gossiplanka image 1
 


ලංකාව ඉන්දියා උප මහාද්වීපයට සමීපව පිහිටා තිබීමත්, පෙරදිග හා අපරදිග අතර වැටී ඇති ප්‍රධාන මුහුදු මාර්ගයේ සන්ධිස්ථානයක පිහිටා තිබීමත් ලංකාවාසී වූ සිංහලයාගේ විදේශීය සංස්කෘතික සම්බන්ධතා කෙරෙහි බෙහෙවින් බලපාන්නට ඇත. ඒ අනුව සිංහලයා අසල පිහිටි ඉන්දියාව හා බුරුමය වැනි රටවල් සමඟ පමණක් නොව රෝමය, අරාබිය හා චීනය වැනි දුර බැහැර රටවල් සමගද සබදතා ගෙන ගියහ. අතීතයේ ප්‍රසිද්ධව පැවති මාතොට, ජම්බුකෝල පට්ටන, ඌරා කොට, දේවනගර, කොළොම්තොට, ගාල්ල වැනි වරායයන් සිංහලයන්ට මෙම සම්බන්ධකම් පැවැත්වීමෙහිලා ඉවහල් වන්නට ඇත.  ලංකාව ඉන්දියාවට ඉතා ආසන්නව පිහිටා තිබීම නිසා ඉතා සමීප සංස්කෘතික සම්බන්ධකම් සිංහලයන් පවත්වාගෙන ගොස් ඇත්තේ ඉන්දියාව සමඟය. ලංකාව හා ඉන්දියාව අතර පැවති මුල්ම ඓතිහාසික සම්බන්ධකම හැටියට පෙනෙන්නේ ඉන්දු ආර්යයන් විසින් ලංකාවේ ජනාවාස පිහිටුවා ගැනීමයි. ඉන්දියානු සංස්කෘතිය මුලින්ම සිංහලයන්ට ලැබුණේ එබැවිනි. ඉන්දියාවේ  මෞර්ය අධිරාජ්‍ය පැවති කාලයේ ලංකාවට බුද්ධාගම හඳුන්වා දීම නිසා අපේ සංස්කෘතික ඉතිහාසයේ නව යුගයක් උදාවිය.


දේවානම්පියතිස්ස රජුගේ කාලයේදී ඇති වූ මේ සමීප සංස්කෘතික සම්බන්ධය පසු කාලයේදීත් දිගින් දිගටම පවත්වාගෙන ගොස් ඇත. දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑය ඉදිකොට ආරම්භ කළ අවස්ථාවේ පැවති උත්සවයට සහභාගි වීම සඳහා ඉන්දියාවේ නොයෙක් ප්‍රදේශවලින් භික්ෂූන් වහන්සේලා දහස් ගණනින් ලංකාවට වැඩි බව මහාවංසයෙහි සඳහන් වී ඇත. කේරළ රාජ්‍යයේ රජ කළ චෙන්ගුට්ටවන් රජුගේ ආරාධනයක් පරිදි එහි පත්තිනි දෙවොලක පැවති උස්සවයකට සහභාගි වීම සඳහා ලංකාවේ පළමු වන ගජබාහු රජු එහි ගිය බව සීලප්පදිකාරම් නම් ද්‍රවිඩ ග්‍රන්ථයේ දැක්වෙයි. ආන්ඩු සාතවාහන යුගයේදීත් ලංකාව හා ඉන්දියාව අතර ඉතා කිට්ටු සංස්කෘතික සම්බන්ධකමක් පැවති බවට සාධක ලැබී ඇත. ලංකාවට වරින් වර මහායාන ධර්ම ගෙන ආ බව පෙනෙන්නේ ආන්ධ්‍ර ප්‍රදේශයෙනි. ආන්ධ්‍ර සාතවාහන යුගයෙන් පසු නැවතත් ලංකාව හා ඉන්දියාව අතර ඉතා කිට්ටු සංස්කෘතික සම්බන්ධකම් පැවතියේ ඉන්දියාවේ ගුප්ත රජවරුන්ගේ කාලයේදීය. සිංහලයන් තමාට ගරු බුහුමන් දැක්වූ බව සමුද්‍රගුප්ත රජුගේ අලහබාද් ටැම් ලිපියේ සඳහන් වී ඇත. ලංකාවේ සිරිමෙවන් රජුන්ගේ ඉල්ලීම පිට සමුද්‍රගුප්ත රජු ලංකාවේ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා බුද්ධග යාවේ සිංහල විහාරය නම් ආරාමය ඉදිකිරීමට අවසර දුන් බව චීන වාර්තාවක දැක්වේ. චීන ජාතික යුවාං චුවාං භික්ෂුව හත්වැනි සියවසේදී බුද්ධගාවට පැමිණි අවස්ථාවේදී මේ සිංහල විහාරයේ සිංහල භික්ෂූන් වහන්සේලා දහසක් පමණ වැඩ සිටි බව කියනු ලැබේ. ක්‍රි. ව. 5 වන සියවසේ දී බුද්ධගයාවේ පදිංචි වී සිටි මහානාම නම් සිංහල භික්ෂුන් වහන්සේ නමකගේ සංකෘත සෙල්ලිපියක් එහි තිබී හමු වී ඇති නිසා ගුප්ත යුගය අවසන් වනතුරුම වාගේ මගධ ප්‍රදේශය සමග සිංහලයන් සංස්කෘතික සම්බන්ධකම් පවත්වාගෙන ගොස් ඇති බව හෙළි වී ඇත. එමෙන්ම සිංහලයන් පල්ලව රාජ්‍යය සමගින් ද සංස්කෘතික සම්බන්ධකම් පැවති බව සඳහන් වේ. රුවන්වැලි සෑ උත්සවයට දුටුගැමුණු රජුගේ කාලයේ පල්ලව භොග්ගයෙන්ද භික්ෂූන් වහන්සේලා පැමිණි බව මහාවංසයේ සඳහන් බව පැවසේ. එබැවින් පල්ලව ප්‍රදේශය සමඟ මීට පෙර සංස්කෘතික සබඳතා පැවැත් වූ බව පෙනේ.


මහානාම රජු දවස ලංකාවට පැමිණි බුද්ධඝෝෂ නම් වූ අටුවාචාරින් වහන්සේද කාංචිපුරයේ කලක් ජීවත් වූවෙකි. ලංකාවේ මානවම්ම රජු තමාගේ තරුණ කාලය ගත කළේ පල්ලව රාජ්‍යයේ වූ අතර, පසුව ඔහු සිංහල සිංහාසනය ලබා ගත්තේද පල්ලව රජුගේ ආධාර ඇතිවය. දෙරට අතර පැවති මේ සම්බන්ධය නිසා මේ යුගයේ සිංහල ගෘහනිර්මාණ හා කලා ශිල්පවලද අක්ෂර මාලාවෙහිද පල්ලව ආභාෂය දැකිය හැකිය. නාලන්දා ගෙඩිගේත් ඉසුරුමුණියේ ඇති මිනිස් රුව හා අශ්ව හිස සහිත මූර්තියේත් එහිම පොකුණක ඇති ඇත් රූපවලත්, තිරියායේ වටදාගෙයි මුරගලක ඇති දොරටුපාල රූපයේත් පල්ලව බලපෑම් දක්නට ඇති බව පුරාවිද්‍යාඥයින් පෙන්වා දී ඇත. පල්ලව ග්‍රන්ථාක්ෂරවල බලපෑම නිසා එකල භාවිතයේ නොපැවති අලුත් අකුරු කිහිපයක් සිංහල අක්ෂර මාලාවටද එක්වී ඇත. එසේම පල්ලව ආභාෂය නිසා ඇතැම් සිංහල අකුරු කාලානුරූපීව වෙනස් වී ඇත. පල්ලව ග්‍රන්ථාක්ෂරවලින් ලියන ලද සෙල්ලිපි කිහිපයක් තිරියායෙන් හා මිහින්තලෙන් ලැබී ඇත. මේ යුගයේදී සිංහලයන් ඉන්දියාවේ වර්තමාන ඔරිස්සා ප්‍රදේශයේ පිහිටි පැරණි කාලිංග ප්‍රදේශය සමගද සංස්කෘතික සම්බන්ධකම් පවත්වා ඇත. ක්‍රි. ව. සිව් වැනි සියවස ආරම්භයේදී පමණ කාලිංගයේ රජ කළ ගුහසීව නම් රජෙකු ලංකාවේ මහාසේන රජු හා මිත්‍රව සිටි බව දළදා සිරිතෙහි සඳහන් වී තිබේ. බුදුන්ගේ දළදාව ලංකාවට එවූ බව කියන්නේ මේ ගුහසිව රජු විසිනි. දෙවැනි අග්බෝ රජු දවස කාලිංග කුමරෙකු හා ඔහුගේ බිසවද ලංකාවට පැමිණ පැවිදි වූ බව චූලවංසයේ සඳහන් කර ඇත.  අනුරාධපුර යුගයේ අවසාන භාගයේදී ලංකාව සහ ඉන්දියාව අතර පැවති සංස්කෘතික සම්බන්ධතා පිළිබඳව වැඩි තොරතුරු ලැබී නැත. මේ කාලය වන විට දකුණු ඉන්දියාවේ බලයට පත්ව සිට ඇත්තේ චෝළයන්ය. එකොළොස් වන සියවසේ මුල හරියේදී ඔවුහු මාලදිවයින හා ලංකාව පමණක් නොව මලයාව හා ජාවා රටද තමන් යටතට ගැනීමට සමත් වූහ. මේ නිසා උතුරු ඉන්දියාව සමග සංස්කෘතික සම්බන්ධතා පවත්වාගෙන යාමට ලංකාවේ රජවරුන්ට බාධා පැමිණියේ දැයි ස්ථිරව කිව නොහැකිය.


චීනය හා ලංකාව අතර පැවති සංස්කෘතික සම්බන්ධතා ගැන පමණක් අපට සාක්ෂි ලැබී ඇති බව සඳහන් වේ. ක්‍රි. පූ. යුගයේ පමණ ඇරඹුණු මේ සම්බන්ධතා කෝට්ටේ යුගයේ අවසානය දක්වාම පැවතුණු බව සඳහන් වේ. ක්‍රි. ව. 13 වැනි 14 වැනි සියවස්හි දී ලංකාවෙන් පාත්‍රා ධාතුව ලබා ගැනීම සදහා චීනයෙන් පැමිණි දූත ගමන් තුනක් ගැන දළදාව ලබා ගැනීම සඳහා සෙනවියා යටතේ 1405 දී පමණ එවන ලද දූත පිරිසක් ගැන චීන වංසකතාවල සඳහන්ව තිබේ. හය වැනි පරාක්‍රමබාහු රජු කෝට්ටේ සිංහාසනයට පත්ව ඇත්තේ චීන ආධාරයෙන් බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පවසා ඇත. මීට අමතරව හය වැනි පරාක්‍රමබාහු රජුගේ කාලයේදී චීනයට යවන ලද දූත ගමන් හයක්ද වාර්තගත වී ඇත. මහ විජයබාහු රජුගේ කාලයේ සංස්කෘතික සම්බන්ධතා ගොඩනගා ගත් රටක් ලෙස බුරුමයද හඳුන්වා දිය හැකිය. විජයබාහු රජු පොළොන්නරුවේ රජ වීමෙන් පසු එකල මෙහි උපසම්පදා කර්මයට ගණපුරක භික්ෂුන් නොපොහොනා බැවින්  බුදුසසුන පැවැත්මෙහි කැමතිව රාමඤ්ඤ රට අනුරුද්ධ නම් රජු වෙත පඩුරු සහිතව දූතයන් යවා එරටින් තුන් පිටකයෙහි පරතෙරට ගියා වූ සිල්වත් තෙරුන් වහන්සේලා ගෙන්වා ඒ රජු නොයෙක් පරිද්දෙන් පැවිදි උපසම්පදා කම කරවා අටුවා සහිත තුන් පිටකයද කියවූ බව චූලවංසයෙහි දක්වා ඇත.


ඊට කලකට පසුව උත්තරජීව නම් බුරුම සංඝනායකතුමෙකු තවත් බුරුම තෙරුන්වහන්සේලා පිරිසක් හා ජෙප්පට නම් වූ තරුණ සාමණේර භික්ෂුවක්ද සමඟ ලංකාවට වැඩි බව සඳහන්ය. උන්වහන්සේල්ලා මෙහිදී මහත් හරසරින් පිළිගෙන දෙරටේම භික්ෂුන් වහන්සේලා එක්රැස්වව එක සීමාවක හිද ජෙප්පට සාමණේරයන් උපසම්පදා කරවා ඇත. උත්තරජීව හිමියන් පෙරළා බුරුමයට වැඩි බවත් ජෙප්පට භික්ෂුව අවුරුදු දහයක් පමණ මෙහි නැවතී සිට ත්‍රිපිටකය උගෙන පෙරළා බුරුමයට වැඩ සිංහල සංඝ නමින් වෙනම නිකායක් පිහිට වූ බවත් බුරුම ඉතිහාසයයෙන් හෙළිවී ඇත.  පළමු වන පරාක්‍රමබාහු රජු රජ වී ටික කලක් යන තුරු දෙරට අතර පැවැති චිරාගත මිත්‍ර සම්බන්ධය නොකඩවා පැවතී ඇත. නමුත් බුරුම රටට ගිය ලාංකික දූත පිරිසකට අවහිර  කිරිමත් ඔවුන් මිලයට ගත් ඇතුන් හා ඔවුන්ගේ නැව් පැහැර ගැනීමත් මතුවට වෙළෙදාම සඳහා බුරුම රටට පැමිණීම ලාංකිකයන්ට තහනම් කිරීමත් නිසා පරාක්‍රමබාහු රජු බුරුම රට ආක්‍රමණය කළ බව චූලවංසයෙහි සඳහන් වී ඇත. පරාක්‍රමබාහු රජුට ජය අත්වීමෙන් යුද්ධය කෙළවර වූ පසු දෙරටේ භික්ෂූන් වහන්සේලාගේ මැදිහත් වීම නිසා නැවත දෙරට අතර පැවති මිත්‍ර සම්බන්ධතා යථා තත්වයට පත්වී ඇත. පරාක්‍රමබාහු රජු ඇවෑමෙන් පොළොන්නරු රාජ්‍යයට පත් වූ දෙවැනි විජයබාහු රජු දවස ලංකාවෙන් බුරුමයට යවන ලද දූත පිරිසක් ගැනද සඳහන් වී ඇත. මේ රජු මගධ භාෂාවෙන් ලියන ලද සන්දේශයක් බුරුමයේ රජු වෙත යවා බුරුම රජු හා මිත්‍ර සන්ථවය ඇති කොට දෙරටේම භික්ෂුන් වහන්සේලාට ප්‍රිය උපදවන පරිද්දෙන් බුදු සසුන බැබල වූ බව වංසකතාවේ දක්වා ඇත. මේ කාලයේ දීම රුහුණේ රම්බා විහාරයේ මහානාග සේන නම් මහතෙර නමක් විසින්ද අරිමද්දන පුරයේ සංඝයා වෙත පාලි සන්දේශයක් යවා ඇත. දැනට මානාවුලු සන්දේශය නමින් හැඳින්වෙන පාලි ග්‍රන්ථය මේ සන්දේශයේ පිටපතකි. පොළොන්නරු යුගයේදී ලංකාවේ රජවරුන් හා බුරුම රජවරුන් අතරද දෙරටේ භික්ෂුන් වහන්සේලා අතර පැවති සුහද සම්බන්ධතා මෙම කරුණුවලින් හෙළිවෙයි.


ක්‍රි. ව. 13 වැනි හා 14 වැනි සියවස් පිළිබඳ තොරතුරු විරල වුවද 15 වැනි සියවසේදී දෙරට අතර පැවති සම්බන්ධතා ගැන  තොරතුරු රාශියක් අපට ලැබී ඇත. බුරුමයේ ජෙගු රාජධානියේ රජ කළ බිත්යා රජ බුරුම දූත පිරිසක් ලංකාවට එවා තමා කර වූ ස්තූපයක නිධන් කිරීම සඳහා මෙරටින් ධාතු ලබා ගත් බවත්, ඊට ශත වර්ෂයකට පමණ පසු ආවා නුවර රජකළ රෑහථ රජුගේ කාලයේදී ලංකාවට පැමිණි ධාතුන් වහන්සේලා දෙනමක් ලබා ගෙන පෙරළා සිය රටට ගොස් ඒවා යතයේදී (පයඛ්‍යා) ස්තූපයේ නිදන් කළ බවත් බුරුම වංශකතාවල දක්වා ඇත.  ආවා නුවර රජ කළ නරපති රජු ක්‍රි. ව. 1456 දී දළදා පූජාව සඳහා මැණික් හා රත්රන් මෙහි එවා දළදා වන්දනාව සඳහා  ලංකාවට පැමිණ බුරුම භික්ෂුන් වහන්සේලාගේ ප්‍රයෝජනය  පිණිස කෝට්ටේ රාජධානියෙන් ඉඩමක් ලබාගත් බවද සඳහන් වේ. නරපති රජු ඇවෑමෙන් ආවාහි රජ වූ සීහපුර රජු හා ඔහුගේ බිසව තම හිස කෙස්වලින් මුස්නක් කරවා මැණික් එබ්බ වූ මිටක් සහිතව එයද දළදා මාළිගය ඇමදීම සඳහා ක්‍රි . ව. 1474 දී පමණ බුරුම දූත පිරිසක් අත මෙහි එ වූ බව කියවේ. මේ දූත පිරිස  කෝට්ටේ රජුට දෙනු පිණිස චීන පටවලින් කළ ඇදුම් කීපයක්  ද ගෙන ආ බව කියති. කෝට්ටේ හය වැනි බුවනෙකබාහු දවස බුරුමයේ පේගු රාජ්‍යයේ ධම්මචේතිය රජු ලංකාවේ මහා විහාර පරම්පරානුගත උපසම්පදා ක්‍රමය තම රටේද ඇති කරනු සඳහා භික්ෂූන් පිරිසක් මෙහි එවූ බව බුරුමයේ කළ්‍යාණි ශිලා ලේඛනයේ  සඳහන්ව ඇත. ධම්මචේතිය රජු තම අගනුවර කරවූ සීමාව ඒ  බුරුම භික්ෂූන් මෙහිදී උපසම්පදා ලැබූ කැලණියේ නම අනුව කල්‍යාණි සීමා නමින් ප්‍රසිද්ධ වී ඇත. මෙසේ අතීතයේ විවිධ සංස්කෘතික සබඳතා පැවැත්වූ සිංහලයන් වර්තමානයේ බාහිර ලෝකය සමග පවත්වන ගනුදෙනු බොහෝ දුරට වෙළද සබඳතා බවට පමණක් සීමා වී ඇත. වෙනත් රටවල සමඟ සංස්කෘතික සම්බන්ධතා ගොඩනගා ගැනීමේ අඩුවක් වර්තමානයේ දක්නට ඇත.