gossiplanka image 1
 


ගිලීමලේ


ඔය සිරිපාදෙට යන පාර අද්දර ඔය ගම පිහිටලා තියෙන්නේ. කාලයක් ඔය ගම ප්‍රසිද්ධ වෙලා තිබ්බේ බුලත් හන්දා. සිරිපාද යන කාටත් බුලත් දීම මේ ගමේ ඇත්තෝ තාමත් කරනවා. ගිලීමලේ ඇත දත සුද්දෝ කියලා කියලා කියන්නේ ඔය විට කෑමේ තරම හන්දනේ. සිරිපාදේ හොයා ගත්ත කතාව දන්නවා නොවැ. අපේ නිශ්ශංකමල්ල රජ්ජුරුවන්ගේ කාලේ නොවැ. ඔය සුරංගනාවියක් අල්ලා ගත්තාන් උයන්පල්ලා. දැන් උයන්පල්ලාගේ ඉල්ලීම පිට සුරංගනාවී මල් බිම දම දමා ගියා නේ සිරිපා කඳුමුදුනට. රජ්ජුරුවන්ගේ නිලමේවරුන් ඒ මල් පාර දිගේ හරියට ගමන් මග සොයමින් ආවා. මල් වැටිලා තියෙන ඉසව්ව හඳුනා ගන්නවා. ඒ පාර දිගේ අලුතින් ම කැලෑ කොටමින් මං පෙත් තනා ගනිමින් ගියේ. එක ඉසව්වක දී මල් පොළොවටම ගිලිලා තිබ්බා. අර මල් පාර දිගේ ආව රාජකීය හේවායන් - මේ මල් ගිලීලා කියලා කිව්වා. - මල් ගිලුණු හින්දා ඊට පස්සේ ඒ පැත්ත ගිලීමලේ බවට පත්වුණා කියලයි බැවැහැර වෙලා තියෙන්නේ.



හපුවිට


රාසිං රජ්ජුරුවෝ මහා හටන්කාරයෙක් නොවැ.සීතාවක රාසිං රජ්ජුරුවෝ කිව්වහම ඇතැම් වෙලාවට සතුරෝ ලුහුටලා යනවා. කෙළින්ම යුද්දෙට එන්නේ නෑ. හැබැයි පරංගි සටන් දිගින් දිගටම ඇවිළුණා. රාසිං රජ්ජුරුවොත් ඇරියේ නෑ. පරංගින්ට එලෝලා බැට දුන්නා. ඒ වුණාට පරංගියා මහා කට්ට ජාතිය. වටෙන් වට දාලා රාසිං රජු අල්ලා ගන්ට වලිකනවා. ඔහොම යද්දි එක දොහක් කළ සටනකින් පරාජයට පත් වුණා. දැන් රාසිං රජු පලා යනවා. හැබැයි උහුලා ගන්ට බැරි තරම් සුදාගින්න යි. ගියා එක පැල් කොටේකට - ඒකෙ හිටියේ අරෝබලත් අම්මෙක්. අම්මා බඩගිනියි කිව්වා. හප්පේ මේ යුද්ධ හේවායෙක් නොවැ. ඒ අම්මා රාසිං රජු අඳුනන්නේ නෑ.

කිරිබත් උයලා දුන්නා විගහිං. - කිරිබත් රස්නේයි . රාසිං රජු අතනින් මෙතනින් කන්ට ගත්තා. ඈ පුතේ උඹත් අපේ රාසිං රජු වගේ හැම තැනම යුද්ධ කරනවා වගේ නොව කන්නේ. ඔහොම නෙමේ. ඔය බත් ගුළි පිළිවෙළකට අනලා නිවෙන්ඩ තියලා කාපන් කිව්වා. ඒක යුද්දෙට උපදෙස් දීමක් වුණා. රජු ඊට පස්සේ ඒ සටන්වලින් දින්නා. අර අම්මාගේ නම හපු - හපු ගෙනැල්ලා තාන්න මාන්න දුන්නා. මේගම්වරයන් හපූට කිව්වා. මේලෙස හපූට කියපු නිසා ඒ ගම පසු කලෙක හපුවිට වුණා කියල තමා බැහැවර වුණේ.



සෙල්ලකතරගම


දන්නවැයි අපේ දුටුගැමුණු කුමාරයා රුහුණු රටට වෙලා සටන් ඉගෙන ගන්න කාලේ ඈ. එක කැලෑවක ද මහා රශ්මී කදම්බයක් විහිදෙන ඇත්තෙක් මුලිච්චි වුණා. උන්දගෙන් විමසා සිටියා කව්ද? තමුන් කියලා. හැබැයි දෙන්නා අතර සංවාදයක් ඇති වුණා. ගැමුණු කුමාරයා කිව්වා මං හටන් ඉගෙන ගත්තේ ලංකාව එක්සත් කිරීමට කියලා. හා එහෙම ද, එහෙම් මේ මේ කටයුත්ත කරමු කියලා අර රශ්මි විහිදෙන ඇන්තා උපදේශයක් දුන්නා. මේ මගේ හෙල්ල මං විසික් කරනවා. ඒක ගිහින් වැටෙන තැන දේවාලයක් තනා දියන්. එතකොට උඹට සටන්වලින් ජය ලැබෙයි කියලා. අමුත්තා හෙල්ල විසික් කරලා දැම්මා. ඒ සැණින් අමුත්තා අන්තර්ධන වුණා. ඕං පොච්චියේ හොයලා බලලා අර හෙල්ල බිම වැටිලා තියෙන තැන දැකලා එතැන දේවාලයක් කළා. හැබැයි අර අමුත්තා කව්ද කියලා පස්සෙන් ඔහු දැන ගත්තා. ඒ කතරගම දෙවියෝ. ඈර හැටියට හෙල්ල උසික්කා කරපු නිසා එතැන හැදූ දේවාලය හෙල්ල කතරගම දේවාලය කියලා කවුරුත් හැඳින් වූවා. හෙල්ල කතරගම - ඩිං ඩිංග ඩිංග ජනවහරට මිස්සර වුණේ හෙල්ල වෙනුවට සෙල්ල වෙලා සෙල්ලකතරම කියල යි.



අගලවන්ත


ඔය වතුවගාව අපේ රටේ පටන් ගත්තා නොවැ. ඔං ඉස්සර වෙලා ම කෝපි. ඒකට කෙළ වුණාට පසුව තේ, පොල්, රබර්  නොවැ. තව කුරුඳු - කොකෝවා එහෙමත් වවන්ට ගත්තා. මේ ගමට නම හැදුණේ නම් රබර් හිටුවන්ට ගිහින්. ඔය කළුතර පළාත තියෙනවානේ. ඒ කාලේ රබර් වගාවට හරි ම හොඳා කියලා සුද්දෝ තේරුම් ගත්තා. හැබැයි පරහක් තියෙනවා. බෑවුම් පළාතක් නිසා අගල්, වැටි එහෙම දාලා තමයි ඔය රබර් ගස් සිටුවන්ට වෙන්නේ. එහෙම කළොත් වගාව සාර හින්දා මොන දහන් ගැටයක් හරි දාලා ජයට ම රබර් වගාව කරගෙන යනවා. ඔහොම වගා කරන එහෙම එක නම් දරාපු සුද්දෙක් ආවා රබර් වගාවට. මේ සුද්දා කම්කරු පිරිස් ජයට ගෙනැවිත් වගාව පටන් ගත්තා. සුද්දා දන්නවැයි අපේ රටට වහින වැහි. පොළොව පාදලා රබර් ගස් ඉන්දවා වැඩේ කළා. වැස්ස වැහිල්ලක් ඒ වැස්සට වත්කම හෝදගෙන ගියා පහළට. මේකට සුද්දා හොඳ උපරවැට්ටියක් දැම්මා. ඒක තමයි අගල් කැපිල්ල. සුද්දා ලේසි පාසු අගල් නෙමේ කැපුවේ. ඒ තරම් විසාලෙට, ඒ වත්තේ අගල් කපපු හින්දා - ඕං කව්රුත් කියන්ට ගත්තා ඒකට අගල්වත්ත කියලා.ඕං ඊට පස්සේ අගල් සහිත වත්ත තිබූ පළාත අගලවත්ත වුණා නොවැ.