හාරිස්පත්තුව
ඔය නුවර පළාතේ තියෙනවා නේද හාරිස්පත්තුව කියලා ඉසව්වක්. ඒක මේ මහනුවර රජ සමයේ දී පට බැඳුණු නමක් කියලයි කියන්නේ. ඒ කාලේ ඔය කන්ද උඩරට සහමුලින් ම වන බැද්ද - ඇතින් ඈත ගම් දනව් තිබේ. ඔය අල්ල පනල්ලේ කෙළෙරක් නැති සටන් ඇවිළුණා නේ. එක නම් දරාපු යුද භටයෙක්. ඒ කිව්වේ සෙනෙවියෙක් උන්නා. හැබෑ ම දස්සයා ඒකට මොකද මං එක සටනකින් මේ සෙනෙවිරල හොඳටම ඔත්පළ වුණා. අත් පා බිඳුණා. අති දක්ෂයෙක් හින්දා වරෙන් වත්තම් කර සටන් බිමෙන් මග ඇරියා. සතුරාට අහුනොවී. හැබැයි සෙනෙවියා හොඳටම ඔත්පළයි. ගියා වෙදාණන් කෙනෙක් ගාවට. වෙදාණන් ඉන්නේ දැන් අපි කවුරුත් කියන හාරිස්පත්තුවේ. ඒ කාලේ එහෙම නමක් නම් ඒ ගමට තිබුණෙ නෑ. දැන් වෙදාණන් බේත් බඳිනවා. ආයේ ස්වල්ප බේත් බැඳිල්ලක් නෙමේ. බේත් වඩියෙන් වඩිය බේත් බඳිනවා. සීයක් පත්තු බැන්දා. ඩිංගිත්තක් සුව යි. දෙසීයක් - තුන්සීයක් බැන්දා. ඕං - යාන්තම් පත්තු හාරසීයක් බැන්දාට පස්සෙන් පහු ලෙඩේ ගොඩ යි. පත්තු හාරසීයක් බැඳලා සුව වුණ නිසා මේ හාරසිය පත්තුවයි කියලා කිව්වා. හාරසිය පත්තුව ජනවහරේ බැහැර වෙද්දීන් හාරිස්පත්තුව වුණා. විතරක් නෙවෙයි ඒ ගම්පළාතටත් ඔය නම කියන්න ගත්තා.
ගලපිටමඩ
ඕං බලමුකෝ මේ ඉස්සර කාලේ වෙච්ච දෙයක් නෑ. කතාවේ හැටියට එක්තරා රජ කෙනෙක් සටනට සූදානම් වුණා. සටන් බිම කරා තමුන්ගේ සේනාව ඇන්න යන්ට ගත්තා. මං ඔහොම යද්දි සතුරු පිරිසට තේරුම් ගියා ආයේ මේ සිද්ධ වෙන්ට යන්නේ ලේසි ගැටුමක් නෙමේ කියලා. හී හිමිහිට පලා යන්ට ගත්තා ඒ උදවිය. කෝ මේ සතුරන් කියා බලමින් දැන් රජතුමා ඇතුළු පිරිස යනවා දිගින් දිගෝටම පෙරමුණට.මොන - කොයි හතුරෙක් ද ඈ. ඔහොම යද්දි ඕං දවල් ඉර මුදුන් යාමයත් පහුවෙන්ට ගත්තා. පේන මානෙක හතුරෙක් තියා හතුරන්ගේ පුලුටක්වත් නෑ. ඒ හින්දා ම ඕං රජතුමාට හිතුණා ඩිංගක් ගිමන් ඇරලා යන්ට. ඒ අසල වෙල්යායට ගල් පොත්තක් තිබ්බා. ඒ ගල මත්තේ ඈඳි ගන්ට හිතාගෙන රජතුමා සැපත් වුණා. එවිට ආරක්සක හේවායන් ගලට නැගලා බැලුවා. මොන - ගල පුරාම මඩ පිරිලා හා එහෙමද එහෙනම් ගල පිට මඩ ඈ රජතුමා කියා හිටියා. ඕං එදා හිටන් ඒ පළාතට ගලපිටමඩ කියලා කියන්ට හුරු වුණා.
ගිඩිඩාව
ඕං ජය සිරිමා හාන්දුරුවෝ අනුරාජපුරේ වැඩ වාසය කරන්ට ආවනේ. එතැන් හිටන් දන්නා නොදන්නා පිරිස ආවා අනුරාජපුරෙන් බෝධි ශාඛා අරගෙන යන්ට තම තමුන්ගේ ගම් පළාත්වලට. ඔහොම එද්දා එක තවුස්දම් පුරණ මහා බලසම්පන්න තවුසෙක් උන්නා මයියන්ගණේ. මේ තවුසත් ආවා අනුරාජපුරෙන් බෝ පැළයක් අරගෙන මයියට ගිහින් පැළකරවා ගන්ට හිතාගෙන. ආ කාරණේ හරි ගියා - හැබෑ ම ජයසිරිමා බෝධි ශාඛාවක් ලැබුණා. දැන් තවුසාට ඉහිලුම් නෑ සංතෝසේ. බෝධි ශාඛාවක් අරගෙන තවුස් තෙමේ ගියා මයියන්ගණේ බලා. යනවා යනවා ගමන දුර යි නොවැ. ඒ හන්දා තවුස් තෙමේ අතරමග එක්තරා ගම්මානයක රාත්‍රී නවාතැන් ගත්තා. බෝධි ශාඛාව තිබ්බා අසුනක් පිට. රෑ පහන් කළා සුවසේ. පහුවදා යළිත් මයියන්ගනේ යන්ට හිතාගෙන ගමනට සූදානම් වුණා. දෝතට ගන්ට බැලුවා බෝධි ශාඛාව මොන ගැනිල්ලක් - බෝධි ශාඛාව මුල් ඇදලා මහ පොළොවට. දැන් ඉතිං ගන්නවා බොරු - එ නිසා මේ බෝධිය මෙතන මුල් අදින්ට හිතාගෙන ආ එකක් කියලා එය එතැනම පැළ කරලා හිස් අතින් ගියා ගමට. ඒත් ඒ බෝධිය පැළ වුණු තැනට ගමේ මිනිස්සු තවුසාගේ නම තිබ්බා බෝධිය පිහිටි ගම් පළාතට. අර තවුසාගේ නම තමයි ගිඩ්ඩා. ඒක බැහැර වුණේ ගිඩ්ඩාව කියලයි.
ගිනිගත්හේන
කොටින් ම ඔය කන්ද උඩරට සුද්දන්ට යටවෙන්ට කලියෙන් මේ සිද්ධිය වුණේ. ඒ පළාතේ කවුරුත් හේන් භෝග හිටුවාගෙන ජීවත් වුණේ. ඔන්න හිටි ගමන් ම ඒ පළාතට ආවා හරි ම සුරූපි ගැටිස්සියක්. නිකම්ම ම නෙමේ තව ගැටයෙකුත් එක්කලා හාදවෙලා ආවේ. මේ ගැටිස්සි හරි ම හැඩකාරියක්. හප්පා එහෙම රූප සිරියාවක්. ඒ හන්ද ම ඒ ගැටිස්සී මේ හේන්කරයේ කා අතරත් කතාවට ලක්වුණා. වැඩේ කියන්නේ මේ ජෝඩුව ගෙවල්වලින් පැනලා ඇවිත් හේන් කොටා ගෙන කාලා දුකින් ජීවත් වුණා කියන එක කාටත් වැටහුණා. ඒ හින්දා ම මේ රූමත් ගැටිස්සියගේ හේනට ඒ අවට කවුරුත් ඇවිත් උදව් පදව් කළා. කාරණේ කියන්නේ ඕං භෝග සාරෙට හැදීගෙන ආවා. කවුරුත් කියන්ට වුණා මේ රූමත් ඇත්තිගේ වාසනාව කියලා..හැබැයි ලෝක ධර්මේ ඊට වෙනස්. හිටි ගමන් සුටුස් ගාලා හේන්කරේ ගිනි ගත්තා. පැළ දෑවා. පැල් කොටේ දැවේ මුළු හේන ම ගිනි ගත්තා. ඕං ඊට පහු ඒ හේන තිබ්බ ඉසව්වට කවුරුත් එක්කලා කියන්න ගත්තා ගිනි ගත්ත හේන කියලා. ඒක බැහැර වුණේ ගිනිගත්හේන කියලා නොවැ.
වාරියපොළ
මේක නම් මේ අපේ රාවණා රජුගේ සටනක් නිසා වෙච්චි දෙයක්. රාවණා යුද්දේ ගැන කව්රුත් දන්නවා නොවැ. රාමකුමාරයාගේ පිරිස සටනට අවතීර්ණ වුණා කියමුකෝ. සිද්ධිය වුණේ දැන් ඔය කුරුණෑගල ඉඳලා හැතැප්ම දොළහක් එපිටහින්. හෙළයන් එක්කලා රාමගේ ජනයා සටනට වැටුණා. දෙපාර්ශ්වය සටන් කරනවා. යුව රජාට- යුව රජ - ඇමතියාට - ඇමතියා හේවායාම - හේවායා ඒ හැටියට තානාන්තර දරන්නා එම පිරිස යෝග්‍ය හැටියට සටන් පටන් ගත්තා. රාමගේ සේනාව හිතුවේ සටන ලෙසියි කියලා. ඇයි දන්නවාද රාවණගේ පිරිස විතරයි රාවණා නෑ යුද්ධ භූමියේ. ඒ කතාව පැතිරිලා යද්දි වා තලය පලාගෙන ආවා ආකාසයෙන් රියක්. ඒ වාතයෙන් පැමිණි රිය බැස්සුවා එක පොළකට. ආවේ රාවණ රජතුමා. රාවණ රජතුමා වාතයෙන් රිය පදවාගෙන ඇවිත් බිමට බැස්ස පොළොවට පස්සෙ කාලේ මිනිස්සු කිවේ වා - රිය - පොළ කියලා.ඕං දැන් ඒ පළාත හඳුන්වන්නේ වාරියපොළ හැටියටයි.
Comments
Post a Comment