
ස්වාමීන් වහන්ස, බෞද්ධ ජනතාව අන්‍ය ආගම් වෙත නැඹුරු කරගැනීම අරමුණු කරගත් විදේශීය බලවේග දැන් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වන බව කියැවෙනවා. බුදුදහමේ පැවැත්මට එවැනි තර්ජනයක් ඇතැයි පිළිගත හැකි ද?
පිළිගන්න පුළුවනි. වර්තමානයේ මෙය විශාල ව්‍යාපාරයක් බවට පත් ව තිබෙනවා. රාජ්‍ය නොවන සංවිධානවල මූලධර්මවාදි නියෝජියන් ලංකාවට පැමිණ විදේශ මුදල් පරිත්‍යාග කර අපේ පාරම්පරික දිළිඳු බෞද්ධයන් අන්‍ය ආගම්වලට යොමු කරනවා.මංකොල්ලකෑම, සොරකම් කිරීම, මිනීමැරුම මෙන් ම අල්ලස් ලබාදීම ආදිය සමාජ විරෝධී ක්‍රියාවන් ලෙසයි හඳුන්වන්නේ. නමුත් මේ සියලුම කිය. අද සමාජයේ සිදුවෙනවා. ආගමික නැඹුරුවීම් සඳහා අල්ලස් දීම වැනි ක්‍රියාවන් නිතර සිදු වන බව ද අපට පෙනෙන්නට තිබෙනවා. නමුත් ඉහතින් සඳහන් කළ මංකොල්ලකෑම් සොරකම්වලට වඩා ආගමික වශයෙන් සිදු වන සොරකම් සහ අල්ලස් දීම්වලින් අපේ ජන සමාජයට සිදු වන හානිය බරපතළ යි.
මේ මූලධර්මවාදීන්ගේ ක්‍රියාමාර්ග අතිශයින් සූක්ෂම යි. ඔවුන් තමන්ගේ ආගම් ප්‍රචාරයට පිවිසෙන්නේ "සමාජ සුබ සාධනය” නමැති තේමාවට මුවා වෙලා. ඔවුන් ඈත දුෂ්කර ගම්මානවල ජීවත් වන බෞද්ධයන්ගේ ප්‍රශ්නවලට විදේශ මුදල් අත දිග හැර වියදම් කර තාවකාලික සහන ලබාදෙනවා. මේ "ආධාර මුදල් නොලැබේ නම් ජීවත් විය නොහැකි ය” යන මානසිකත්වයට පත් වූ පසු ඉතා සූක්ෂ්ම ව ආගමික ආක්‍රමණයන්ට බිලීබාගන්නවා. ඔවුන්ගේ තේමා පාඨය " බුද්ධාගම අතහැර අපේ ආගම වැලඳගන්න. එසේ පවසමින් දිළිඳු ගැමියන් ඉදිරියේ සුරංගනා ලොවක් මවනවා. මෙවැනි රාජ්‍ය නොවන සංවිධාන අද වන විට රට පුරා ක්‍රියාත්මක යි. මේවාට එරෙහිව අපේ ගිහි පැවිදි බෞද්ධ නායකයන් කලක සිට ම දැඩි විරුද්ධත්වයක් ප්‍රකාශ කර තිබෙනවා.
නමුත් බුදුරජාණන් වහන්සේ කුසගින්නේ සිටි ගොවියකුට ආහාරපාන ලබා දී කුස පිරුණු පසුවයි ධර්මය දේශනා කළේ. බෞද්ධයන් ආගමික ආක්‍රමණයන්ට නතු කරගන්නේ ඉහත පදනම මත විය නොහැකි ද?
කුසගින්නේ පසු වූ ගොවියෙක් දිනක් බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය ශ්‍රවණය සඳහා පැමිණියා. මේ බව දැනගත් උන් වහන්සේ ආහාර පාන ලබා දී කුස පිරුණු පසුවයි ධර්මය දේශනා කළේ. නමුත් බුදුරජාණන් වහන්සේ එහිදී අයථා බලපෑමක් කළේ නැහැ. "මගේ ධර්මය ශ්‍රවණය කර බුදුදහම වැලඳගන්නවා නම් පමණක් මම ඔබට ආහාර ලබා දෙන්නම්” යනුවෙන් දේශනා කළේ නැහැ. නමුත් මූලධර්මවාදීන් විසින් සිදු කරන්නේ රාජ්‍ය නොවන සංවිධානවලින් ලැබෙන මුදල් පරිත්‍යාග කර, බුදුදහම පාරම්පරිකව අදහන දිළිඳු බෞද්ධයන් බිළීබාගැනීම යි.
අද ඇතැම් භික්ෂූන් වහන්සේ නිසා ධර්මය විකෘති වන බවක් කියැවෙනවා?
ඇතැම් ස්වාමීන් වහන්සේ ධර්මය සරල ලෙසින් දේශනා කිරීම නිසා සමහර සූත්‍ර පාඨවල අර්ථය පවා වෙනස් වී තිබෙනවා. මේවායින් උන් වහන්සේ බලාපොරොත්තු වන්නේ ජනප්‍රියත්වයයි. මේ නිසා බුද්ධාගම හෑල්ලුවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටක ධර්මයේ පෙළ දහම නිවැරැදි ව විග්‍රහ කරන්නේ නැතිව තමන්ට අවශ්‍ය ආකාරයට විග්‍රහ කිරීම නිසා ජනතාව නොමඟ ගිය අවස්ථා තියෙනවා.
"මම මාර්ගඵල ලාභියෙක්මි” යි කියාගන්නා අයත් අද ඉන්නවා.
"මාර්ග ඵල ලැබු ස්වාමීන්වහන්සේ", "අභිඤ්ඤාලාභී මහරහතන් වහන්සේ ” යනුවෙන් මුද්‍රණය කර බෙදාහරින ලද අත් පත්‍රිකා මා පසුගියදා පොලොන්නරුවේදී දුටුවා. මේවායින් පැහැදිලිව පෙන්නුම් කරන්නේ බුදුදහම විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව යි. යම්කිසි පුද්ගලයෙක් මාර්ග ඵලයකට පත් වුණා නම්, එවැනි උසස් මානසික දියුණුවක් ලැබුවා නම් ඔහු කිසි ම දවසක පෝස්ටර් ගහන්නේ නැහැ; හෑන්ඩ්බිල්, කටවුට් ගහගෙන එවැනි විශේෂ ප්‍රසිද්ධියක් ලබාගැනීමට උත්සාහ කරන්නේත් නැහැ. ඔහුට මානසික දියුණුවක් නැති බව ඒ තුළින් ම මනාව පැහැදිලි යි.
අද පැවිදි වෙනවා අඩු යි. සංඝ සමාජය 30,000 දක්වා අඩු වී ඇති බවක් පැවසෙනවා.
පැවිදි වීම අඩු යි කියලා කියන්න අමාරු යි. නමුත් එක් කරුණක් පිළිබඳ මෙහිදී විශේෂයෙන් කතා කළ යුතු යි. බුද්ධ ශාසනයේ පැවිදි වෙන්නේ බොහෝ විට සිංහල බෞද්ධ පවුල්වල ළමයි. පැරැණි සමාජයේ පවුලක දරුවො කිහිප දෙනෙක් හිටිය නම් එක දරුවෙක් අනිවාර්යයෙන් ම ශාසනයට පූජා කළා. ඒ දරුවා ශාසනයේ පැවිදි වී ශාසනික වශයෙන් උදාර සේවාවක් කළ මහා යතිවරු බවට පත් වූ අවස්ථා තිබෙනවා. නමුත් දැන් අපේ සිංහල පවුලක ඉන්නෙ දරුවො දෙන්නයි. වැඩි ම වුණොත් තුන් දෙනයි නැතිනම් එක්කෙනයි. තමන්ගේ එක ම දරුව ශාසනයට පූජා කරන්න. ඒ පවුලේ මවුපියො කිසි සේත් ම කැමැති වෙන්නේ නැහැ. මේ තත්වයට වගකිව යුත්තේ කවුද? ඒ අන් කවරකුවත් නොව, සිංහල ජාතිය වඳ කිරිමේ මුවාවෙන් මෙරටට පැමිණි පවුල් සංවිධාන ක්‍රමය යි.
ලංකාව පුරා ඇති සිංහල පාසල් විශාල ප්‍රමාණයක් ළමයින් නොමැතිකම නිසා වසාදැමීමට සිදු වී ඇති බව පසුගිය දා අපට ජනමාධ්‍ය මගින් දැනගන්නට ලැබුණා. මේ එක ම පාසලක් වත් සුළු ජාතික ජන කොටස්වලට අයත් පාසල් නොවීමත් විශේෂයක්. එම පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව දිනෙන් දින වර්ධනය වන අතර සිංහල පාසල් වැසීයාම කනගාටුදායක තත්වයක්.
එහෙත් වර්තමාන ආර්ථිකය තුළ පවුලක දරුවන් හත් අට දෙනෙක් හිටියොත් මවු පියන්ට දැරිය නොහැකි ජීවන බරක් වෙනවා නේද?
පවුලක දරුවන් ප්‍රමාණය වැඩි වීම පවුලට බරක් වන්නේ පවුලේ ආර්ථිකය දුර්වල නම් විතරයි. අතීතයේදී දරුවන් විස්සක් බිහි කළ විශාඛාවන්, දරුවන් තිදෙනෙක් බිහි කළ බන්දුල මල්ලිකාවන් වැනි මවුවරු අප සමාජයේ ජීවත් වුණා. අද ද දරුවන් දහයක්, දොළහක් බිහි කළ මවුවරු ඉන්නවා. පවුලේ ආර්ථිකය නිසා දරුවන් අඩු කළ යුතු යැයි පැවසීම පිළිගන්න බැරි තර්කයක්. ඒ සඳහා කළ යුතු වන්නේ ආර්ථික පරිහානියට හේතු සොයා ඊට පිළියම් යෙදීන්ගෙන් ආර්ථිකය නගාසිටුවීම යි. රටේ ආර්ථිකය රට තුළ වෙසෙන සියලු ජාතීන්ට ම ඒකාකාරිව බල පෑ යුතු යි. එහිදී සිංහල බෞද්ධයන් පමණක් මේ පවුල් සංවිධාන ක්‍රමයට යොමු වීම කනගාටුදායක තත්වයක්. බටහිර සංවිධාන විසින් ක්‍රියාත්මක කරන ලද නොයෙකුත් කුමන්ත්‍රණවලට අපේ සිංහල සමාජය හසු වී තිබෙනවා. වත්මන් අර්ථ ක්‍රමයේ එක්තරා වැරැද්දක් හැටියට යි මම මේ තත්වය දකින්නේ. මෙවන් වාතාවරණයක් තුළ බුදුදහමේ පැවැත්ම විශාල අන්තරාදායක තත්වයකට පත් ව තිබෙනවා.
අද නගරයටත් ආරණ්‍ය සේනාසන ඇවිල්ලා! හැමතැනම භාවනා පන්ති. මේ තත්වය ශාසනයේ දියුණුවක් ද?
අතීතයේ සිට ම විදර්ශනා ධුරය සහ ග්‍රන්ථ ධුරය යනුවෙන් සංඝ සමාජයේ දෙපිරිසක් වැඩ සිටියත් විදර්ශනා ධුරය දැරූ භික්ෂූන් වහන්සේ ආරණ්‍ය සේනාංසනවල වැඩ වෙසෙමින් භාවනා කළා. එහි දී බොහෝ නිහඬව මහණදම් පුරල ප්‍රතිපත්ති ආරක්ෂා කර යම්කිසි අධිගම තත්වයක් ලබාගත් භික්ෂූන් වහන්ම ත් , වැඩ සිටියා. ග්‍රන්ථ ධුරය දැරූ භික්ෂූන් වහන්සේ ත්‍රිපිටක ධර්මය පාඩම් කර ගමේ පන්සලේ වැඩ වෙසෙමින් ජාතික හා ආගමික වශයෙන් විශාල සේවයක් ඉටු කළා. නමුත් අපි ඉහතින් සඳහන් කළ ආරණ්‍යයක් යනු, සමාජයෙන් දුරස් ව විවේකී පරිසරයක පිහිටි ස්ථානයක්. විශේෂයෙන් පෞද්ගලික විමුක්තිය අපේක්ෂා කරන ස්වාමීන් වහන්සේ යි එහි වැඩ සිටින්නේ. නමුත් අද ඇතැම් හිමිවරු නගරය තුළ පිහිටි පාරම්පරික විහාරස්ථාන සමග ගැටුම් ඇති කරන්ගෙන තිබෙනවා. මේ නිසා තමන් තෝරාගත යුත්තේ පන්සල ද, නැති නම් ආරණ්‍යය ද කියා සිතාගත නොහැකි ව බෞද්ධයන් අද අතරමං වෙලා. මේ තත්ත්වය තුළ මා දකින්නේ ශාසනයේ දියුණුවක් නොව පරිහානියක්.
බුදුරජාණන් වහන්සේ දේශනා කළේ "සුඛා සංඝස්ස සාමගී” එනම් සංඝයාගේ සමගිය සැපතක්. භික්ෂූන් වහන්සේ අතර කිසියම් අර්බුදකාරි තත්වයක් කවරකු විසින් හෝ නිර්මාණය කරනවා නම් එය ශාසනයේ පරිහානියට හේතු වනු ඇත. ඒ වගේ ම බුදු දහමේ සඳහන් වෙනවා, "අත්තුක්කංසන පරවම්බන." එනම් ඇතැම් භික්ෂුන් වහන්සේ තමන් බොහොම සිල්වත් ය, ගුණවත් ය, ධර්මධර ය, විනයධර යැ යි අධිතක්සේරුවක පසුවෙනවා; අනෙක් භික්ෂූන් වහන්සේ දුස්සීල ය, ධර්මධර විනයධර නැතැ යි පහත් කොට සලකනවා. මෙලෙස තමන් උසස් ලෙසත් අනෙක් අය පහත් ලෙසත් සිතීම උතුම් මනුෂ්‍යයකුගේ හෝ උතුම් පැවිද්දකුගේ ස්වභාවය නොවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. භික්ෂුවකගේ කාර්යභාරය විය යුත්තේ සංඝ සාමගිය ඇති කරගනිමින් සමාජයට යම්කිසි මෙහෙයක් සිදු කිරීම යි.
භික්ෂූන් වහන්සේ නමක් පසුගිය දා රියැදුරු බලපත්‍ර ලබාගැනීමට ඉල්ලුම් කර තිබුණා. මෙය භික්ෂුත්වයට ගැළපෙනවා ද?
විවෘත ආර්ථිකයත් සමග අපේ ජන සමාජය වාණිජකරණයට හසු වී තිබෙනවා. එහිදී භික්ෂුත්වය කෙලෙසන අන්දමේ ක්‍රියාවන් ද සිදුවීම කනගාටුවට කරුණක්. භික්ෂුවක් රියැදුරෙක් වීම බෞද්ධ භික්ෂුත්වයේ සංකල්ප සහ සාරධර්මවලට පටහැණි යි.
බුදුරජාණන්වහන්සේ දේශනා කළේ භික්ෂුවක් "අප්පසන්නානං වා පසාදාය, පසන්නානං වා හීයෝ භාවාය" එනම්, නිරන්තරයෙන් ම නොපැහැදුණු අයගේ පැහැදීම සඳහාත් පැහැදුණු අයගේ වඩාත් පැහැදීම සඳහාත් කටයුතු කළ යුතුයි. එහිදී භික්ෂූන් වහන්සේ නමක් රියැදුරු මහතෙක් වනු දැකීමට අපේ බෞද්ධයන් කිසිසේත් කැමති වෙන්නේ නැහැ. ඒ මක් නිසා ද යත්, භික්ෂූන් වහන්සේ නමක් අපේ බෞද්ධ නිවෙසකට පැමිණි විටදී පාවඩ එළා, පා දෝවනය කර, අසුනකට ඇතිරිලි එළා බොහෝ ගෞරවයෙන් වඩා හිඳුවා වැඳ නමස්කාර කරන පූජ්‍ය උතුමෙක්.. රටේ රජතුමා ගෙදරකට ආවත් පා දෝවනය කර ගෙට ගන්නේ නැහැ ඇතිරිල්ලක් එළල ආසනයක හිඳුවා ගෙදර ප්‍රධානියා බිම හිඳ ගන්නේ නැහැ. අපි ඒ ආකාරයට ගෞරව කරන්නේ බුද්ධ ශ්‍රාවකයෙක් ම ය යන අදහසිනුයි. එසේ නම් භික්ෂුවක් නිරතුරුවම ශාසනයේ ගෞරවයත් සංඝයා වහන්සේ ගෞරවය රැකෙන අයුරින් කටයුතු කළ යුතු යි.
භික්ෂුන් වහන්සේ නමක් සම්බන්ධ සී.ඩී. තැටියක් පිළිබඳ ජන සමාජය තුළ පසු 9 + ආල ආන්දෝලනයක් ඇති වුණා.
සිවුරක් පොරවාගත් පුද්ගලයකු කාන්තාවන් දෙදෙනකු සමග අනාචාරයේ හැසිරෙන සී.ඩී.පටියක් සමාජය තුළ ප්‍රචලිත කර තිබෙනවා. ඇතැම් පිරිස් බස් රථයේ ආසනය මත වුවමනාවෙන් ම මෙම සී.ඩී. පටිය දමාගොස් තිබුණ. සමහර පිරිස් වීඩියෝ සාප්පුවට ගොස් ඉල්ලන්නේ "අර සාධු ඉන්න සී.ඩී. එක දෙන්න” කියලා. අද මෙම සිදුවීම අප නීතිය ඉදිරියට ගෙන ගොස් තිබෙනවා. මේ සියලු ක්‍රියාදාමයක් සඳහා පුද්ගලයන් යොමු කර තිබෙන්නේ රාජ්‍ය නොවන සංවිධාන විසින් බව එහිදී අනාවරණය වුණා. බුද්ධාගම විනාශ කිරීමේ කුමන්ත්‍රණකරුවන්ට හසු වුණු මුදලට යට වුණු භික්ෂූන් වහන්සේත් මේ අතර සිටිනවා. මෙහිදී බෞද්ධයන් ඉතා බුද්ධිමත් ව කටයුතු කිරිම අවශ්‍ය යි. මේ භික්ෂුන් වහන්සේ තමගේ භික්ෂුත්වය සහ ශාසනික වගකීම පිළිබඳ නිවැරැදි අවබෝධයකින් යුතුව කටයුතු කළ යුතු වකවානුවක්.
බුද්ධ ශාසනයේ වර්තමාන පිරිහීමට හේතු වූ කරුණු කිහිපයක් ම ඔබ වහන්සේ ඉදිරිපත් කළා. මේ තත්වය දුරු කිරීමට සුදුසු විකල්ප යෝජනා කවරේ ද?
බුදු සසුනේ ආරක්ෂාව සැලසීමට පවතින සෑම රජයක් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම මෙරට ජනතාව ප්‍රතිඥා දී තිබෙනවා. "අපි බුද්ධාගමට මුප්තැන දෙනවා” කියා ඇතැම් දේශපාලනඥයන් මැතිවරණ වේදිකාවලදී පවසනවා. නමුත් ඒ අය පසුකාලීනව ඒවා අමතක කර දමනවා.. දේශපාලනඥයන් බුද්ධාගමට මුල්තැන දීමට අවශ්‍ය නැහැ. මිහිඳු මහරහතන් වහන්සේගේ කාලයේ සිට ම බුද්ධාගමට මුල් තැනයි හිමි වුණේ. අපේ රාජ්‍ය ආගම බුද්ධාගම යි. එය කිසිවකුටත් අසාධාරණයක් සිදු වන ප්‍රකාශයක් නො වෙයි. එහිදී අප කළ යුතු වන්නේ ප්‍රධානත්වය පිරිනැමීම නොව ප්‍රධානත්වය පිළිගැනීමයි . මෙහිදී තවත් විශේෂ කරුණක් සඳහන් කළ යුතු යි. එනම් අද අපට සංඝාධිකරණයක් අවශ්‍ය යි. අපේ රටේ තුන් නිකායක් පවතිනවා. මෙහි මහානායක මාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් අනාගත සම්බුද්ධ ශාසනයේ ආරක්ෂක්ෂාව සඳහා කතිකාවත් නීත්‍යනුකූලව සිදු කිරීමේ වැඩපිළිවෙළක් අවශ්‍ය යි.
Comments
Post a Comment