gossiplanka image 1
 


ස්වාමීන් වහන්ස, අද අපේ විශ්වවිද්‍යාල සමහර වෙලාවට පුංචි යුද පිටි වගෙයි. ශිෂ්‍ය කණ්ඩායම් අතර විවිධ ගැටුම් නිසා විශ්වවිද්‍යාල නිතර වසාදැමෙනවා. ශිෂ්‍ය පරම්පරාවේ විනය මේ තරම් පිරිහීමට හේතු ඔබ වහන්සේ දකින ආකාරයට මොනවා ද?


විශ්වවිද්‍යාලයක් කියන්නේ සමාජයට අවශ්‍ය නව දැනුම බෙදන ආයතනයක්. මෙහි සිටින්නේ යෞවනයන්, ආචාර්යවරුන් සහ සේවකයන්. දැනුම සොයාගෙන යන මේ පිරිස අද විශාල ඛේදවාචකයකට හසු වී තිබෙනවා. නිරතුරුව ඇති වන මේ ගැටුම් අර්බුද නිසා අපේ විශ්වවිද්‍යාල අරිනවා, වහනවා. අපේ බෞද්ධ අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණක් මහා මංගල සූත්‍රයෙන් පෙන්වා දෙනවා. ඒ තමයි බාහුසච්වඤ්ච සිප්පංච විනයෝච සුසික්ඛිතෝ’ - විනයගරුකභාවයක් ශික්ෂණයක් තිබෙන්නට ඕනෑ. මේ සමබරතාව නූතන අධ්‍යාපන සංකල්ප  ඔස්සේ ගොඩනගාගන්නට අපට නොහැකි වී තිබෙනවා.පසුගිය වසරේදී අපේ ශිෂ්‍යයෙක් දැළිපිහියක් ගෙනවිත් මේ විශ්වවිද්‍යාල භූමිය තුළදී ම ළමයකුගේ බෙල්ල කැපුවා. මේ සිදු වීම අපි අමතක නොකළ යුතු යි. උසස් පෙළ නම් වූ තරගකාරි විභාගයෙන් "ඒ" සාමාර්ථ තුනක් ලබාගත් ශිෂ්‍යයා විශ්වවිද්‍යාලයට පැමිණෙන විට දැළිපිහියක් රැගෙන එන තත්වයට පත් වුණේ කොහොම ද? ඒ දැළි පිහිය නොදැනුවත්ව පොත් බෑගයට වැටුණා නො වේ. සැලසුම් සහගතව, බෙල්ල කැපීමේ චේතනාවෙන්මයි රැගෙන ආවේ. අධ්‍යාපනය තුළ දැනුම හොඳින් ලබාදී තිබෙනවා. ඒ නිසයි 'ඒ' තුනක් ගන්න පුළුවන් වුණේ. නමුත් ශික්ෂණය සහ විනය ගරුකත්වය ඒ අධ්‍යාපනයෙන් බැහැර වී ගොස් ඇති බව පෙනෙනවා.


ඒ ශිෂ්‍යයාට ලැබුණ දඬුවම කුමක් ද ?


ඔහුගේ ශිෂ්‍ය භාවය අහෝසි කළා. එය දඩමීමා කරන්ගෙන අනෙක් ශිෂ්‍යයෝ සියලු දෙනාමත් විභාගය පවා වර්ජනය කරමින් බිම වාඩි වී සිටියා. ඒ අවස්ථාවේදී විශ්වවිද්‍යාලය වසාදමුවා. සිදු වීමට සම්බන්ධ ප්‍රධාන පිරිස හඳුනාගෙන ඔවුන්ගේ පන්ති තහනම් කළා. ජීවිතාන්තය දක්වා ම නො වෙයි. වසර කීපයකට පන්ති තහනම් කළා. විවිධ විනය විරෝධී ක්‍රියා නිසා පන්ති තහනමට ලක්වුණු විශාල පිරිසක් මෙහි ඉන්නවා. එහිදී ඔවුන්ට නිවෙස්වලට යන්නත් බැහැ නේවාසිකාගාරයේ ඉන්නත් බැහැ මේ කම්බි වැටෙන් ඇතුළට එන්නත් බැහැ; මහපොළත් නැහැ. ඉතා අසරණ වෙනවා. ඊට පසුව නම් බොහොම කීකරුව හැසිරෙනවා. ඒක තමයි එක ම දඬුවම.


පසුගිය සතියක මෙහි පීඨ දෙකක් අතර විශාල ගැටුමක් ඇති වුණා?


පසුගිය සතියක විද්‍යා පීඨයත් ශාස්ත්‍ර පීඨයත් අතරේ පුංචි කරුණකට විශාල ගැටුමක් ඇති වුණා. ශිෂ්‍යාවක් ඇඳුමක් ඇඳගෙන ගිය ආකාරය කොයි තරම් දුරදිග ගියා ද? හරි ම අමානුෂික විදිහට රීඩ් මාවත දෙපැත්තට වෙලා බෝතල්වලින් ගහගත්තා. පාර  පිරෙන්න බෝතල් කටු. රීඩ් මාවතේ ගමන්ගත් වාහනවලට එදා විශාල වශයෙන් අලාභහානි සිදු වුණා. නමුත් ඔවුන් ඒ කිසිවක් කල්පනා කළේ නැහැ. තමාගේ අම්මා, තාත්තා වුණත් මරල දාන්න සූදානම් තත්වයට යෞනනත්වයේ ආවේග ඉහළට පැමිණ තියෙනවා.අතීතයේදීත් මෙවැනි ආවේගශීලී පරම්පරාවල් නොසිටියා නො වේ. නමුත් ඔවුන් මෙතරම් ම අමානුෂික වුණේ නැහැ. ඔවුන්ට ශික්ෂණයක් තිබුණා; විනයක් තිබුණා. යම්කිසි ගැටලුවක් පැනනැගුණ විටකදී එය ඉතා සන්සුන්ව විසඳාගන්නේ කෙසේ ද කියා ඔවුන්ට හොඳ අවබෝධයක් තිබුණා. නමුත් වර්තමානයේදී

මේ ගොඩනැගිලි අතර මා දකින්නේ පිරිහුණු, ගරා වැටුණු යෞවන ප්‍රජාවක්. විශේෂයෙන් පසුගිය දිනවලදී අපි දුටුවා සුපර් ස්ටර් වැඩසටහන. 'සුපර් ස්ටාර්' කියන්නේ විශ්වවිද්‍යාලයක හතර මායිමකට ගෙන්වා නොගත යුතු ජනප්‍රිය සංස්කෘතියේ අංග. ඒවා ජනප්‍රිය සංස්කෘතියට හොඳ වෙන්න පුළුවන්. නමුත් මේ බුද්ධිමතුන්ගේ දෙවොලක්. මෙහි ශාස්ත්‍රවන්තයො ඉන්නේ. මෙහි ඉන්නට ඕනෑ අමරදේවලා, වික්ටර් රත්නායකලා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට උසස් රසවින්දන ශක්තියක් තිබෙන්නට ඕනෑ. ඔවුන්ගේ රස වින්දන ශක්තිය බාල බොළඳ වන්නට බැහැ. මොක ද, මෙතනට එන්නේ බුද්ධිමතෙක්. සුපර් ස්ටාර් සංගීත රැල්ල පළමුවෙන් ම ගෙනාවේ කොළඹ විශ්වවිද්‍යාලටයි. ඒ විතරක් නොවෙයි, අර ඈත දුෂ්කර නොදියුණු ගමක ගැහැනු ළමයෙක්වත් නොහැසිරෙන ආකාරයට මේ වැඩසටහනේදී අපේ ශිෂ්‍යාවෝ හැසිරුණා. තොප්පිය ගලවන්න, ඇඳුම් ලිහාගන්න තරම් පහත් තත්වයට පත් වුණා.


විශ්වවිද්‍යාලය කියන්නේ සමාජයේ ම කොටසක්. සමාජයේ රස වින්දන ශක්තිය පිරිහීම විශ්වවිද්‍යාලයටත් බලපානවා. සමාජ රසවින්දන මට්ටම ඉහළ නංවන්න අධ්‍යාපනයේ දායකත්වය කෙසේ විය යුතු ද?


 මේ හැම සිදුවීමකින් ම පෙනෙන්නේ පාසල් පද්ධතියෙන් එන යහපත් වූ වින්දනය, රසඥතාව, ගුණගරුක බව, මානව දයාව මේ සියල්ල ම අද වන විටදී ගිලිහී ගොස් තිබීම යි. මේ නිසා ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය අද දවසේ මුහුණ පා තිබෙන්නේ ඉතා ම ඛේදවාචක තත්වයකටයි. මේ සඳහා වගකිව යුත්තේ දැනට වසර තිහකට පමණ ආසන්න කාලයක් තුළදී තීන්දු තීරණ ගත් අපේ අධ්‍යාපනඥයෝ යි. එයට හොඳ ම නිදර්ශනයක් මම කියන්නම්. අපේ රටේ පාසල් ශිෂ්‍යයන්ට හදාරන්නට හොඳ ම පොත් පෙළක් තිබෙනවා. ඒ තමයි ගණදෙවි හෑල්ල, වදන්කවි පොත, සුභාෂිතය, සිරිත්මල්දම, ලෝකෝපකාරය, ලෝවැඩ සගරාව. මේ අගනා ග්‍රන්ථ සමූහය අපේ පාසල් විෂය මාලාවෙන් බැහැර කරලා. එහෙම වුණාම ශිෂ්‍යයන්ගේ පොත් බෑග්වලට දැලිපිහි වැටෙන එක පුදුමයක් නෙමෙයි. මහාචාර්ය ඒ. වී. සුරවීර මහතා විසින් ලියන ලද උසස් පෙළට නිර්දේශිත කෙටි කතාවක් තියෙනවා. "අකුරට යන වෙලාවේ” කියලා. මෙහි සඳහන් වන නාගරික මධ්‍යම පන්ති පවුලකට ගමකින් මෙහෙකාරියක් එනවා. ඇය පාසල් දැරියක්. නම සුභදා. නමුත් නගරයට මෙහෙකාරකමට පැමිණි පසු ඇයට නම තියන්නේ 'මැණිකා' කියලා. ඒ මධ්‍යම පන්තිකයන්ගේ දරුවන්ගේ නම දුලානි සහ වජිරා. ඒ දෙන්නා නොදන්නා සුභාෂිතයේ ලෝස්කෝපකාරයේ කවි ගාථා මේ මැණිකා ගායනා කරනවා. එහෙම නම් ඇයට ඒවා කොහෙන් ද උරුම වුණේ? අපේ ග්‍රාමීය සංස්කෘතියෙන් ලැබූ අධ්‍යාපනය.


පාසල පිරිහීම සමාජ පිරිහීමට බලපානවා නම් එය නිවැරදි කරන්න පන්සලට වගකීමක් තියෙනවා නේද?


පුද්ගලයෙකුගේ අභිවෘද්ධියට බලපාන කරුණු හතරක් තියෙනවා. ඒ තමයි නිවෙස, පාසල, ආගම සහ ජනමාධ්‍ය. මෑතකාලයේ මේ ස්ථාන හතර ම පිරිහී ගියා; කඩාවැටුණා. ප්‍රථමයෙන් ම අපි පන්සල ගැන කතා කරමු. අද පන්සලට දරුවන් යොමු කරන්නේ දහම් පාසල් යැවීම සඳහා පමණ යි. මේ දහම්  පාසලත් අද වන විට තවත් පාසලක් බවට පත් වී තිබෙනවා. එය ඇත්තෙන් ම ඛේදවාචකයක්. දහම් පාසල් විෂය මාලාව පාසලේ විෂය මාලාව හා සමගාමියි. ඒ කියන්නේ බුදුදහම පිළිබඳ දාර්ශනික දැනුමක් ලබාදීම පමණයි අද දවසේ දහම් පාසලෙන් සිදු වන්නේ. නමුත් වර්තමානයේ ගෝලීය කරණය ඔස්සේ රට හරහා හමාගෙන එන මේ කුණු කන්දල් ආපසු හරවා යවන්න නම් විශාල ශක්තියක් දහම් පාසල තුළින් ගොඩනැගිය යුතුයි. අපේ උරුමය සාරධර්ම අතීත වටිනාකම් පිළිබඳ දරුවකුට සම්ප්‍රේෂණය කළ හැකි හොඳ ම ස්ථානය දහම් පාසල යි.නමුත් මවුපියන් පන්සලෙන් බලාපොරොත්තු වන්නේ ඒවා නො වෙයි. ඔවුන්ට අවශ්‍ය පොතේ පාඩම් නිවැරදිව හදාරලා, විභාගයේදී ලකුණු සියයෙන් සියයක් අරගෙන, තෑගි බෝග ගොඩකුත් කරගහගෙන එන දරුවෙක්. අපි භික්ෂූන් වහන්සේ වශයෙන් සාරධර්ම උගන්වන්න උත්සාහ කරනවා. නමුත් ඇතැම් මවුපියන් ඒවාට කැමැති නැහැ. ඒ දහම් පාසලේ පොත උගන්වන්නේ නැහැ කියලා ළමයව අස් කරගෙන වෙනත් දහම් පාසලකට ඇතුළත් කරනවා. දහම් පාසල් පොතෙන් නම් කිසි ම මෙහෙවරක් වෙන්නේ නැහැ. ඒ නිසා දහම් පාසල තවත් පාසලක් බවට පත් වීම මෑත යුගයේ මේ ඛේදවාචකයට එක්තරා දුරට හේතු වෙලා තියෙනවා. නමුත් කිසි විටෙකත් මම දහම් පාසලෙන් කෙරෙන කාර්යභාරය අවතක්සේරු කරන්නේ නැහැ. දහම් පාසල් ටික නොතිබුණා නම් මීටත් වඩා ඉතා ම බිහිසුණු දරුවන් පිරිසක් තමයි අපට මුණගැසෙන්නේ.

නිවෙස සම්බන්ධයෙන් ගත්තොත් දැනට වසර තිහකට පමණ ඉහතදී අපට තිබුණේ හොඳ මානව සම්බන්ධතා තිබුණු නිවෙසක්. මව සහ පියා අතර සම්බන්ධතාව සිඟාලෝවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට ම ගෞරවනීය ලෙස පැවතුණා. ගොවිතැනට නැති නම් රැකියාවට ගොස් එන මවුපියන් පාසල් ගොස් එන දරුවන් සමග ඊට මුළුතැන්ගෙයිදී හමු වී එකට කතා බස් කළා. මේ නිසා එදා මුළුතැන්ගෙය නිවෙසේ සියලු දේ සාකච්ඡා වෙන ක්ෂේම භූමියක් වුණා. අද මාධ්‍ය විසින් සම්පූර්ණයෙන් ම අර මානව සම්බන්ධතා දුරස්ථ කරලා. දැන් මවුපියන් දරුවන් ඇතුළු සියලුදෙනා ම එකට හිඳගෙන ආහාර ගන්නවා. නමුත් එකිනෙකා අතර අදහස් හුවමාරු වෙන්නේ නැහැ. ඔවුන් කතාකරන්නේ දකින ටෙලිනාට්‍ය ගැන යි. ඒවාත් දේශීය නො වෙයි. හින්දි සිනමාවේ ඉතා ම ජරාජීර්ණ වූ, මනුෂ්‍ය ජීවිතයට කිසි සේත් නොගැළපෙන, වෛරය ක්‍රෝධය රැගෙන එන ටෙලිනාට්‍ය යි.


නිවෙසේ තත්ත්වය එහෙම වුණත්, අපේ ආරාම සංස්කෘතිය තුළ තවමත් අපේ පැරැණි ශික්ෂණය ආරක්ෂා වී තිබෙනවා නේද?


පන්සලේ ලොකු හාමුදුරුවෝ ගෝල බාලයන් සමග සෑම දිනක ම සවසට වත පිරිතට සහභාගී වෙනවා. වත පිරිත අවසානයේ ශිෂ්‍ය භික්ෂූන් තමන්ගේ ගුරු හාමුදුරුවන්ට වැඳ නමස්කාර කරලා ඒ දවසේ වරදක් සිදු වුණා නම් සමාව අයැදිනවා.  ඒ නිසා තමයි ආරාම සංස්කෘතිය තුළ යම්තාක් දුරට හෝ ශික්ෂණය ආරක්ෂ වී තිබෙන්නේ, ඒවාත් බිඳවැටෙන අවස්ථා තියෙනවා; නැත්තේ නැහැ. මේ ක්‍රමය නිවෙසටත් ගැළපෙනවා. කුමාරතුංග මුනිදාස පඬිතුමා පියසමර පොතේ කියනවා 'තමන් මේ වගේ දාර්ශනිකයෙක් වුණේ පාසලකින් නො වෙයි, හොඳ ගෙදරක් නිසා කියලා. ඒ ගෙදර හොඳ තාත්තා කෙනෙක් හිටියා. මේ තාත්තා දිනපතා ම හවසට පුතාගේ අත අල්ලගෙන මිදුලේ ඇවිදිමින් ඉර හඳ තරු ගැන, ජාතික වීරයෝ ගැන කතාන්දර කියලා දුන්නා. ඒවා අහගෙන ඉඳලා මේ පුතාට ලොකු කුතුහලයක් ඇති වුණා වැඩිදුර කරුණු හොයන්න. ඒ අනුව තමයි පුස්තකාලවලට ගිහිල්ලා පොත් කියවන්න පුරුදු වුණේ. බලන්න පඩිවරයෙක් බිහි වෙන්නේ හොඳ තාත්තා කෙනෙකුගේ පසුබිමෙන්. ඒ වගේ ම දැළි පිහි ගෙනෙන ත්‍රස්තවාදියො බිහිවෙන්නෙත් ඒ තාත්තලාගේ පසුබිමෙන් ම යි. ඒ අනුව අපට පෙනෙනවා ගෙදර පරිසරය පිරිහිලා. අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ බිඳවැටීමක් තියෙනවා. එදා හිටිය උත්තම ගුරුවරු අද අපට අහිමි වී තිබෙනවා. ගුරුවරයා විෂය පමණක් උගන්වන කෙනෙක් බවට පත් වී තිබෙනවා. විශ්වවිද්‍යාලයෙන් සිංහල ඉගෙනගත් ශිෂ්‍යයාට ගුරුවරයකු වී පාසලට ගිය අවස්ථාවේදී උගන්වන්නට කියන්නේ දෙමළ නමුත් ඔහු විශ්වවිද්‍යාලයෙන් පිට වුණේ සිංහල පිළිබඳ විශේෂඥතාවක් අරගෙනයි.

ඒ පුද්ගලයාට ගුරුපත් වීමක් ලැබුණු පසු දෙමළ උගන්වන්න කියනවා නම් ගුරුවරයාත් ඉවරයි, ශිෂ්‍යයාත් ඉවරයි. ගුරුවරයා දන්නෙත් නැහැ මොනවද උගන්වන්නේ කියලා! ශිෂ්‍යයාට තේරෙන්නේ නැහැ ගුරුවරයා මේ මොනවාද උගන්වන්නේ කියලා! මේ නිසා ගුරුවරයා හා ශිෂ්‍යයා අතර සම්බන්ධතාව බිඳවැටිලා. පාසල් වේලාවෙන් පසුව ටියුෂන් ගුරුවරයෙක් සොයාගෙන යන්න වෙන්නේ මේ නිසා තමයි.  හොඳ ටියුෂන් ගුරුවරුන් ඉන්නවා. ඒත් වැඩි පිරිසක් කරන්නේ සාක්කු පුරවාගැනීමේ ජාවාරමක්. විශේෂයෙන් ම මේ කොළඹ නගරයේ ඉන්නවා මහා ටියුෂන් මුදලාලිලා. ඒ අය බොහෝ විට උසස් පෙළ ළමයින්ට සිංහල උගන්වන්නේ. හැබැයි ඔළුව  ඔක්කොම හෝදනවා. ඉහතින් සඳහන් කළ මේ පිරිහුණු සංස්කෘතික භාෂා ගුරුවරුන්ගෙන් භාෂාව සහ සංස්කෘතිය ඉගෙනගෙන එන පිරිස තමයි විශ්වවිද්‍යාලය තුළ නරුමයෝ බවට පත් වෙන්නේ. ඒ පිරිසයි දැළි පිහි අරක්ගෙන එන්නේ, සුපර් ස්ටර් වගේ ජන ප්‍රිය සංස්කෘතිය මේ විශ්වවිද්‍යාලය තුළ ජනප්‍රිය කිරීමට උත්සාහ කරන්නේ. ඔවුන් කවරදාක වත් අමරදේවයන්ගේ වික්ටර් රත්නායකගේ ප්‍රසංගයක් නරඹන්න එන්නේ නැහැ.


මෙවන් පසුබිමක ජනමාධ්‍යයේ කාර්ය භාරය කුමක් විය යුතු ද?


එදා අපට තිබුණේ ගුවන් විදුලිය පමණ යි. ඊළඟට සිළුමිණ පත්තරය සහ දිනමිණ පත්තරය. භාෂාව ඉගෙනගන්න නම් සිළුමිණේ කතුවැකිය කියවන්න කියලා අපේ සංකල්පයක් තිබුණ. නැති නම් ගුවන් විදුලියේ ප්‍රවෘත්ති ශ්‍රවණය කළ යුතු යි. ඒ කාලයේ ගුවන් විදුලියට සවන් දෙන කෙනෙකුට ජී. ඩග්ලිව්. අදිකාරම්, මහාචාර්ය ගුණපාල මලලසේකර, මාර්ටින් වික්‍රමසිංහ, නාරද හාමුදුරුවෝ වැනි අයගේ දේශන ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබුණා. ඒ දේශනා ශ්‍රවණය කිරීමේදී දැනෙන්නේ විශ්වවිද්‍යාලයකට තක්සලාවකට ඇතුළු වුණා වගේ හැඟීමක්; ගෙදර සිට ම දැනුමෙන් පෝෂණය වීමට අවස්ථාව ලැබුණා. මම හැම විට ම කියන්නේ මාධ්‍යයට සීමාවක් තිබිය යුතු යි. අදටත් හෙටටත් අපේ රටේ යම් සංස්කෘතියක් ගොඩනගන්නට අවශ්‍ය නම් ජනමාධ්‍යයට වබූරු නිදහසක් දීල වැඩ කරන්නට දීම සුදුසු නැහැ.


පසුගියදා බෞද්ධ ගුවන්විදුලි සේවාවක් ආරම්භ කළා. ආගමකට ම වෙන් වූ මාධ්‍ය මගින් රටකට ඉටු කළ හැකි මෙහෙවර ඔබ වහන්සේ දකින්නේ කොහොම ද?


ජනමාධ්‍ය පත් වී ඇති මේ අගාධයෙන් ගොඩ ඒම සඳහා අද විකල්ප මතු වෙමින් පවතිනවා. බෞද්ධ රූපවාහිනී, බෞද්ධ ගුවන්විදුලි දැන් ආරම්භ කර තිබීම ඇත්තෙන් ම සතුටට කරුණක්. මම බොහෝ ප්‍රශංසා කරනවා ඉනාමළුවේ සුමංගල හිමියන්ට "රන්ගිරි ශ්‍රී ලංකා” ගුවන් විදුලි සේවාව ආරම්භ කිරිම පිළිබඳව.


විශ්වවිද්‍යාලයේ නවක වදය පිළිබඳවත් සමාජයේ විවිධ විවේචන තියෙනවා. මේ නවක වදය විශ්වවිද්‍යාලයකට අවශ්‍යද?


මම කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ 1985දී. ඒ නවක වදය ඉතා ම ඉහළින් පැවතුණ වකවානුවක්. මම දැක්කේ ඉතාම සුන්දර නවක වදයක්. අපේ ශිෂ්‍ය කේන්ද්‍රස්ථානය දවල්ට එක ම සාජ්ජයක්. ඒ එක්ක ම හිටි ගමන් ම මේ අය විශ්වවිද්‍යාලය වටේට ලස්සන පෙරහර යනවා. අමානුෂික තත්වයක් කොළඹ විශ්වවිද්‍යාලය තුළ මම එදා දුටුවේ නැහැ. ඒත් කලාතුරකින් ඔළුව නරක් වුණු පිඤ්ඤා හිටියා. මානසික ලෙඩු හැමදාම ඉන්නවා ශිෂ්‍යවන් ලවා අසභ්‍ය වදන් කියවීමෙන් සහ ශිෂ්‍යාවන්ට යම් යම් කරන්නට බැරි දේවල් කරන්නට කීමෙන් විනෝදයට පත්වෙන ලෙඩ්ඩු සෑම වසරකදී ම හිටියා. ඔවුන්ගෙන් තමයි හානියක් සිදු වුණේ 'නවක වදය' ඇත්තට ම අවශ්‍ය නැහැ. නවකයන් අලුත් සංස්කෘතියකට හුරු කරන වැඩසටහනක් නම් අවශ්‍ය යි. කොළඹ විශ්වවිද්‍යාලය තමයි ප්‍රථම වරට නවක වදය සම්පූර්ණයෙන් ම නැති කළේ. ඒ පිළිබඳ අපි අපේ ශිෂ්‍යයන්ට අතිශයින් ප්‍රණාමය දැක්විය යුතුයි. මේ ශාස්ත්‍ර පීඨයේ නවක වදයක්  නැහැ. සමහර පීඨවල ඉතා ම ස්වල්පයක් ඉතිරි වී තිබෙනවා.


විශ්වවිද්‍යාලය තුළ නවක වදය දීමේදී මෙන් ම අරගලවලදී භික්ෂූන් වහන්සේ පෙරමුණේ සිටිනවා අප දැක තිබෙනවා?


හොඳ ප්‍රශ්නයක්. භික්ෂූන් වහන්සේලා නවක වදයේ ඉන්නවා කියන චෝදනාව නම් මම මුළුමනින් ම ප්‍රතික්ෂේප කරනවා. එහෙත් අරගලවලදී හාමුදුරුවරු පෙරමුණේ ඉන්නවා. විශ්වවිද්‍යාලයීය ප්‍රශ්නයකදී හාමුදුරුවරු ඉදිරියට දැමීමෙන් සහනයක් සලසාගැනීම පහසුයි කියලා ගිහි ශිෂ්‍යයෝ කල්පනා කරනවා. ඒක ඔවුන් උපක්‍රමශීලීව කරන යොදාගැනීමක්. අරගලවලදී අපිත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ලෙස පාරවල්වල ඉදිරියෙන් ම වාඩිවෙලා හිටියා. පොලීසිය පැමිණියොත් පළමුවෙන් ම පහර දෙන්නේ හාමුදුරුවන්ට. ඒත් සමස්ත භික්ෂු පරපුර ම නිවැරදි කිරිමට මා උත්සාහ ගන්නේ නැහැ. මම ඇතැම් අවස්ථාවලදී දැකල තිබෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ බංකුවල ශිෂ්‍යාවන් සමග තනිව ම වාඩි වී සිටින භික්ෂූන්. හරි ම අප්‍රසන්න දර්ශනයක් ලෙසයි මම එය දකින්නේ.හැකි සෑම අවස්ථාවකදී ම මම නවක භික්ෂූන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම් කරනවා.එහෙත් ඇතැමෙක් ඒ අවවාද නොතකා, ශික්ෂණයක් නැති ව හැසිරිම නිසා භික්ෂු සමාජය ම දෝෂාරෝපණයට ලක් වෙනවා.