
ස්වාමීන් වහන්ස, ඉස්සර නම් දඹදිව යන්න ලැබුණේ සල්ලි බාගේ යහමින් තිබුණු උදවියට විතරයි. සල්ලි බාගේ කොච්චර තිබුණත් පින නැතිව දඹදිව යන්න බැහැ කියන කතාවත් අපේ ආච්චිලා සීයලා පිළිගත්තා. ඒ කොහොම වුණත් අද වන විට දඹදිව යන්න විශාල උනන්දුවක් සමාජය තුළ ඇති වී තිබෙනවා.
දැනට අවුරුදු ගණනාවකට කලින් දඹදිව වන්දනාව හරිම දුෂ්කර ගමනක්. මන්නාරමට ගිහිල්ලා එතැනින් බෝට්ටුවේ නැගලා තමයි ගියේ. ආපසු එන්න පුළුවන් වෙයි ද? කියලා විශ්වාසයක් තිබුණේ නැහැ. මේ නිසා අපේ මුතුන්මිත්තන් ගෙවල් දොරවල් පවා දරුවන්ට ලියලා දීලයි ගමන පිටත් වුණේ.නමුත් අද ඒ පරණ කතා ඔක්කොම වෙනස් වෙලා. වැඩි වෙහෙසක් නැතිව වැඩි වියදමක් නැතිව දින කිහිපයකින් වැඳගෙන එන්න පුළුවන් තත්වයක් අද ඇති වී තිබෙනවා. දඹදිව යාමට වැඩියෙන් මිනිසුන් පෙලඹවීමට එය එක හේතුවක්. අනෙක් කරුණ වන්නේ බුදුදහමේ දාර්ශනික අගය අද බටහිර රටවලටත් බොහෝ සෙයින් දැනෙන්නට පටන්ගෙන තියෙනවා. බෞද්ධ භාවනා ක්‍රම පිළිබඳ අද මුළුමහත් ලෝකය ම අවධානයෙන් පසු වන්නේ. මේ නිසා අද වන විට ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන් ඇතුළු ආසියාතිකයන්ට අමතරව බුදුදහම පිළිබඳ කියවා එහි අගය වටහා ගත් බටහිර රටවල බොහෝ පිරිස් ඉන්දියාවට පැමිණෙන්නට පටන් ගෙන තිබෙනවා. නවතම සංඛ්‍යාලේඛන අනුව වත්මන් ලොව බෞද්ධ බැතිමතුන්ගේ සංඛ්‍යාව මිලියන 350 ඉක්මවනවා. බුදුරදුන් උපත ලද දඹදිව බෞද්ධයන්ගේ සංඛ්‍යාව මිලියන තිස් පහක්. බුදුන් සරණ ගිය තායිවාන පිරිස් අද මිලියන අට දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොමියුනිස්ට් යැ යි සම්මත චීනයේ බෞද්ධයන්ගේ සංඛ්‍යාව මිලියන සියය ඉක්මවනවා. මිලියන හැට දෙකක් වූ තායිලන්තයේ බුදුන් සරණ ගොස් සිටින පිරිස එම ජනගහනයෙන් 903ක්. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් උපරිම ප්‍රතිශතය බෞද්ධයෝ යි. දඹදිව වැඳපුදා ගැනීම සඳහා ඉකුත් වසරේ එහි පැමිණි බැතිමතුන් සංඛ්‍යාව ලක්‍ෂ තිස් පහක් පමණ වන බව සංඛ්‍යාලේඛනවලින් සනාථ වී තිබෙනවා. මුස්ලිම් බැතිමතුන් මක්කම කෙරෙහි දක්වන ගෞරවය භක්තිය ආදරයවන් යම් සේ යුදෙව් සිය බටහිර ඉවුර කෙරෙහි දක්වන ආදරය, ගෞරවය, හක්තිය යම් සේ ද ඒ හා සමානව බෞද්ධයන් බුදුරදුන් කෙරෙහි අප්‍රමාණ ගෞරවයකිනුයි දඹදිව වැඳ පුදාගැනීමට යන්නේ.
දඹදිව සිද්ධස්ථාන බෞද්ධයන්ට වන්දනාමාන කරන්නට අවස්ථාව සැලසුණේ කොහොම ද?
1890දී දඹදිව වන්දනාවේ ගිය ධර්මපාලතුමා බරණැස ඉසිපතන මිගදායට පැමිණෙන විට එය ඌරන් ඇති කරන පිටියක් බවට පත් ව තිබුණ. මහරහතන් වහන්සේ වැඩ සිටි විහාරාරාමවල ගල් කණු මිනිසුන් තම ප්‍රයෝජනය පිණස කරත්තවල පටවාගෙන යන අයුරු දැක එතුමා කම්පාවට පත් වුණා. බුද්ධගයාව පැවතියේ ද මහතාගේ පාලනය යටතේ යි. අනගාරික ධර්මපාලතුමා එදා ජීවිත පරිත්‍යාගයෙන් මේ ස්ථාන රැකගැනීමට කටයුතු කළ නිසා අද අපට වඳින පුදන්න යන්න අවස්ථාව ලැබී තියෙනවා. ඒ නිසා අප එතුමාට පින් දෙන්න ඕනෑ. මේ ස්ථාන රැකගැනීමට අපේ ශ්‍රී ලාංකේය බෞද්ධ භික්ෂූන් වහන්සේ නොයෙකුත් දුක් ගැහැට මැද කරන සේවය ද අපමණ යි. නමුත් අපේ ඇතැම් පිරිස් ගිහිල්ලා මේ ස්ථාන විනාශ කරනවා. ඔවුන් මරදානේ තියෙන ඔක්කොම බඩු මුට්ටු ටික දඹදිව අරක්ගෙන යනවා. මරදානෙ තියෙන අටපිරිකර ටික අරගෙන යනවා. එහේ ගිහිල්ලා බලන්න, පන්සල්වල අටපිරිකර ගොඩගහලා. පොරි බැදගෙන ගිහිල්ලා පිරිනිවන් මංචකය ළග ඉහිනවා. කාසි විසි කරනවා. අපේ ඇතැම් මිනිස්සු හරි ම මෝඩ යි. කොච්චර එපා කිව්වත් මේවා පොදි බැඳගෙන යනවා. ලංකාවෙන් පොල්තෙල් අරගෙන ගිහිල්ලා දඹදිව පහන් පත්තු කරන්න හදනවා. ඒ විතරක් නො වෙයි. බෝධියක් ළඟට යන්න බලන්න. අතට අසු වන මානයේ හැම අන්තක ම ග්‍රහ අපල දුරු වේවා! කියල ලියල කොඩි ගැටගහල. අපේ ඇතැම් අය මේවා ආරක්ෂා කරනවාට වඩා විනාශ කිරීම යි කරන්නේ. කිසි ම විදේශිකයෙක් කොඩි එල්ලන්නේ නැහැ. අපි තව ම හරි ම අන්ධ යි. බුදුන් දකින්න කියලා ගිහිල්ලා තමන්ගේ පුද්ගලික අරමුණු ටිකක් ඉටු කරගැනීම යි සිදු කරන්නේ.
අපේ ඇතැම් වැඩිහිටියෝ දඹදිව යන්න සල්ලි හොයාගත්තේ විශ්‍රාම වැටුප නැති නම් පින් පඩිය එකතු කරල. පින් රැස් කරගන්න යන මේ අය ඇත්තට ම තම අරමුණු ඉෂ්ට කරගන්නවා ද?
දඹදිව චාරිකාවට යන අපේ ඇතැම් අය බුද්ධ භූමි වඳින්න යන්නේ සාරි චාරිකාව පෙරමුණේ තබාගෙන. මේක හරියට ම වසංගත රෝගයක් වගෙයි. අවුරුදු හැත්තෑව අසූව පැනපු වයසක අම්මලටත් තියෙන අසනීපයක්. ගෙදර අල්මාරියේ සාරි ඕන තරම් ගොඩගහල තියෙනවා. ඒත් අර බඩු මුට්ටු දැක්කට පස්සෙ ඒවා ගොඩගසාගැනීමේ අසීමිත ආසාවෙන් කටයුතු කරනවා අපි දැකලා තියෙනවා. හිත නිදහස් කරගන්න යන අය අන්තිමේදී නැවතත් හිත පුරවගෙන එන්නේ තණ්හාවෙන් විවිධ ආසාවගෙන් තරහෙන්, වෛරයෙන්, අනෙක් කෙනාගේ බඩු මලු දිහා බලල හූල්ලනවා, අඬනවා, වෛර කරනවා. තවත් පිරිසක් දඹදිව එන්නේ ශ්‍රද්ධාවට වඩා මෝස්තරයට අපිත් දඹදිව ගියා කියල පෙන්වන්න. ලංකාවෙ ඉන්න සමහරු කවදාවත් සිල් රැකල නැහැ. බණක් භාවනාවක් කරලා නැහැ. බුද්ධගයාවේ බෝධිය ළගට ගිහිල්ලා උදේ ඉඳන් හවස් වෙනකම් සිල් රෙද්දක් පොරවගෙන ඉඳලා එනවා. ඒක්ක කිසි ම තේරුමක් නැහැ. මම බුද්ධගයාවේ සිල් ගත්ත කියල කියන්න යි එහෙම කරන්නේ. බුද්ධගයාවේ සිල් ගැනීම කළ යුතු යි කියා නියමයක් ද නැහැ.තවත් සමහරු දඹදිව ගමනට එකතු වෙන්නේ ගෙදර කරදරවලින් බේරෙන්න යි. මේ ළගදී මට අම්මා කෙනෙක් හමු වුණා. ඒ අම්මා පස් වැනි වතාවටත් පසුගිය දා දඹදිව ගියා කිව්වා. "සල්ලි තියෙන නිසා අම්මට දඹදිව යන්න ගැටලුවක් නැහැ නේද?” කියල මම ඇහුව. "සල්ලි තියෙනවට නෙවෙයි හාමුදුරුවන්නේ, ළමයින්ගේ කරදරවලින් බේරෙන්නයි මම යන්නේ” කිව්වා. පිට ගෙදරක ගිහිල්ලා ඉන්නත් බැහැ. ඒක දරුවන්ට හොඳ නැහැ. දඹදිව චාරිකාවට එක්වෙලා දවස් විසි හතක් විතර ගෙදරින් පිට වෙලා ඉන්න එක මට සැනසීමක් කියල ඒ අම්ම කිව්වා.
වඩාත් ඵලදායක "දඹදිව චාරිකාවකට” සූදානම් වන්නේ කෙසේ ද?
දඹදිව වඳින්න යන්න හොඳ ම කාලය තරුණ අවධිය යි. රැකී රක්ෂා කරල, දරුවන් කසාද බන්දල දීල, ඉවර වෙනකොට නොයෙකුත් ලෙඩ රෝග හැදෙනවා. මතක ශක්තිය දුර්වල වෙනවා. ඒ නිසා අංශභාගෙ හැදිල රෝද පුටුවෙන් යනකම් ඉනෙ නැතිව තරුණ කාලෙදි ඒ ගමන යන්න ඕන. අපේ දරුවන්ට දඹදිව සිද්ධස්ථානවල අගය වටහා දීල, ඔවුන් වත් මේ සඳහා සහභාගි කරගන්න ඕනෙ. අද ඇතැම් බුද්ධිමත් මවුපියන් කුඩා දරුවන් දඹදිව එක් කරන්ගෙන යනවා මා දැක තිබෙනවා. ඇත්තට ම එය හොඳ ප්‍රවණතාවක්. අද වන විට දඹදිව වන්දනා සංවිධාන රාශියක් බිහි වී තිබෙනවා. විශාල මුදලක් ලබාගෙන, නියමිත සිද්ධස්ථානවලට නොගොස් වන්දනාකරුවන් විවිධ අපහසුතාවන්ට පත් කරන පිරිස් ද ඒ අතර සිටිනවා. ඒ නිසා මේ කරුණු පිළිබඳ වඩාත් අවධානය යොමු කළොත් ඔබේ දඹදිව වන්දනාව වඩාත් අර්ථවත් , කරගැනීමට හැකි වේවි.
Comments
Post a Comment