
ස්වාමීන් වහන්ස, වර්තමාන සමාජය කාන්තා හිංසනය, ගෘහ ප්‍රචණ්ඩත්වය පිළිබඳ බොහෝ සේ කතා වෙනවා. එයින් අපට පෙනෙන්නේ කුමක්දෙ අසාධාරණයක් කාන්තාවට සිදු වී ඇති බවයි. එබැවින් මේ පිළිබඳ සාකච්ඡා කිරීමට පෙර බුදුන් දවස කාන්තාවට තිබණු තත්ත්වය කෙබඳු ද යන්න ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමැතියි. ඔබගේ මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට මත්තෙන් බුදුරජාණන් වහන්සේ පහළ වීමට පෙර සමාජයේ කාන්තාවට තිබුණු තත්ත්වයට පිළිබඳ අපේ අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ සමාජයේ බමුණන් සැලකුවේ කාන්තාවක වී ඉපදීම පවා ශාපයක්, පාපයක් නිවසට සමාජයට විනාශයක් හැටියටයි. එදවස කාන්තාවගේ තත්වය ඉතාමත් ඛේදජනක වී තිබුණා. මූලික මිනිස් අයිතිවාසිකම් කිසිවක් ඇයට හිමි වී තිබුණේ නැහැ. උපන්ගෙයි මරා දමන ලද බිලිඳියන්ගේ ප්‍රමාණය කොතරම් වන්නට ඇද්ද? තම ස්වාමියා අකලට මිය ගිය කල්හි ඔහුගේ සෑයට පැන බිරිය ද සිය ජීවිතය අවසන් කරගත යුතු තත්ත්වයක් තිබුණේ.
බුදුරජාණන් වහන්සේස්ටත් එක පාරටම මේ තත්වය වෙනස් කිරීමට නොහැකි වුණා. මන් ද යත්, ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ස්ත්‍රිය පිළිබඳ ඉහත සඳහන් කළ ආකාරයේ ඛේදජනක තත්වක් මිනිස් මනසේ තැන්පත් වී තිබුණු නිසා යි. ස්ත්‍රිය පවා ඇතැම් විට මේ තත්වය මෙලෙස ම පැවැතීමට රුකුල් වී තිබෙනවා. බුදුරජාණන් වහන්සේ ක්‍රමක්‍රමයෙන් එකී තත්වය වෙනස් කිරීමට උත්සාහ දැරුවා. කාන්තා නිදහස වෙනුවෙන් කතා කළ ලොව පළමු දාර්ශනිකයා බුදුන් වහන්සේ යි. මවක් සහෝදරියක් බිරියක් ලෙස කාන්තාවට කෙසේ ගරු කළ යුතු ද? කෙසේ සැලකිය යුතු ද? වශයෙන් සමාජයේ නෙත් පෑදු බුදුරජාණන් වහන්සේ කාන්තාව ඉතා ඉහළින් අගය කළා. සිද්ධාර්ථ කුමාරයා ඉපදී දින හතෙන් මහාමායා දේවිය මියපරලොව ගියා. මාතෘ දිව්‍ය රාජයා වී ඉපදෙන්නේ මහාමායා දේවියයි. දෙව්ලොව වැඩි මාතෘ දිව්‍ය රාජයාට 'විජම් පිටකයෙන්" ධර්ම දේශනා කරන ලද්දේ සිය මවට කරන උපහාරයක් ලෙසයි.
තමන් වහන්සේ ගේ සුළු මව වන ප්‍රජාපතී ගෝතමීගේ ඉල්ලීම පරිදි භික්ෂුණී ශාසනය පිහිටුවීම, සමාජයෙන් ප්‍රතික්ෂේප වූ පටාචාරා, රජ්ජුමාලා, කිසාගෝතමී වැනි ස්ත්‍රීන්ට පිහිට වීම මේ අතර ඉතා වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේ කාන්තාව අගය කළ තැන් කිහිපයක් සූත්‍ර පිටකයේ සඳහන් වෙනවා. "මළ මිනියක් මළ මිනිසෙක් හා විසීම, මළ මිනියක් දෙව් දුවක හා විසීම, දේව පුත්‍රයෙක් දෙව්දුවක හා විසීම, දේව පුත්‍රයෙක් මළ මිනියක හා විසීම ආදි වශයෙන් පැහැදිලිව ම ස්ත්‍රිය අගය කර තිබෙනවා. 'නකුල මාතා' සූත්‍රය ද මේ සඳහා දැක්විය හැකි කදිම උදාහරණයක් 'පතිවත - පතිනි වත උදාර මිනිස් ගුණයක් ලෙස සලකමින් ස්ත්‍රීන්ට සමාජයේ සම තැන දීමට කටයුතු කර තිබෙන්නේ බුදුරජාණන් වහන්සේයි. ' බිරිය නිතර ම ස්වාමියාට කීකරු ව අවනත ව ක්‍රියා කරයි. ඔහු ඇයට ගරුසරුව කතා කරයි; අවමන් නොකරයි, විශ්වාසය කඩ නොකරයි; අභරණ සැරහුම් ලබා දෙයි' අන්න එහෙමයි සිගාලෝවාද සූත්‍රයේ සඳහන් වෙන්නේ. මේවා විප්ලවකාරි අදහස් ලෙස අපට සැලකිය හැකි වන්නේ බුදුන් පහළ වන කාලය හා සැසඳීමෙන්.
ඔබ වහන්සේ හිතනවද කාන්තාවට අද ඒ තත්ත්වය තිබෙනවා කියලා?
අද තත්වය ඊට හාත්පසින් ම වෙනස්. අද ස්ත්‍රීන්ට ගරු කරන සමාජයක් අපට දැකගැනීමට අපහසුයි. මවුවරුන් ගේ දින, කාන්තා දින ආදි වශයෙන් දින වෙන් කළාට ඒවා නිකම් ම දින විතරයි. උදේ කාන්තා අයිතිය රකින්න කියා බෝඩ් එල්ලන සමාජ ආර්ථික දේශපාලන රටාවක් තුළ අම්මා, සහෝදරිය, බිරිය, දියණිය හඳුනන්නේ නැති තත්වයක් උදා වෙලා. වැඩිහිටි නිවාස අම්මලාගෙන් පිරිලා. වාණිජකරණය වූ සමාජයක ස්ත්‍රිය හුදු වෙළෙඳ භාණ්ඩයක් බවට පත් වෙලා. ටයර් විකුණන වෙළෙඳ දැන්වීමක පවා ස්ත්‍රිය පහත් ලෙස යොදාගෙන. බලන්න කොතරම් නොගැළපීමක් ද කියලා. ටයර් සහ ස්ත්‍රිය අතර මොකක් ද තියෙන සම්බන්ධය? ටයර් එකට ටියුබ් එකක් පෙන්නුවා නම් ඒක තව ගැළපෙනවා. රාග ගින්න හැම තැන ම බුරබුරා ඇවිළෙනවා.
මව සහෝදරිය දියණිය යැයි නොසලකමින් ඇතැමුන් හැසිරෙන ආකාරය පිරිමි සංහතියටම නිගාවක්. හැබැයි අධ්‍යාපනය, ක්‍රීඩා වගේ පැතිවලින් කාන්තාව ඉදිරියට ඇවිල්ලා තියෙනවා. එහෙත් ප්‍රමාණාත්මක නෑ. ගැඹුරක් නෑ. කාන්තාවට කාන්තාව ම නිග්‍රහ කරන තත්වයක් අද ඇති වෙලා. ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල වැඩ කරන කාන්තාවන් මොකද කරන්නේ? මෙහෙ කාන්තාවගේ දුක්, වේදනාව, පීඩනය ගැන ලියමින් ඡායාරූප ගනිමින් පිටරටවලට පෙන්නා තමන්ගෙ මල්ල තර කරගන්න එක විතරයි. දුප්පත් පවුල්වල කාන්තාවන්ට දරුවන්ට ටොෆි බෙදලා විතරක් දුප්පත්කම නැති කරන්න බැහැ. ගමට රටට විතරක් නෙමේ තුන් ලෝකෙට ම ඇහෙන්න කෑගැහැවට දුප්පත් පවුල්වලට සත පහක උදවුවක් කරන්නේ නෑ. සමහරු වහල් සේවයට කුඩා දරුවන් යොදාගන්නවට විරුද්ධව කතා කරනවා. ගෙදර ගිහින් බැලුවොත් ගෙදර වැඩට ඉන්නේ පොඩි ළමයි. අපේ රටේ කාන්තාව වෙනුවෙන් පෙනී සිටින සංවිධාන හා ඒ සංවිධානවල ක්‍රියාකාරියන්ගේ කතා බහ සහ යෝජනා දෙස බලන විට නම් අපේ රටේ කාන්තාව කොතරම් ඉහළ තලයක ඉන්න ඕනද?
එහෙම නම් මේ තත්ත්වයෙන් මිදෙන්නට පුරුෂ පාර්ශ්වයට ගත හැකි ක්‍රියා මාර්ග මොනවා ද?
මේ තත්ත්වයෙන් ස්ත්‍රිය මුදාගන්නට ක්‍රියා මාර්ග රාශියක් ගත යුතු වන්නේ පුරුෂ පාර්ශ්වයයි. පිරිමි කල්පනා කරන්න ඕනැ තම මව දෙස, සහෝදරිය දෙස, දියණිය දෙස බලනා ආකාරයට අවට සමාජයේ සෙසු කාන්තාවන් දෙස ද බැලීමට, පිරිමින් තමන්ගේ නෙත, මනස සංවර කරගත යුතුයි. කාන්තාව යනු දැහැටි කූරු නොවන බව පිරිමි මතක තබාගත යුතුයි. කුකරි ක්ලාස් ගිහින් සහතික, ඩිලෝමා, උපාධි ගත්තට, පොල් බෑයක් ගාන්න දන්නේ නැතිව පවුල් ජීවිතේ උසාවියෙන් ඉවර කරගන්නා අයත් ඉන්නවා. ඒ වුණාට ගත්ත සම්මාන ඇවිදින කොටත් ඇගේ හැප්පෙනවා! මෙතැනදී කාන්තාව දුර්වල චරිතයක් ලෙස දැක මේ අරමුණ කරා යා නොහැකියි. අපි සරල අත්දැකීමක් ගෙන බලමු. බස් රථයක ගමන් ගන්නා කාන්තාවන්ගෙන් හතර දෙනෙකුගෙන් එක් අයෙක් කිසියම් ආකාරයක ලිංගික අතවරයන්ට ලක් වන බව මේ මෑතක පළ වී තිබුණා. විශේෂයෙන් පාසල් දැරියන් පවා ඉතා උග්‍ර ලෙස මේ අතවරවලට ලක් වෙනවා. හවස ගමන් ගන්නා බස් රථවල වැඩි පිරිසක් බීගත්ත පිරිමි. ඉතිං මේ අයත් එක්ක ද අපි ස්ත්‍රිය ආරක්ෂා කරන්න කතා කරන්නේ? නිරෝගී පිරිමි අය ගැබිනි මවුවරුන්ට වෙන් කළ ආසනයේ පවා අසුන් ගෙන යනවා. ගැබිනි අම්මලා හිටගෙන යනවා.
කාන්තාවගේ පැත්තෙන් ඔවුන්ගේ ක්‍රියා මාර්ග කෙසේ විය යුතු දැයි සඳහන් කළොත්?
කාන්තාවන් මේ සඳහා දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතු වෙනවා. තමන් විසින් ම වළ කපාගෙන එයට බැස තමන්ට හදා ගන්න තත්ත්වයකට කාන්තාව අද පත්වෙලා. විශේෂයෙන් යෞවනියන් තමගේ විලාසිතා පිළිබඳ මීට වඩා සැලකිලිමත් විය යුතුයි. නිතර මවුපිය, ගුරුවර සෙවණේ කල් ගත කිරිමට කටයුතු කළ යුතු වෙනවා. සිය කැමැත්තෙක් විනාශයට පත් වෙන තත්වයක් නේ අද තියෙන්නේ. දින දෙකේ තුන් සම්බන්ධතා මත පදනම් වී විවාහ වී පසුව මුළු ජීවිතය ම කාලකණි කරගන්නවා. දූෂණය වීම එකක්. දූෂණය කරගැනීම එකක්. මේ තත්ත්ව දෙක ම අද දකින්නට ලැබෙනවා. ඒ නිසා කාන්තාව මීට වඩා අවදියෙන් සිටිය යුතු වෙනවා. අද පන්සලකට විහාරයකට දේවාලයකට ගියත් ඇතැම් තරුණියන් හැසිරෙන ආකාරය හරිම අප්‍රසන්න යි. සමහරු පන්සලට අඳින ඇඳුම නිසා නැවිලා වඳින්නවත් බැහැ. මොක ද, අඟලේ රෙදි කෑල්ලනේ! ඒකත් දෙකට පළලා. සමහරු නාන්න යන ඇඳුම වගේ ඒවත් ඇඳගෙන පන්සලට එනවා. බුදුන් ඉදිරියෙන් පෙම් කෙළිමින් මල් පූජා කරන්නෙත් මේ ප්‍රාර්ථනා සඵල කරගැනීමට මිසක වෙන අරමුණක පිහිටා නොවේ.
පෙම්වතිගෙ නමේ අකුරු ගණනට හරියන්න මල් තියා පූජා කරනවා. වයසට හරියන්න මල් තියා පූජා කරනවා. හදවතේ හැඩයට මල් අසුරා ජූජා කරනවා. උත්තරීතර පිරිත් නූල පවා අද ප්‍රේම සංකේතයක් ලෙස පාවිච්චි කරනවා. ඇතැම් තරුණියන් මෙසේ නූල් ගැට ගසාගෙන ඉන්නේ තමන්ට පෙම්වතෙක් ඉන්නවාය කියා සංකේතාත්මකව පෙන්නුම් කිරීමට බව සමාජය දෙස විමසුම් ඇසින් බලන කළ පෙනෙනවා. අද බොහෝ කාන්තාවන් සංස්කෘතිය දන්නේ නැහැ. ඉස්සර කාන්තාවන් දිහා බැලුවම සංස්කෘතිය කියාපානවා. ඒත් අද කාන්තාවන් බුදුන් වඳිනෙත් සන්ග්ලාස් දාගෙන. මේවා සුපිරි පන්තියේ ඩල්සිලාට, රෝසිලාට, පිංකිලාට විතරයි අවසර තියෙන්නේ. ගමේ මැගිලින්ගේ රොසලින්ගේ දුවලට මේවා ඔට්ටු නැ. අපේ සංස්කෘතිය රැකගන්න කාන්තාවන්ගෙන් විශේෂ කැප වීමක් අවශ්‍ය යි. විලාසිතා කිරීම අවශ්‍ය යි. ඒත් අපේ සංස්කෘතියට ගැළපීම ඉතා අවශ්‍ය යි.
කාන්තාවගෙන් මේ සමාජයට වැඩක් වේවි ද?
අද පන්සල්වල පවා පෝය දිනයට වැඩිපුර ම දකින්න ලැබෙන්නේ සැදැහැවතියන්. පිරිමි පාර්ශ්වයට පෝය දිනටත් බැරැරුම් රාජකාරි. ගමේ මරණාධාර සමිතියේත් බහුතරය කාන්තාවො. සමෘද්ධි සමිතියේත් කාන්තාවෝ. මේ තත්වය යටතේ නූතන කාන්තාව සමාජයෙන් පිටමං කළ නොහැකි යි. පඩි නොලබා, නිවාඩු නොලබා, ගෙදර-දොරේ දරුවන්ගේ ස්වාමියාගේ ඇය කරන වැඩ රාජකාරි ටිකම ගෙන බැලුවත්, ඇය මේ සමාජයට කොතරම් අත්‍යවශ්‍ය දැ යි අපට පෙනෙනවා නේද?
Comments
Post a Comment