gossiplanka image 1
 


 දෙයියන්නෙවෙල


 ඔය අපේ රාජාධිරාජසිංහ මහරජතුමා රජකම් කළ කාලේ තමයි, මේ ගමට නම පට බැඳුණේ. රාජාධිරාසිංහ රජතුමාට ගම් දනවල මිනිසුන් කියා හිටියේ රාසිංහ දෙයියෝ කියලා - ඒකට හේතුවක් තිබ්බා. මොකද රාසිං දෙයියෝ කොයි මොහොතේ කොතනින් මතු වෙනවාද දන්නෑ. මිනිසුන්ගේ ආරවුල් - දුක් කරදර තියෙන තැන් කොතැන ද ඒ තැන්වල රාසිං දෙයියෝ උන්නා. දුක සැප විමසලා බැලුවා. ඕ ඔය කාලේ හරි අපූරු වැඩක් වුණා. රාජාධිරාජසිංහ රජතුමා එක්තරා වෙලක් දිගේ ඇවිදගෙන ආවා. ඒ වෙලේ පැසුණු ගොයම් බලන්ටයි. රජතුමා බොහෝ සතුටින් කෙත් යාය බල බලා යන කොට එක වංගියේ රූමත් ගැමිලියක් හදි ගැහුණා. ඒ රූමතියත් ඇහැට ඇහැ මුණ ගැහෙන කම් දැක්කේ නෑ. රාසිං දෙයියෝ කෙතේ ඉන්නවා කියලා. රජතුමා විත්තිය අඳුන ගත්ත ගමන් රූමතිය පැනලා දුවන්ට ගත්තා. එවිට රජතුමා කවියක් කිව්වා. ඒ කවිය අහගෙන හිටිය රූමතිය ඊට පිළිතුරු කවියක් කිව්වා. රජු එයින් සතුටට පත්වෙලා ඒ කෙත් යාය අර රූමතියට තෑගි කළා. රාසිං දෙයියෝ දුන්න වෙල කියලයි ඒ කෙත පුරසිද්ධ වුණේ. ඔං ඊට පස්සෙන් පහු මේ කෙතට කියන්ට වුණේ දෙයියන්නේ වෙල කියලයි. දෙයියන්ගේවෙල අදත් ඒ නමින් තියෙනවා.


හුරීකඩුව


ඒ කාලේ ඈ - රටේ රජකම් කළේ අපේ නරේන්ද්‍රසිංහ රාජෝත්තමයා. කිව්වහම ආයේ ඇස්වහක් නෑ මේ නරේන්ද්‍රසිංහ රජතුමා හැම නිතරම මිනිසුන්ට ළැදියි. මිනිසුන්ගේ දුක හොයලා බලනවා. ඒ කාලේ වෙස්වළාගෙන රෑ පුරා ම ගම් දනව් සැරිසරනවා. ඒකෙන් ඇත්ත යුත්ත හරියාකාරව විමසා බලන්ට හැකි වුණා. ඔහොම දනව් සැරිසරද්දි, එක දොහක දුර ගමක දී රෑ බෝ වුණා. ඉතිං හෙනම් - අපේ නරේන්ද්‍රසිංහ රජතුමා ඉඳුම් ඉල්ලා ගත්තා එක ගෙදරකින්. ඒ ගෙදර උන්නේ නම් දරාපු වඩුවෙක්. වඩුවා දන්නෑ මේ ඇත්තට ම රජතුමා කියලා. පිට මිනිහෙක් ඇවිත් ඉඳුම් හිටුම් ඉල්ලුවා දුන්නා. රජතුමා රෑ බත සප්පායම් වෙලා පාඩුවේ නිදාගන්ට වැටුණා.


හැබැයි අර වඩුවාට නින්දක් නෑ. ඒ රජතුමාගේ කඩුව දැකලා ලෝභ හිතුණා. මේක නම් මහ ජාති කඩුවක් කියලා. වඩුවා මේ පැමිණි මගියා නිදිගත් වෙලේ කඩුවක් ලීයෙන් හදලා ඒක දීලා ඇත්ත කඩුව මාරු කළා. ඒ බවක් දන්නැතිව රජතුමා ඇත්ත කඩුව කියලා අර හදා දුන් කඩුව ඇන්න උදේ රැයින් ගමන් කරන්ට ගත්තා. අතර මගදී කඩුව බිමට ඇන්නා. දෑත් දෙපා හෝදාගන්ට. මොන එතකොට කඩුව කැඩුණා. බැලින්නම් කඩුව හදලා තිබ්බේ හුරි ලීයෙන්. තොපේ හරි කඩුව මට එපා තොපිම ගනිල්ලා කියලා රජතුමා උදහස් වුණා.එදා හිටං ඒ හුරී කඩුව බිම ඇණපු පළාත හුරීකඩුව වුණා කියලයි කියන්නේ.


කෙළිමුණේ


මේ කිව්වහම ආයේ කෙළිමුණේ ගම් පළාත තියෙන්නේ ඔය කුරුණෑගල ඉඳලා වාරියපොළ ඉසව්වට යද්දි නොවැ. අද මේ පළාතට කෙළිමුණේ කිව්වාට ඒ කාලේ එහෙව් නමක් නෑ. වැඩේ හැටි කියන්නේ මං එක්තරා රජ කෙනෙක් යුද්ධ කරන්ට ගත්තා. ඒ පරසතුරු රජෙක් එළවා දමන්ට. මේ දෙගොල්ලොම එකිනෙකට - බලවත් - ඒ හින්දා ම සටන අත්හැර දාන්ට බැලුවා. හැබැයි ඒ බව කියා හිටියේ නෑ. දැන් බළකඳවුරු බැඳගෙන යුද්දෙට සූදානම් වුණා. හේවිසි හඬ ඇහෙනවා - ඔහොම දවස් කීපයක් කල් මැරුවා. අන්තිමට සටනට එළඹෙන්නට දෙපාර්ශවය ම තීන්දු කළා. ඒ වගේමයි. සටන ඇවිලිලා යන්නේ මේ අපේ ම සිංහල මිනිස්සු අතරේ. ඒකයි කල් බැලුවේ සටන නොකෙරෙන තැනට. ඒ වුණාට දෙපාර්ශ්වය ම පොර කුකුළන් මාගේ කල් බල බලා ඉඳලා ඕ සටන ඇවිළුණා. මේ යුද කෙළියට මුණ ගැසුණ තැනට දෙපාර්ශ්වය ම එද්දි මහා හඩින් කියා හිටියා. ඕං කෙළියට මුණ ගැහුණා කියලා. කිව්වත් වගේ එදා හිටං ඒ පළාතට කියන්ට ගත්තා කෙළියට මුණ ගැහුණු හන්දා " කෙළිමුණේ" කියලා.



හුළන්දාව


අපේ ගම්වල ඇත්තෝ හරි හරි ජාති තරග පවත්වනවා. මේ අපි කවුරුත් දන්න හුළන්දාව නම හැදුණෙත් ඔය ගංඔල තිබ්බ තරගයක් හින්ද යි. කාරණේ මෙහෙමයි. ඒ ගමේ තිබ්බා තරගයක්. තරගය තමයි දිග ම දිග සහ සද්ධන්ත හුළක් හෙවත් ගිනි හුළක් බැඳලා ඒක ගිනි දල්වා පෙන්වන එක. මේ තරගය බැලු බැලූ කාටත් ලේසියි නේ. ඒ හින්දා මහ සෙනග කන්දරාවක් ආවා තරගය බලන්නත්. ඇතැම් හුළක් මහ දිග යි. - තව එකක් අතු තියෙනවා. හරි හරි ජාති. ඔය තරගයට එක ගමක ඉලන්දාරියෙක් මහා අමුතු පන්නේ ගිනි හුළක් අරගෙන ආවා. ඒ ගිනි හුළේ හැටියට ඒක එක පිරිමියෙකුට කර තියාගෙන එන්ට බෑ. බිම දිගේ ඇදගෙන ආපු නිසා ඒ ගමේ ඇත්තන් ඊට කිව්වේ හුළු ඇද්දාව කියලා. හුළුඇද්දාව කියන නම බැහැර වුණේ ඊට වෙනස්ව යි. ඒ අනුව හුළු ඇද්දාව - හුළන්දාව බවට පත්වුණා කියලා ජන වහරේ කියවෙන්නේ.


හැටන්


සුද්දෝ ඇවිත් කන්ද උඩරට තේ වතු වගා කරන්ට ගත්ත කාලේ තමයි - මේ ගමට නම පට බැඳුණා කියන්නේ. කතාවේ හැටියට නම්, සිද්ධිය මෙහෙමයි. මේ කියන ඒ වතු පාලක සුද්දා හරි ම තද ගණන්කාරයා. කිව්වොත් කිවා. ආයේ ඊස් මීස් බෑ  නීති තදයි. ඒ නිසා ම වතු පාලක සුද්දාගේ සුදු පාට තොප්පිය ඈතින් ගස් අතරින් මතුවෙද්දී වතු කම්කරුවෝ ජයට වැඩ පටන් ගන්නවා. ටික කාලයක් යද්දින් සුද්දාට තේරුම් ගියා කඳු පහළ වැඩ කරන කුලී කම්කරුවන් තොප්පියට මොනතරම් බය ද කියලා. ගිං ඒ හන්දා සුදා හරි වැඩක් කළා.කඳු මුදුනේ තියෙන බංගලාව අද්දර තියෙන පඳුරක් උඩින් සුද්දා ගේ තොප්පිය පේන හැටියට රිටක හිටෙව්වා.


බලමුකෝ පහළ ඉන්න කම්කරුවන්ට පෙනෙන්නේ හරියට සුද්ද බලාගෙන ඉන්නවා කියලා. හැබැයි සුද්දාට වඩා කුලීකාරයන්ට තේරුණා මේක උප්පරවැට්ටියක් කියලා. දවසක් වෙර වීරිය ඇන්න කම්කරුවෙක් බඩ ගෑවා මේ තොප්පියේ රහස බලන්ට කන්ද උඩට. ගිහින් බලද්දී තොප්පිය තිබේ උඩ - ඒ හින්දා ඒ කම්කරුවා මහා හයියෙන් බෙරිහන් දුන්නා. සුද්දා නෑ - තොප්පිය තියෙන්නේ උඩ කියලා- තොප්පිය උඩ කියන එක කිවේ ඉංග්‍රීසියෙන්. හැට් - ඕන් - හැට් ඕන් කියලා. ඊට පස්සේ ඒ පළාත කරුත් හැඳින් වූයේ හැට් ඕන් කියන එකෙන් හැටොන් කියලයි. දැන් නම් ඒකට "හැටන්" කියලා කියන්නේ.