gossiplanka image 1
 


ආර්ය සිංහලයන් මුලින්ම මෙහි පැමිණි කාලයේ ඔවුන්ට ලේඛන කලාවන් තිබීමක් ගැන හෝ ලිඛිත සාහිත්‍යයක් තිබූ බවට හෝ දැනගත හැකි සාක්ෂි නොමැත. නමුත් එකල ඔවුන් ඉන්දියාවේදී කතා කළ භාෂාව මෙරටට ගෙන එන්නට ඇත. මෙරටට බුදුදහම පැමිණීමත් සමග දියුණු වූ ලේඛන කලාවක් සහ සාහිත්‍යයක් ද ලැබිණි. ක්‍රි. පූ. තුන්වන සියවසින් පසු බ්‍රාහ්මී අක්ෂරවලින් ලියවුණු ලෙන් ලිපි හා පරිවර්ත ලිපි දහසකට වැඩි ප්‍රමාණයක් ලංකාවේ නොයෙක් ප්‍රදේශවලින් ලැබීම තුළින් ඒ බව ගම්‍ය වේ. මුඛ පාඨ වශයෙන් පවත්වාගෙන ආ තුපිටකය හා ඒවායේ අටුවා වළගම්බා රජු දවස මාතලේ අලුවිහාරයේ දී ග්‍රන්ථාරූඪ කිරීමෙන් එහි දියුණුවට පත් වූ අවස්ථාවක් ලෙසින් සනිටුහන් කළ හැකිය. එම ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරිමේ විස්තරය මහාවංසයේ ද සඳහන් වේ. නව ක්‍රි. පූ. තුන්වැනි හා දෙවැනි සියවස්වලදී ලංකාවේ භාවිතා කරන ලද අක්ෂර අශෝක රජුන්ගේ සෙල්ලිපිවල අකුරුවලට බොහෝ දුරට සමාන බව පැවසේ. නමුත් ක්‍රි. පූ. පළමු වැනි සියවසේ සිට මෙරටටම විශේෂ වූ අනන්‍යතා ලක්ෂණ මේ අකුරුවල ඇති වන්නට පටන් ගනියි. බ්‍රාහ්මී අක්ෂර මාලාවේ මේ වෙනස් වීම් හත්වැනි සියවසේ අවසානය දක්වාම පැවතිණි. සිංහල අක්ෂර මාලාවේ ආරම්භය ඇති වූයේ අටවැනි සියවසේ ආරම්භයත් සමගය. මේ සිංහල අක්ෂර මාලාව ද ක්‍රම ක්‍රමයෙන්

වෙනස් වී ගොස් 15 වැනි සියවස අවසාන වීමටත් පෙර වර්තමාන ස්වරූපයට පත්විය. ලංකාවේ ආර්ය ජනාවාස ඇති වීමට පෙර එහි විසූ ස්වදේශිකයන් අතර පැවති භාෂාව පිළිබඳව සඳහන්ව ඇති තොරතුරු ඉතා අල්පය. අයයන් පැමිණීමට පෙර ලක්දිව විසූවා යැයි සලකන ස්වදේශීන් මුලදී කතා කර ඇත්තේ ඔවුනට ආවේණික වූ භාෂාවකින් බව පෙනේ. එහෙත් එය දැනට ලංකාවේ වැදි ජනතාව කතා කරන භාෂාව නොවේ. ඔවුන් වැඩි වශයෙන් වහරනු ලබන්නේ ග්‍රාමීය සිංහල වචන වේ. සිංහලයන් මෙහි පදිංචි වීමෙන් පසු වැද්දන් ඔවුන් හා සම්බන්ධකම් පැවැත්වීම නිසා මෙසේ වැදි බසට ගැමි සිංහල වචන විශාල ප්‍රමාණයක් එකතු වූ බව සිතිය හැකිය. වැදි බසට සිංහල වදන් එකතු වූවා සේම සිංහල ආදිතමයන් එකල ස්වදේශිකයන් ඇසුරු කිරිම නිසා ඔවුන්ගේ භාෂාවේ ඇතැම් වචන ද සිංහල භාෂාවට එකතු වී ඇත. අද පවා සිංහලයෙහි දක්නට ලැබෙන ඔලුව, කට, තොල, බඩ, කලවා, කකුල්, විලුඹ ආදී අපේ ශරීරය හා සම්බන්ධ වචනත් කුල්ල, පැදුර, ලිප, ළිඳ, ආදී ගෘහ ජීවිතය හා සම්බන්ධ වචනත් ඒ සඳහා නිදසුන් කිහිපයකි. මීට අමතරව පොල්, දෙළුම් ,ලබු ආදී ගස් වර්ග හා සම්බන්ධ වචනත් කාක, ගජ ආදී සතුන් සම්බන්ධ වෙනත් වචනත් අනාර්ය භාෂාවකින් සිංහලයට එක් වූ ඒවා ලෙස පිළිගන්නේ. එහෙත් මේවා ආයයන් ලංකාවට පැමිණීමෙන් පසු මෙහි විසූ ස්වදේශිකයන්ගේ භාෂාවෙන් උපුටා ගත් වචනද නැතහොත් ආර්යයන් මෙහි ඒමට පෙර ඉන්දියාවේ මුල් පදිංචිකාරයින්ගේ භාෂාවෙන් උපුටා ගත් වචනද යන්න සැකයක් පවතී. බුදුදහම ලංකාවට ගෙන ඒමට කලින් සිංහලයන් අතර පැවති භාෂාවේ ලක්ෂණ දැන ගැනීමට පැහැදිලි සාක්ෂි ලැබී නැත. ඉන්පසුව අනුරාධපුර යුගය සම්බන්ධයෙන් වුවද මේ පිළිබඳ තොරතුරු ලබා ගත හැකි සිංහල ලිපි ලේඛන හැටියට ලැබී ඇත්තේ සාහිත්‍ය මූලාශ්‍ර නොව සෙල්ලිපි පමණි. සිංහලය ඉන්දියානු ආර්ය භාෂාවකින් ප්‍රභවය වූ බව දැනට සාමාන්‍යයෙන් පිළිගෙන ඇති මතයයි. සිංහල භාෂාව ආරම්භ වීමෙන් පසු ඉන්දියාවේ නොයෙක් ප්‍රදේශවලින් මෙහි පැමිණි අලුත් ගෝත්‍ර නිසා ඉන්දියාවේ ඒ ඒ ප්‍රදේශවල එකල පැවති ඇතැම් භාෂා ලක්ෂණ හා වචන සිංහලයට එක්වන්නට ඇත. වරින් වර ලංකාවට එල්ල වූ දකුණු ඉන්දියානු ආක්‍රමණ ආදිය නිසාද සිංහලයට ද්‍රවිඩ වචන එකතු වී ඇති බව සිතිය හැකිය.ක්‍රි. පූ. 3 වැනි සියවසේ සිට ක්‍රි. ව. 15 වැනි සියවස දක්වා වූ කාල පරිච්ඡේදයේදී සිංහල භාෂාවේ ඇති වූ වෙනස්කම් අනුව ගයිගර් පඬිතුමා සිංහල භාෂාවේ පරිණාමය දළ වශයෙන් කොටස් තුනකට බෙදා දක්වා ඇත.


* සිංහල ප්‍රාකෘත යුගය

(ක්‍රි. පූ. තුන්වන සියවසේ සිට ක්‍රි.ව. හතරවන සියවස දක්වා)

*ප්‍රාග් සිංහල යුගය

(ක්‍රි. ව.හතරවන සියවසේ සිට ක්‍රි. ව. 8 වන සියවස දක්වා)

*සිංහල යුගය

මෙය බෙදා ඇත්තේ සෙල්ලිපිවල හා සාහිත්‍ය කෘතිවල දක්නට ඇති භාෂා ලක්ෂණ අනුවයි.