලගල පාමුල පතබෑවුණා කීප වරක් ම. මේ නිසා දිය සෙවෙල ගලට ඒ ඇත්තන් සෙවලගල කියලා කියන්ට පුරුදු වුණා. සෙවලගල - සෙවලගල කියලා කිව්වට ඒක බැහැර වුණේ මං සෙවණගල කියලා නොවැ.
ඇත්පැටියා වැව
පොච්චියේ, ඒ ඉසව්ව පිහිටලා තිබ්බේ අපේ ඔය ඇලයාපත්තුව ඉසව්වේ. ඒ කාලේ මේ පළාතට හරිහමන් නමක් නෑ. මහා රූස්ස වන දහන - අලි කොටි වලස්සු විමානේ. හැබැයි කලට - යලට වැහි වැටෙන හින්දා හිටුවන බව භෝග කෝකත් සාරෙට හැදුණා. ඒ වගේමයි. ඒ ඉසව්ව හේන් කෙටිල්ලට නම් දරාපු පළාත - මොකද ඒ තරමට සශ්‍රීක වනදහන නොවැ. ඕ ඒ සාවියේ තිබ්බා වැව් කොටුවක්. ඒ තමයි, මේ වැව් කොටුව වටේට වන පෙත. මේ වැවේ ඩිංගිත්තක් විශේෂයක් තිබ්බා. ඒ තමයි, වැව පිටතින් බලනවාට වඩා ඇතුළතින් ගැඹුරුයි. ඒ වගේමයි, එක ම මඩ ගොහොරුව. ඒ තරමට වැව් පතුල මඩෙන් සාරයි.
අලි - ඇත්තු ඔය කොයි සතා හීපාවා ආවත් හී සැරේ දිය බොන්නේ ඇයි වැව මඩ ගොහොරුව නිසා එරෙනවානේ. ඔය බව නොදන්නා වූ එක අලි රංචුවක ඇත්පැටියෙක් බැස්සා වැවට. ගියා දියත්ත දිගේ වැවේ මැදට. එරුණා ඇත්පැටියා. ඒ ඇත්පැටියා ගන්ට වලිකෑවා ඇතින්නිය වගේ ම ඒ රංචුවේ උන්නු අලි රෑන ම. මොන, ඇත්පැටියා මඩේ එරිලා මළා. ඕං ඔය සෝක ජනක පුවත හින්දා ඒක දැක්ක අපේ ඇත්තන් එදා හිටන් ඇත්පැටියා වැටුණු වැව කියලා ඒ වැවත් අහල ගම්තුලානටත් කියන්න ගත්තේ.ඒ වැව තියෙන සාවියට අදටත් කියන්නේ ඇත්පැටියාවැව කියලයි.
සැස්සෝරුව
මේ කතාවේ හැටියට එක අප්පා පුතාලා දෙන්නෙක් උන්නා. දෙන්නා ම දස්ස ගල් වඩුවෝ ඕං මේ දෙන්නා පිළිම නෙළනවා. හප්පා ආයේ බලා ඉන්න බෑ. ඒ තරම් සිරියාවයි. මේ අප්පා පුතාලා අතර දොහක් කථාවක් ඇති වුණා මෙහෙම. කතාවේ හැටියට පුතාට ගුරුහරුකම් දුන්නේ අප්පා. ගුරුන්නාන්සේ වුණේ අප්පා. පුතණ්ඩියා ඩිංගිත්තක් අහංකාරයට ගත්තා. මේ හින්දා මේ දෙන්නාට දුන්නා බුදු පිළිම දෙකක් නෙළන්ට, කව්ද දෙන්නාගෙන් දක්සයා තෝරමු කියලා.
අප්පාට දුන්නේ අවුකන පිළිමය නෙළන්ට. අවුකන ගලට පැමිණ අප්පා වැඩ පටන් ගත්තා. පුතාට දුන්නේ සැස්සේරුව කන්දයි, ඒ කාලේ ඒ කන්දට එහෙම නමක් තිබ්බේ නෑ. ඕං දැන් තරගය තිබ්බා කියමුකෝ. අවුකන පිළිමේ ඒ තරගයෙන් දින්නා කියලයි කියන්නේ. ඇයි දන්නවාද ඒ පිළිමය නියම පිළිම කලාවට අනුව වැඩ නිම වුණානේ. නමුත් පුතණ්ඩියාගේ පිළිමය වැඩ අවසන් වුණේ නැහැ. ඒ කන්දේ පිළිමය ගලින් සැස්සවිදිහටම තිබේ. මේ නිසා ඒ පළාතේ මිනිස්සු කියන්න ගත්තා ගලින් සැස්ස බුදුරුව තියෙන ගල හින්දා සැස්සේරුව කියලා.ඕං එහෙමයි සැස්සේරුව කියලා ඒ ගංතුලාන හඳුනන්නටත් පටන් ගත්තේ. අද වුණත් සැස්සේරුවට යන කාටත් ගලින් බුදුරුව සැස්ස අපූරුව දැකබලා ගන්න පුළුවන්.
Comments
Post a Comment