
දෙවොල් දෙවියන් දකුණු පළාතේ ප්‍රචලිතය. එම දෙවියන් ප්‍රධාන දෙවොල් සත් කට්ටුවක් වේ. ප්‍රධාන දෙවොල් දෙවියන් දෙවොල් සාමීය. අවශේෂ සයදෙනා නම්, ඉරුරැස් සාමී, සඳරැස් සාමී, ගිනිරැස් සාමී, අනුහස් සාමී, මහා සාමී, කුඩා සාමීය.මොවුන්ගේ ජන්ම භූමිය ඉන්දියාවේ 'කර්ණාටක ප්‍රාන්තයේ ‘ස්වර්ණ කුදුප්පර නුවරය. සත් කට්ටුවේ ප්‍රධානියා ‘නීලමාලී නම් සෙන්පතියෙකි. මොහු ඉතා දක්ෂ රණශුරයකු මෙන්ම නාවිකයෙකි. මොහු එම නුවර රජ කළ රාමසිංහ රජුට එරෙහිව කැරලි ගැසූ නිසා දෙවොල් සාමී ප්රමුඛ පිරිවර සෙන්පතියන් නැවක නංවා පිටුවහල් කරනු ලැබීය. මොවුන් සත් දෙනා නැව් සතක නැගී මුහුදේ එන අතර කුණාටුවකට හසු විය. කුණාටුවට හසුව නැව් සියල්ලම විනාශව ගියේය. පහුරුවල ආධාරයෙන් ලංකාවට ගොඩ බැසීමට යාපාපටුන, ලනුමෝදර, ඊරගල ගංතොට, බෙල්ලන් මෝදර, සෙල්ලන්දුව, ගෝනගමුව, හම්බන්තොට යන තොටමුණුවලින් සූදානම් වූහ. එවිට ස්වදේශරක්ෂකයින් එයට ඉඩ නොදුන්හ.
පසුව සීනිගම තොටට පැමිණි මොවුන් එතැනින් ලංකාවට ඇතුළු වීමට සූදානම් වූහ. එවිට පත්තිනි දේවිය ගිනි කඳු හතක් මවා ගමනට බාධා කළාය. එම ගිනි කඳු හතම හිම කඳු මෙන් සිසිල් කරමින් පත්තිනි දේවියගෙන් වරම් ලබා මෙරටට ගොඩ බැස්සහ. මේ බව දෙවොල් දෙවියන්ට කරන කන්නලව්වේ මෙසේ දැක්වේ. සීනිගම තොටට ගොඩ බැසීමට එන වේලාවේ සිද්ධ පත්තිනි දිව්‍යාංගනාවුන් වහන්සේ ගිනි කදු හතක් මවා පා මග අවහිර කළ කල්හි ඒ ගිනි කඳු හිම කඳු මෙන් සිසිල් කොට මෙම රටට ගොඩ බැස පත්තිනි දිව්‍යාංගනාවුන් වහන්සේ කමා කරගෙන සැරයටි බිම සිටුවා දළු ගන්වා වැලි සහල් කර, කරදිය මිරිදිය කර හාස්කම් පෙන්නා පත්තිනි දිව්‍යාංගනාවුන් වහන්සේගෙන් දෙවොල් නාමය ලබාගෙන සීනිගම වේරගොඩ දෙවොල්වල වැඩ සිටීමට අවසර
ගත්තා සත්‍යවාදී සැබෑ වී නම්....."
මෙසේ බාධා මැඩගෙන දිවයිනට ඇතුළු වූ දෙවොල් දෙවියෝ සීනිගම දෙවොලක් තනා කෙසෙල් ගස් හතක් කපා ගඟට දැමූ පසු දින හතකින් පසුව එම කෙසෙල් ගස් මතුව ආයේය. මෙම හාස්කම නිසා දෙවොල් දෙවියන් කෙසෙල්ගමු දෙවියන් ලෙස ද සැලකේ. එම ප්‍රදේශය එතැනින් පසු කෙසෙල්ගමුව ලෙසින් ව්‍යවහාර වූයේලු. එසේම පත්තිනි දෙවියන්ගෙන් වරම් ලබා දෙවොල් දෙවියන් ගිනි මත ඇවිදිමින් සුව කළ නොහැකි රෝග සුව කළ බව ද කියවේ. එසේම 'කුනරපුර රාමසිංහ රජුගේ බිසෝවරු සත් දෙනා දින හතක් තුළ ලැබූ දරුවන් සත් දෙනා තරුණ වියට පත් වූ පසු රටෙන් පිටුවහල් කළේය. පසුව යාත්‍රා මගින් මෙරටට පැමිණ මුලින්ම පානදුරට ද පසුව බේරුවලට ද ගොස් පදිංචි වූහ. කතරගම දෙවියන්ගෙන් වරම් ලබා දෙවොල් දෙවි අවතාර ලෙස සත් දෙනකු බවට පත් වූ බව ද තවත් විශ්වාසයකි.
Comments
Post a Comment