gossiplanka image 1
 


ලොව ජයගත් මිනිසුන් කොතෙකුත් සිටියද ජීවිතය ජය ගත්තවුන් අල්පය. සැබෑ මිනිසුන්ගේ අධ්‍යාත්මය තුළ සිටින සත්‍යවාදියාට ඕනෑම කර්කශබවකදී වුවද ජීවිතය විනිවිද දකින්නට හැකියාව ඇත. ඔබේ ජීවිතය ජයගන්නට නම් ප්‍රථමයෙන්ම නිවස දෙව්ලොවක් කරගත යුතුය. විවාහ ජීවිතය තුළ අවශ්‍යයෙන්ම එය සිදුවිය යුතුමය. ඔබේ විවාහයට ඔබට අවංක විය හැකි නම් නිවස ඔබට අපායක් නොවනු ඇත. නමුත් මෙය විඳින්නේ කීයෙන් කී දෙනාද? මුවින් නොකියන බොහෝ දේ දරා ගනිමින්, යටපත් කරගනිමින් ජීවත්වන මිනිසුන් කොතරම් සිටීදැයි ගණනය කිරීමට නොහැකි වී ඇත්තේ ඒ බව දන්නේ ඔවුනොවුන් පමණක් වන නිසාය.



කුසල් අකුසල් හා ග්‍රහචාරය


ඔබේ කේන්ද්‍ර සටහන අතට ගෙන පරික්ෂා කරන්න. ඔබේ ලග්නයේ පාපීන් කොතරම් සිටී ද? සෙනසුරු ඔබේ ලග්න ස්ථානයේ හෝ ලන්නයට අනුව දුෂ්ට ස්ථානයක සිටිය හැකිය. එසේ නොමැතිනම් කුජ හතේ හෝ අටේ සිටිමින් ඔබේ විවාහය අවුල් කරන්නට පුළුවන. මෙවැනි පාපී ග්‍රහචාරයන් පිහිටා ඇත්තේ ඔබ පෙර ආත්මවල කළ කුසල් අකුසල් අනුව බව දැනගන්න. තමන්ගේ ආගමට අනුව කුසල්හි පිහිටුවීමට මේ ආත්මයේදී හෝ වගබලා ගත යුතු වන්නේ ඒ නිසාය. ඔබට ගැළපෙන හෝ නොගැළපෙන සහකරුවෙකු හෝ සහකාරියක විවාහයට ලැබෙන්නේ ඔබේ කර්ම ශක්තිය අනුවය.


බිරිඳ හෝ සැමියා හොඳින් හඳුනා ගත්තා ද?


සාර්ථක විවාහයකට මග වන්නේ දෙදෙනා හඳුනා ගැනීමයි. නමුත් එය ඉතා අපහසු වූත් කාලයක් ගතවන ක්‍රියාදාමයකි. සමාජ තත්වය, ලිංගිකත්වය සහ ආර්ථික තත්ත්වය යන පැවතුම් ත්‍රිත්වය මත ඕනෑම විවාහයක් පවත්වා ගැනීම හෝ දෙදරවීම ඉතා පහසුවෙන් සිදුවිය හැකිය. විවාහයට පෙර ග්‍රහ පිහිටීම අනුව දෙදෙනා සසඳන්නේ ඒ නිසාය. දෙදෙනා අවංකව තැන්පත් සිතින් හඳුනාගත යුතුය. පවුලේ සමබරතාවය රැක ගැනීමට එය ඉවහල් වනු ඇත.


තීරණ ගැනීම


ගින්න ගින්නෙන්ම හෝ දියෙන් අවසන් විය යුතුය. විවාහය පිළිබඳව ජ්‍යොතිෂය තුළින් හඳුනාගන්නේද එයයි. බොහෝවිට අප තනිවම තීරණ ගැනීමට විවාහ සංස්ථාවේදී ගෝචර නොවනු ඇත. සාකච්ඡාවකින් නිවැරදි තීරණ නොගතහොත් එය දෙදෙනාගෙන් කිසිවකු හෝ යටි සිතින් වෙන් කිරීමකට පෙළඹිය හැකිය.


 ''තමුසේ ඕනෑ කුදයක් ගහගන්නවා".


"මම නම් පැත්තවත් බලන්නේ නෑ. "


''ඕනෑ කෙනෙකුට කියලා කරගන්නවා.''



වැනි වාග් ප්‍රහාරවලින් හෝ අවම වශයෙන් සිතුවිලිවලින් හෝ මොරදෙනු නියතය. දෙදෙනාම තීරණ ගැනීමේදී සාධාරණ විය යුතුය. එවිට වැරදුණු තැනකදී හෝ දෙදෙනාටම දරාගත හැකිවනු ඇත. එවිට ඔබට නිවස අපායක් නොවනු ඇත.


රහස්


ඕනෑම අයෙකුට හෙළි නොකරන එක් රහසක් හෝ තිබේ. එය ජීවිත කාලයටම වෙනත් කිසිවෙකුට හෝ නොකියන දෙයක් විය හැකිය. නමුත් විවාහය තුළ ආසාධාරණ රහස් නොතිබිය යුතුය. බොහෝ බිරින්දෑවරුන් රහස් දැනගත්විට එක්වරම හෙළි කරන්නේ නැත. එය හරහා මුළු ජීවිතයම සොයන්නට උත්සාහ කරයි. ජීවිතය අවුල් වන්නට එය ප්‍රබලතම හේතුවක් වනු නොඅනුමානය.දික්කසාදය, වෙන්වීම හෝ මරණය දක්වා දිවෙන විවාහ දෙදරවීම් සමාජයේ මහා පරිහානියක් ඇති කරවන අතර ඊළඟ පරපුරට එය මහා ව්‍යසනයකි. ඔබ එයට වගකිව යුතුය.


සවන් දෙන්න


ඔබ බිරිඳට හෝ සැමියාට සවන් දෙනවාද?  එසේ නොමැතිනම් නෑසුණාක් සේ සිටිනවාද? එසේත් නොමැති නම් ප්‍රතික්ෂේප කරනවාද? ඔබේ යටිසිත ක්‍රියාත්මක වන්නේ ඔබට අවශ්‍ය දේ සඳහා පමණක්ද? ඔබට වරදින්නේ එතැනය. ඔහු හෝ ඇය ඔබට වදයක් හිරිහැරයක් වුවද ඔහුට හෝ ඇයට සවන් දෙන්නට අමතක කරන්න එපා. එවිට ඔබව පිළිගනිවී. විශ්වාසනීයත්වය ගොඩ නැගේවී. එය මුළු ජීවිතය පුරාම රැඳෙනු ඇත.

ඔබට බිරිඳගේ හෝ සැමියාගේ නියම මානසිකත්වය හඳුනා ගැනීමට අවශ්‍ය නම් නිවැරදි ජ්‍යොතිෂය හරහා ගමන් කරන්න. එවිට ඕනෑම ගැටලුවකට ප්‍රතිකර්මය ලැබෙනු ඇත. ඔබේ බුද්ධිමත් හෝ නොවූ යටිසිතට එය මහඟු ඖෂධයක් වනු ඇත. කුරිරු බව හඳුනා ගන්න

ඔබට අවශ්‍ය විවාහය සහ ජීවිතය ජය ගැනීමට නම් අවට සමාජය හඳුනා ගන්න. එවිට එහි කුරිරු බව ඔබට හොඳින් පෙන්වි. ඔබ මතුපිටින් දකින සුන්දරත්වය අභ්‍යන්තර සමාජ ස්ථරය තුළ නැත. එක්කොට වෛර කරන, ඊර්ෂ්‍යා කරන, පහතට ඇද දමන බොහෝ මිනිසුන් ඔබ තනිමග එනතෙක් බලා සිටින්නේ අවම වශයෙන් බිරිඳ හෝ සැමියා ගැන සෙනෙහසින් එක් කේලමක් හෝ කියන්නටය. එය කලින්ම හඳුනා ගන්න. එසේ නොවන්නේ නම් සමීප බුද්ධිමතෙකුට හෝ පවසා උපදෙස් ලබාගන්න. එසේ නොවුණහොත් ඔබට මුළු නිවසම අපායක් වනු ඇත.



එක් වහලක් යටට


අද සමාජයෙන් වේගයෙන් බැහැර වන 'නැන්දා-ලේලි' හබය මේ වනවිට බොහෝ සේ අවම වී ඇත. වර්තමානයේ බොහෝ නව අඹු සැමියන් මුල් පවුලෙන් වෙන්ව ජීවත්වීම මෙයට හේතුවයි. සියලු සබඳතා එළෙසම තබා ගනිමින් දෙදෙනා පමණක් වැඩිහිටියන්ගෙන් වෙන්ව විසීමට හැකි නම් නිර්මාණාත්මක ස්වධීන පවුලක් ඔබ දෙදෙනාට ගොඩ නගාගත හැකිවනු ඇත. එපමණක් නොව බොහෝ කාලයක් ඥාතීත්වය රැක ගැනීමටද හැකිවේ. පරපුරෙන් පරපුරට යල්පනින මතවාදයන් නිර්මාණය වීම සාධාරණ නිසා ඔබේ ස්වාධීනත්වයට එය බාධාවක් කර නොගත යුතුයි. එක් වහලක් යට එක් පහනකින් යුග දිවිය ආරම්භ කරන්න. තනිව ගොඩ නැගෙන්නට ඔබ දෙදෙනාගේ ජීවිතවලට ඉඩ සලස්ව ගන්න.



වචන භාවිතය



යුග දිවියේ ගැටලුකාරී අවස්ථාවන් ආපසු ගත නොහැකි වචනවලට පෙරළීම ඔබ නොදැනීම ඔබේ දඬුවම නියම කර ගැනීමකි. ඔබට විඳින්නට නොව විඳවන්නට සිදුවන්නේ එතැන් සිටය. දෙදෙනාට එපාවීමේ ආරම්භය එයයි. ඔබේ එක් කුරිරු වචනයකට මහා අර්ථයක් ලැබෙන්නේ පිළිකුල් සහගත බවත්, කලකිරිමත්, පළිගැනීමත් සමගමය. එය ඔබට දැනෙන්නේ එහි ප්‍රතිඵල ලැබෙන විටය. කොමලයෙන් ආරම්භ වන සිහින් හඩේ සිට කල්ගත වී  එල්ලවන 'තිරිසනා' දක්වා වාග් මාලාව ඔබේ ආත්මයට මහා කැළලක් එක්වනු ඇත. ඔහු හෝ ඇය ඔබේ සහකරු හෝ සහකාරිය වුවද ඔහුට හෝ ඇයට ආත්ම ගෞරවයක් ඇත. එයට ඔබෙන් අනිසි අර්ථකථයක් එල්ලවේ නම් ඔබ ජීවිතයේ පරාජය තෙක් ගමන් කරනු නොඅනුමානය.


අණදීම


ඔබේ සිතුවිලිවලට අයිතිය ඇත්තේ ඔබට පමණකි. එය ඔබ නොදනිතත් වෙනත් කිසිවෙකුට හෝ අණදීම තුළින් ඔබේ සිතැඟි ඉටුකරවා ගත නොහැකිය. විවාහයේ වෙන්වීමේ ආරම්භයද එතැනය. බිරිඳට හෝ සැමියාට අණ දෙන්න එපා. වචන භාවිතය මෙන්ම ඉරියව් අනුවද, අණදීම, ඉල්ලීමක් කිරීම, පැවසීම, ආයාචනය, වෙන් වෙන්ව හොඳින් ඉස්මතු වී පෙනෙනු ඇත. එය හඳුනාගෙන ජීවත්වන්න. එවිට ඔබට නිවස අපායක් නොවනු ඇත.


සමාජගත වීම


එක් වහලක් යට යුග දිවිය ගෙවූවද සමාජ තලය තුළ ඔබ දෙදෙනා ඉතා වටිනා පුද්ගලයන් විය හැකිය. චර්යා ලක්‍ෂණ, ගතිගුණ, පැවැත්ම, පරිසර සම්භවිතය, ඥාති මිතුරු සබඳතාවයන් හරහා ඔබ දෙදෙනා යහපත් පුරවැසියන් ලෙස සමාජ ගතවීම තුළින් යහපත් පරපුරක් ගොඩ නැගීමේ ශක්තිය ඔබ දෙදෙනාට ලැබීම නියතය.