ඇතිමලේ
අපේ දුටුගැමුණු කුමාරයා හිටියා නේද? ආයේ කිව්වහම මොකද දුටුගැමුණු කුමාරයා හිටි ගමන් සටන් කළේ නෑ. ඒ හටන්වලට හරි හමන් සැලසුමක් තිබ්බා. ඒ සැලසුම හරි ගස්සවලා දුන්නේ කාවන්තිස්ස මහරජතුමා. උන්නැහේ හැකි පමණ කුඹුරු ගොයිතැන් කළා නොවැ. පළමුව බත් පත හදාගන්නට ඕනෑ ඔය කොයි යුද්දෙත් දිනාගන්ට. ඒ හන්දා දුටුගැමුණු කුමාරයා යුදෙට උවමනා නොයෙක් කළමනා ජාති සූදානම් කළා. ඒ අතර ආයුධ, සේනාව ප්‍රධාන වුණා. කාවන්තිස්ස රජතුමා වගේ ම දුටුගැමුණු රජතුමාගේ මලයණ්ඩි තිස්ස කුමාරයා ආයේ නිවාඩුවක් ගත්තේ නෑ ගොයිතැන් බත් හොයලා බැලුවා.
ඖ ඔය කාලේ අපේ ඌව වෙල්ලස්ස පළාතට ආවා තිස්ස කුමාරයාගේ සේනාව රැස් කරලා හිටං වැවිල්ල පටන් ගත්තා. ආයේ හෙනම් ලේසි පාඩු වැඩක් නෙමේ මුළු උව පළාත ම ගොයිතැන් කළා. දොහක් ආවා දුටු ගැමුණු කුමාරයා මේ කටයුතු බලන්ඩ. ආවා තමයි. ඌව පළාතේ බැලු බැලූ අත කුඹුරු වවලා. ඒ දැක්ක සතුටට මං මලයා බදාගෙන මෙහෙම කිව්වා. ඔය ඇති මලේ - ඔය ඇති මලේ කියලා සතුට පළ කළා. එදා හිටන් ඒ පළාතට ඇතිමලේ කියන්ඩ ගත්තා. පෙළක් ඇත්තෝ අතිනිමලේ කියලත් බැහැර කරනවා නොවැ.
කවිච්චි කන්ද
ඔං ඒ කාලේ රජ්ජුරුවන් වහන්සේට උවමනා ලීයෙන් කරන ඇඳ පුටු - මේ හදලා දෙන වඩුවන් උන්නා නේ.මේ වඩුවන්ට කිවේ රාජකීය වඩුවන් කියලා. එහෙම වඩුවන් අතරේ එක වඩුවෙක් උන්නා - හරි ම අපූරු ශිල්පියා. හැබැයි උන්දෑ හදන්නේ කළුවර ලීයෙන් කවිච්චි විතරෝමයි. කළුවර කවිච්චියකට අත ගැහැව්වා ද ආයේ ඒක ඇදක් පලුද්දක් නෑ නොවැ. ඒ තරමට කවිච්චි විතරක් ම හදන මේ වඩුවා ජීවත් වුණේ කුඩා කඳු ගැටයක් අද්දර. ඒ වගේමයි, මේ වඩුවා හැඳින්වූයේ කවිච්චිරාජ කියලා. රජ මාලිගාවේ විතරක් නෙමෙයි ඇමතිවරුන්ගේ ගෙවල්වලටත් මේ කවිච්චිරාලට ඉස්පාසුවක් නැති තරමට වැඩ අල්ලා හිටියා. රජ මාලිගාවේ බිසෝ මාලිගාවල ඒ වගේ ම රාජකීය ඇත්තන්ගේ ගෙවල් වල කවිච්චි හදලා දෙනවා. මේ නිසා කවිච්චිරාල ජීවත් වුණු කන්ද කවුරුත් හඳුන්වන්ට ගත්තා කවිච්චි රාලගේ කන්ද කියලා. හැබැයි, කවිච්චිරාලගේ රාල යන්න පස්සෙන් පහු ගිලිහිලා ගියා. ඉතිරි කවිච්චිකන්ද කියල යි. ඔං ඒ නම අදටත් මේ සාවියට බැවැහැර වෙනවා.
කොල්ලුපිටිය
පරංගියා එලෝලා හිටන් සුද්දා රට පාලනය කරන්නට ගත්තානේ. සුද්දා දැන ගත්තා මේ නිධානයක් කියලා. ඒ හින්දා සුද්දා රට පාලනය කරන එක ගෙනාව කොළඹට. කොළඹ අගනුවර. එහි ඉඳගෙන තමා රට පාලනය කළේ. තේ - පොල් - රබර් වගේ වතු වගා කළා. ඒ වාගේ නිෂ්පාදන නැගත කළේ කොළඹ වරායෙන්. සුද්දා රට පාලනය කළේ වෙළඳාම මුල්කරගෙන නේ. මේ නිසා කොළඹ වරාය මුල් කරගෙන රට පාලනය කරන්න ගත්තා. ඕ ඔය අතරේ කොළඹ නගරය ඩිංග ඩිංග විශාල වුණා. ඇයි නැව්වලින් වෙළෙඳාම් කරන්ට ආ පිරිස වරාය වටේ පදිංචි වුණා. සියලුම පහසුකම් කොළඹට සේන්දු වුණා. ඔය සංදියේ අපේ කොල්ලන්ට සෙල්ලම් කිරීමට තැනක් නැති වුණා. මේ නිසා කොළඹ කොලීජිවලට යන ළමයි රංචු ගැහිලා එක තැනක සෙල්ලම් කරන්ට ගත්තා. කොලීජිවලට යන කොල්ලන්ගේ කෙළි මේ පිට්ටනිය පුරා ම හැමදාම තියෙනවා. ඕ ඒ හින්දා ඒ පළාත කොල්ලන්ගේ පිටිය කියලා කියන්ට ගත්තා.පස්සෙන් පහු කොල්ලන්ගේ පිටිය කොල්ලුපිටිය බවට පත් වුණා නොවැ.
ගන්නෝරුව
ඒ කාලේ හැටියට ඈ - ඔය අපේ මහනුවර පළාතට, නැතිනම් කන්දඋඩරට නුවරට යන්න ඕනෑ වුණේ මහවැලි ගගෙන් එගොඩ වෙලා. ඒකට තොටුපොළවල් තිබ්බා. ඒ තොටුපළවල්වල තොටියෝ උන්නා අගුල් තියාගෙන. නැතිනම් පාරු තියාගෙන උන්නා. මේ කියන තොටුපොළේ තොටියාගේ ගෙදර තිබ්බෙත් ඒ අද්දරමයි. මේ හින්දා ඒ රාත්‍රියේ දී වගේ ම දවල් දවසේ දීත් තොටියාට කථා කරගෙන ඔරුවෙන් හරි පාරුවෙන් හරි එගොඩ යන්නට හැකියි. මේකට ඒ පළාත්වල කවුරුත් වාගේ හුරුවෙලා උන්නේ. තොටුපොළට ආවා, තොටියාට කථා කරා එගොඩ වුණා.
ඔන්න එක දොහක් ගම්පොළ බුවනෙකබාහු මහරජ තුමා ආවා නුවර යන්ට. මහවැලි ගඟබඩට ආවා - ඔරුව එගොඩ ගිහින්. රජතුමා තොටියට අණ කලා ගන්ට ඔය ඔරුව කියලා. ඒක තොටියාට කනට වැටුණෙ නැහැ. ඒ වංගියේ රජතුමා උදහස්වෙලා ගන් ඔරුව කියලා සැරෙන් අණ කළා. තොටියා වහ වහා බියෙන් ආවා. හැබැයි අර හැටියට තොටියාට ගන්ඔරුව කියාපු හින්දා ඒ තොටුපොළ එතැන් පටන් ගන්ඔරුතොට වුණා. ඕං පස්සෙන් පහු බැවැහැර වුණේ ගන්නෝරුව කියලා.
Comments
Post a Comment