gossiplanka image 1
 

 



ස්වස්වාමීන් වහන්ස, රටක සංවර්ධනය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුමන ආකාරයකට ද?


ආර්ථික හා සමාජීය විද්‍යාවන්ගෙන් නිර්වචනය කර තිබෙන සංවර්ධනය සහ බුදුහාමුදුරුවෝ දේශනා කර තිබෙන සංවර්ධනය එනෙකට වෙනස් දෙකක් නො වෙයි. නමුත් සම්පූර්ණයෙන් සමගාමී නැහැ. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මානව සංවර්ධනය සහ පොදු රටේ සංවර්ධනය යි. නමුත් අපි වර්තමානයේ සංවර්ධනය ලෙස හඳුන්වන්නේ තරමක මායාවී දැක්මකට විතරයි. එහෙමත් නැති නම්, තවත් ආකාරයකින් කියනවා නම්, නෙක විසිතුරු සොඳුරු දසුන්වලින් සපිරි, සරුව පිත්තල දිලිසෙන විසිතුරු ස්වභාවය තමයි දැන් අපි සංවර්ධනය ලෙස හඳුන්වන්නේ.


බුදුරජාණන් වහන්සේ දේශනා කළ 'සංවර්ධනය' අර්ථ නිර්වචනය කරන්නේ කොහොම ද?


අපි උදාහරණයක් වශයෙන් ගත්තොත්, ඇතැම් රටවල පවුලක සියලු සාමාජිකයන්ට වාහනය බැගින් තියෙනවා; සුවිසල් මන්දිරයක් තියෙනවා. නමුත් මේ සහෝදර-සහෝදරියන් අතර මවුපිය දූ දරුවන් අතර ඥාතීන් අතර සුහද සබඳතා නැහැ. මවුපියෝ වෙන ම ජීවත් වෙනවා. දරුවෝ වෙන ම ජීවත් වෙනවා. වියපත් වූ මවුපියෝ අවසාන කාලයේදී වැඩිහිටි නිවාසවල තනි වෙනවා. දරුවන් ඒ සඳහා කිසියම් ආකාරයක ගෙවීමක් කරනවා. මෙබඳු පරිසරයක් තුළයි එකී දියුණුව නිර්වචනය කරන්නේ. මේ නිසා පසුගිය කාලසීමාව තුළදී ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් ලෙස බටහිරයන් විසින් නම් කර තිබුණා. බටහිරයන් සමත් රාජ්‍යයන් හැටියට දක්වල තිබුණේ දළ ජාතික නිෂ්පාදිතය සහ ආදායම නිර්ණායකයක් බවට පත් කරමින්. අපේ නිර්ණායක වෙලා තියෙන්නේ ඒවා නො වෙයි. ඒ නිසා සංවර්ධනය කියල කියන්නේ රටක ආර්ථික සංවර්ධනය ම නො වෙයි. ආර්ථික සංවර්ධනය එහි මාතෘකාවක්.


අපේ සංවර්ධන මිනුම් දඬු සහ බටහිර සංවර්ධන මිනුම් දඬු අතර වෙනස අපි තේරුම් ගත යුත්තේ කොහොම ද?


අපේ රටේ දූදරුවන්ට මවුපියන් ඕනෑ. ඒ වගේ ම මවුපියන්ට දූ දරුවන් ඕනෑ. දරුවෙක් වැඩිහිටියෙක් වෙලා වයසට ගියත් තමන්ගේ අම්මට තාත්තට කරන ගෞරවයේ අඩුවක් නැහැ. එකී සංස්කෘතික සමත් භාවය නිර්ණායකයක් ලෙස ගත්තොත් අර සමත් රාජ්‍ය අසමත් රාජ්‍ය බවට පත් කර තිබෙනවා.මවුපියන්ට සැලකීම, ඒ වගේ ම නිල්ල ගැහුණු පාරිසරික පද්ධතියක් ආරක්ෂා කිරීමට ගන්නා වූ උත්සාහය, සහෝදර සහෝදරියන් අතර තිබෙන ළෙන්ගතුකම, පුංචි දරුවන් පිළිබඳ ඇල්ම බැල්ම යන මේවා නිර්ණායකයන් ලෙස ගත්තොත් එක් සමත් රාජ්‍යයන් අතිශයින් අසමත් රාජ්‍යයන් බවට පත්වෙනවා. අපි කතා කරන්න ඕනේ, අපේ රටේ මේ සංවර්ධනාත්මක සංස්කෘතිය අවතක්සේරුවට ලක් වෙන වැඩ දැන් අපෙන් සිදු වෙනවා ද? එහෙමත් නැත් නම් අනාගතයේ දවසක ආර්ථික සංවර්ධනයෙන් තොරව, සංස්කෘතික සංවර්ධනයෙන් තොරව අපේ රට සංස්කෘතික සංවර්ධනයක් කරා යන ගමන වළක්වන යම් යම් දේවල් අපේ අතින් සිදු වෙනවා ද? ඇත්තට ම සිදු වෙමින් පවතිනවා. ඒ නිසා මේ උද්දාමය වැඩිකල් පවත්වාගැනීමට අපට පුළුවන්කමක් නැහැ.


ඔබ වහන්සේ කියන මේ තත්වය ඇති වීමට බලපාන අපේ දුර්වලතා මොනවා ද? ඒ දුර්වලතා වළක්වාගන්න නම් අප කළ යුත්තේ කුමක් ද?


හේතු කාරණා රාශියක් තියෙනවා. පළවෙනි කරුණ, අපි කාලය පාවිච්චි කරන ආකාරය. අනෙක් කරුණ ධනය පාවිච්චි කරන ආකාරය. එහෙම නැත් නම් සංස්කෘතිය පාවිච්චි කරන ආකාරය. අපි ප්‍රථමයෙන් ම කාලය පාවිච්චි කරන ආකාරය ගැන කතා කරමු. අපි කොච්චර දුරට ඒ කාලය නිවැරැදි ව පාවිච්චි කරනවා ද? අපේ තරුණ දරුවෙක් කොපමණ කාලයක් රුපවාහිනිය ඉදිරියේ ගත කරනවා ද? කොපමණ කාලයක් ජංගම දුරකතනය වෙනුවෙන් ගත කරනව ද? කොපමණ කාලයක් පොතපත වෙනුවෙන් ගත කරනව ද? කොපමණ කාලයක් නිකරුණේ ගත කරනවා ද? ඇත්තට ම මේවාට වෙලාව තියෙනවා ද? මේ අනුව අපට හිතාගන්න පුළුවන් අනාගතයේ දවසක මේ සාරධර්මීය ස්වභාවය මීටත් වඩා සංවර්ධනය වෙන්නේ නැහැ. අපි මෙහෙම හිතමු. උදේ පාන්දර අවදි වූ වේලාවේ පටන් රාත්‍රී නින්දට යන තුරු ම යමිකිසි කෙනෙක් වගුවක් හදාගෙන මම පොත් කියවීමට මෙපමණ කාලයක් ගත කලා. රූපවාහිනිය නැරඹීමට, දුරකථනය වෙනුවෙන්, විනෝදය වෙනුවෙන්, සෙල්ලම් කිරිමට, නිදාගැනීමට මෙපමණ කාලයක් ගත කළා කියලා කාලය ගෙවූ ආකාරය පරික්ෂක්ෂා කළොත් දරුවන් අතින් වැඩි වශයෙන් කාලය නාස්ති කිරීමක් සිදු වී තිබෙන බව පැහැදිලි ව සොයාගන්න පුළුවන්.


ඔබ වහන්සේ කියන්නේ තරුණයන්, දරුවන් කාලය නාස්ති කරන බව යි. නමුත් අපේ රටේ වැඩිහිටියන් රටේ සංවර්ධනය සඳහා නිසියාකාරව කාලය වැය කර තිබෙනවා ද? ' දැන් අපි වැඩිහිටියන් ගැන කතා කරමු. වැඩිහිටියන් රාජකාරි කරන කාලසීමාව උදාහරණයක් වශයෙන් ගනිමු. දවසකට පැය විසිහතර යි. උදේ 6 සිට හවස 6 දක්වා රාජකාරි කාලසීමාව ලෙස සලකමු. ඒ කාල සීමාවෙන් පැය කීයක් බස් එකට ගත වෙනවද? එය රටේ සංවර්ධනය සඳහා ගත කිරීමක් නොවේ. දවල් කෑම සඳහා තේ බීම සඳහා කොපමණ වේලාවක් ගත කරනවා ද? ඔය අතර වාරයේ පුංචි විවේකයක් සඳහා කොපමණ වේලාවක් ගත කරනවද? රාජකාරී නිමා වෙලා ගෙදරට එනකම් ගතවෙන කාලසීමාව කොපමණ ද? නිදාගන්නා කාලය කොපමණ ද? ඉහත කාරණා පිළිබඳව මම දළ සමීක්ෂණයක් කළා. ඒ අනුව පැහැදිලි වුණේ දවසේ පැය විසිහතරෙන් මිනිස්සු පැය දහයක් ම නිදාගන්නවා. ඉතිරි පැය දහහතරෙන් වැඩි ම වේලාවක් ගත කර තිබුණේ සංවර්ධනය සඳහා නො වෙයි. රාජකාරි කාලය තුළදී යම් කිසි කෙනෙක් රාජකාරිය සඳහා ම වෙන් වෙලා තියෙනවා නම් රට ඉදිරියට යා යුතු යි.අපි ටිකක් හිතල බලමු. අපේ පෞද්ගලික ජීවිතයේ රාත්‍රි නින්දට සැහෙන කාලයක් ගත කරනවා. ඊළඟ දවසේ වැඩ කිරීමට පන්නරය ලබාගැනීමට අපි සුව නින්දක් ලබාගත යුතු යි.

උදේ පාන්දර නැගිටල මුහුණ කට සෝදාගෙන ළමයින් සමඟ සතුටින් කාල බීල රාජකාරියට හෝ පාසලට නික්ම යෑමට දරන වෑයමක් ද සැබෑවට ම ශ්‍රී ලංකා සමාජය තුළ තිබෙන්නේ? දනිපනි ගාල නැගිටල, බාගෙට මුහුණ සෝදල, බාගෙට දත කට මැදල, කොණ්ඩය බාගෙට පීරගෙන, බාගෙට තැම්බුණු බත් එක බෙදල දුනොත් පාසල් කරගෙන ඊළගට එන දුම්රිය හෝ බස්රිය සඳහා දුවනවා. පාසලට යන ළමයවත් "යමල්ලා” කියල කොහොම හරි ගැටගහල රාජකාරිය සඳහා දුවන කාලසීමාවක් අපට තියෙන්නේ. රාජකාරියට ගියා. දැන් රාජකාරි කරන ස්ථානයේ වැඩ නිමා වෙන්නේ හතරයි තිහට. ගෙදරට එන විට හැන්දෑවේ හය වෙනවා. ඒ කියන්නේ පාරට සුවිසල් කාලයක්. හවස හයට නිවේ පැමිණියා කියල අපි හිතමු. හවස හයේ පටන් නින්දට යනකම් කාලය තමයි සාමාන්‍යයෙන් කෙනකුට තියෙන්නේ පවුලේ සංවර්ධනය උදෙසා කටයුතු කරන්න. දරුවා ඉගෙනගත්තද? මොනවද ඉගෙන ගත්තේ? පාඩම් කෙරුවද? නැද්ද? අඩු ම තරමේ මේ ළමය කෑවද බිව්වද කියල අපට අහන්න තියෙන්නේ ඒ වෙලාවෙ. අම්ම තාත්තගෙ දුක සැප අහන්න ඉතිරි වන කාලසීමාවත් මේ. සහෝදර සහෝදරියන්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කරල සාමූහික සංවාදයක නියැලෙන්නට තියෙන එකම කාල සීමාවයි මේ. පවුලේ සංවර්ධනය උදෙසා ගතකිරිමට අපට නොමිලයේ ලැබුණු ඒ කාල සීමාව වැඩිපුරම ගත කර තිබෙන්නේ නොවටිනා කාර්යයන් සඳහායි. රූපවාහිනිය ඉදිරියේ, බෝක්කුවක් උඩ, එහෙමත් නැතිනම් රස්තියාදුව උදෙසා ලැබිල තියෙන මේ වටිනාම ඉඩකඩට අපි මොනව හෝ බලහත්කාරයෙන් යොදාගෙන කාලය නාස්ති කර තිබෙනවා. දැන් එහෙම නම් විධිමත් කාලසටහනකට අනුව වැඩ නොකිරීමෙන් තමන්ගේ පවුලේ සාමාජිකයන් සමග සහජීවනයෙන් ගත කිරීමට නොමිලයේ ලැබී තියෙන කාලයත් අප නැති කරගෙන තියෙනවා.


ඔබ වහන්සේ සඳහන් කරන දෙවැනි කාරණය කුමක් ද?



බලන්න, අපේ රටේ කොපමණ ඉඩම් තියෙනවද? මගේ ගම වන දිවුලපිටියේ සිට මේ පළාතට එනකම් මොන තරම් ප්‍රමාණයක් කුඹුරු තියෙනවා ද? නමුත් අද වෙනකොට බොහෝ කුඹුරු වගා කරන්නේ නැහැ. අපේ පචස් 10-15 පුංචි ම ගෙවල් හැර, අක්කරයක් දෙකක් තියෙන ඉඩම් ඕනෑ තරම් තියෙනවා. ඒ වගේ ම අපේ ගෙදරක කිහිපදෙනෙක් රස්සාවකට යනවා. දෙතුන් දෙනෙක් නිකම් ඉන්නවා.මේ නිවෙසට ඉඟුරු කෑල්ල කඩෙන් ගේන්නේ. රටේ, කරපිංචා කඩෙන් ගේන්නේ. සියලුම එළවළු කඩෙන් ගේන්නේ. කෙසෙල් ගෙඩිය පවා කඩෙන් ගේන්න සිදු වී තිබෙන්නේ? නිකම් කණ්ඩායමක් ඉන්නවා. හිස් ඉඩමක් තියෙනවා. මේ දෙක නිසියාකාරව කළමනාකරණය වුණා නම් අපට නිෂ්පාදනයක් තියෙනවා.දැන් වෙලා තියෙන්නේ, පිරිසක් ගෙදර නිකරුණේ ඉන්නවා. හිස් ඉඩමක් තියෙනවා. අමාරුවෙන් උපයාගත් මුදලක් තියෙනවා. සල්ලි ටික කඩේට දෙනවා. කඩකාරයා පිටකොටුවේ තොග වෙළෙන්දාට දෙනවා. තොග වෙළෙන්දා පිටරටට දෙනවා. අවසන විග්‍රහයේදී මොකද වෙලා තියෙන්නේ? ලංකාවේ තිබුණු සල්ලි පිටරටට ඇදිල යනවා. නිෂ්පාදනය කරගැනීම සඳහා අවශ්‍ය වන මානව සම්පත් හා අනෙකුත් සම්පත් සියල්ල තිබියදී අප මෙවන් තත්වයකට පත් වී තිබෙනවා. මේ ඉඩ නාස්තිය හා කාල නාස්තිය යන කරුණු සංවර්ධනය වළක්වාලන නීවරණ. මේ අනුව අපට පෙනෙනවා වැඩිහිටියෝ තමන්ගේ කාලය නාස්ති කරනවා.


ඔබ වහන්සේ එසේ කීවත්, ඇතමුන් පවසන්නේ අපේ පාසල් දරුවන් තමන්ගේ අධ්‍යාපනයට වෙන් කර ඇති කාලය වැඩි බව හා විනෝදය සඳහා අවස්ථා නැති බව යි.


අපේ පාසල් දරුවන් සුවිසල් වශයෙන් තමන්ගේ කාලය නාස්ති කරනවා. අපි හිතමු දරුවෙක් පාසල් කාලය තුළදී පැය පහක් ඉගෙනගන්නවා කියලා. ඒක තිහෙන් වැඩි කළොත් මාසෙකට ඉගෙනගන්නේ පැය එකසිය පනහ යි; අවුරුද්දකට පැය එක්දහස් පන්සීය යි. අවම වශයෙන් ඒක පැය විසිහතරෙන් බෙදල ගත්තොත් අපි ඉගෙනගෙන තියෙන්නේ මොන තරම් සුළු කාලයක් ද උසස් පෙළ හදාරන ශිෂ්‍යයෙක් අවුරුදු දෙකටම දළ වශයෙන් ඉගෙනගන්නේ මාසය යි. ඒ පිළිබඳ අපිට සෑහීමකට පත් වෙන්න බැහැ. බාහිර උපාධිධාරියෙක් නම් හදාරන්නේ විෂයයන් තුනයි. ඔහු සති අන්තයේ පන්තියක ඉගෙනගන්නේ පැය හයයි. මාසයකට සති හතරයි. එහෙම නම් ඔහු මාසෙට ම ඉගෙනගන්නේ පැය විසිහතරයි. මොහුට ඉගෙනගන්න ලැබෙන කාලය දළ වහයෙන් මාස දහය යි. ඒ කියන්නේ පැය දෙසිය හතළිහ යි. පැය දෙසිය හතළිහයි කියන්නේ සම්පූර්ණ දවස් දහය යි. අවුරුදු තුනට ම එයා ඉගෙනගන්නේ දවස් තිහයි. එනම් මාසයයි. එහෙම නම් මොකක් ද මේකෙ තේරුම. අපි අපේ කාලය නිකරුණේ නාස්ති කරනවා. එහිදී වින්දනය ඉතාමත් ම අවශ්‍යයි. නමුත් ඒ වින්දනය සංවර්ධනය උදෙසා වන වින්දනයක් විය යුතු යි. එය නාස්තිය උදෙසා වන වින්දනයක් නොවිය යුතුයි. ක්‍රෝධය, වෛරය, පලි ගැනීම නිර්මාණය කරවන වින්දනයක යම්කිසි කෙනෙක් ගිලී ඉන්නවා නම් ඒ තැනැත්තා සංවර්ධනය කරා ගමන් කරන්නේ ම නැහැ. අතීතයේ බොහෝ නිර්මාණශීලී හැකියාවන්ගෙන් පිරි දරු පරපුරක් අපට හිටියා. වර්තමානයේ එවන් නිර්මාණශීලී දරුවන්ගේ අඩුවක් පෙනෙවා. දැනට වසර ගණනාවකට ඉහතදී ඒ කියන්නේ අපි දරුවන් වශයෙන් සිටි අවධියේදී හැදුණේ වැඩුණේ වරිච්චි බිත්ති බැඳපු පොල් අතු හෙවිල්ලපු බිමට ගොම ගාපු පුංචි නිවසක. කුලාවක් රාත්‍රියට පත්තු කරල අම්ම තාත්ත දෙන්නා අපට තේරවිලි සහ කතන්දර කියල දෙනව. ඒ කාලයේ රූපවාහිනී තිබුණේ නැහැ. තුන් තේරවිල්ලක් කතන්දරයක් කියල දුන් විටදී අපට ලැබෙන සංවර්ධනය කුමක් ද? අපි මොක ද කරන්නේ? පැත්තකට ගිහින් කල්පනා කරල නොයෙක් උත්තර ගෙනෙනවා. අහනවා. වරදිනවා. නැවතත් කල්පනා කරනවා. මොකක් ද ඒ කරන්නේ? මනසේ චින්තන ශක්තිය හා තරකන ශක්තිය සංවර්ධනය කරනවා අපේ මවුපියෝ හිතන්න පුරුදු කරනවා. නිර්මාණයක් කරන්න පුළුවන් ද බලනවා. නමුත් අද අපට කවුරුවත් හවස් කාලයේදී තේරවිලි කියල දෙන්නේ නැහැ. තේරවිලි අහන්නෙත් නැහැ. රූපවාහිනියේ පෙන්වන මොනවා හෝ වැඩසටහනකින් සැබෑවට ම චින්තන ශක්තිය නිර්මාණය කරනවා ද? තාර්කික ශක්තිය නිර්මාණය කරනවා ද? නැහැ. එහෙම නම් අපි මොකක් ද ලබන්නේ? කවුරුන් විසින් හෝ රඟන්නා වූ රංගනයක් දෙස බලල පුංචි වින්දනයක් ලබනවා විතරයි. අම්මටයි තාත්තටයි කරදරකාරි තවත් එක්තරා දරුවෙක් රූපවාහිනිය ඉදිරියේ හීලෑකරල තියාගන්නවා. දෙයියනේ කියල අම්මටයි තාත්තටයි කුස්සියේ වැඩකටයුතු කරගන්න වාසනාව උදාවෙනවා රූපවාහිනිය නිසා.

බත ඉදෙන තුරු දරුව රූපවාහිනිය බලා ඉන්නවා. බත් ඉදුණට පසුව බත්වලින් ළමයගෙ කාලසීමාව ගත කරනවා. බත් කාල ඉවර වුණු ගමන් ළමය නිදාගන්නවා. පාන්දර අවදි වුණු ගමන් මහා වේගයකින් ඇඳුම් අන්දවල පාසල් යවනවා. පාසල අවසන් වූ සැණින් ටියුෂන් පන්ති යනවා. ටියුෂන් පන්ති අවසාන වී ගෙදර එන විටදී කාටුන් පටන් ගන්නවා. මේ නිසා ළමයට මවුපියන් සමග ගත කරන්න කාලයක් නැහැ. මවුපියන්ට ළමයින් සමග ගත කරන්න කාලයක් නැහැ.ළමයට චින්තන සහ තර්කන ශක්තිය නිර්මාණය වෙන ප්‍රතිනිර්මාණීය මානසිකත්වයක් ඇති වෙන්නේ නැහැ. මෙන්න මේ කරුණු නිසා අනාගතයේ රට සංවර්ධනය වීමේ හැකියාව බොහෝ දුරට අඩාල වෙන්න පුළුවන්. සාමාන්‍ය ළමයකුට නිර්මාණයක් කරන්නයි කිව්වට ඒ ළමයට නිර්මාණය කිරිමේ හැකියාවක් නැහැ. සුවිශේෂී දරුවන් තැන් තැන්වලින් බිහි වුණාට සමස්තයක් වශයෙන් අපේ දරු පරපුර නිර්මාණශීලී නැහැ.


රූපවාහිනිය අද අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒ පිළිබඳ මිනිසුන්ගේ වැඩි නැඹුරුවක් පෙන්නුම් කරනවා. මෙය සංවර්ධනයට කොපමණ දුරට බලපානව ද?


අවශ්‍ය දේ දෙනවද? ඉල්ලන දේ දෙනවද? කියලා අපි පළමුවෙන් ම සිතන්න අවශ්‍යයි. රූපවාහිනී නාලිකාවලින් සාමාන්‍යයෙන් කරන්නේ අවශ්‍ය දේ දෙන එක නො වෙයි; ඉල්ලන දේ දෙන එකයි. අවශ්‍ය දේ දෙන එක සංවර්ධනයේ  ස්වහාවය. ඉල්ලපු දේ දෙන එක සංවර්ධනයේ ස්වභාවය නො වෙයි.තවත් උදාහරණයක් ගනිමු. කසිප්පු විකුණනවට වඩා අමාරුයි කොළ කැඳ විකිණීම. කසිප්පු තමයි මිනිස්සු ඉල්ලන්නේ. නමුත් කොළ කැඳ තමයි දෙන්න ඕනැ. මේ සඳහා තියෙනවා උපනිශද් වාක්‍යයක්. ශ්‍රේයස් සහ ප්‍රියස් කියලා. ශ්‍රේයස් කියන්නේ ශ්‍රේෂ්ඨ

දේ. ප්‍රේයස් කියන්නේ ප්‍රිය දේ. මාධ්‍යයකට අවශ්‍ය ම දේ ශ්‍රේයස් දීම යි. ස්ත්‍රියක් වීම නො වෙයි. තවත් උදාහරණයක් වශයෙන් කිව්වොත්, මේ රටේ මිනිස්සු ඉල්ලුව ද සුපර් ස්ටාර්? ඉල්ලුවෙ නැහැ. ඇයි, දෙන්නේ ප්‍රේයස් ? ඒක තමයි මිනිස්සුන් ගේ ආකර්ෂණය. සාමාන්‍යයෙන් මාධ්‍යයකින් කරන්නේ වැඩි ග්‍රාහක පිරිසක් තමන් වෙත නතු කරගැනීම යි. එයින් තමන්ගේ ඉඩකඩ වැඩි මිලකට අලෙවි කරන්න පුළුවන්. වැඩි අනුග්‍රාහක පිරිසකගේ අවධානය දිනාගැනීමට හැකි වෙනවා. වාණිජමය පරමාර්ථයක් එතැන තිබෙන්නේ. එහෙම නම් එතැන ප්‍රේයස් දෙනේ. මුල ඉඳන් අග දක්වා ම තියෙන්නේ ව්‍යාපාරයක්. සන්නිවේදනය ව්‍යාපාරයක් දක්වා සංවර්ධනය වීමෙන් කවමදාක් වත් රටක් සංවර්ධනය වෙන්නේ නැහැ.


ඇතැම් මාධ්‍ය වගකීමකින් තොරව කටයුතු කිරීමට එරෙහි නීතිමය පියවර ගත නොහැකි ද?


රටක නිසි බලධාරියා රජය. මාධ්‍ය වගකීමෙන් තොරව කටයුතු කරනවයි කියලා කවමදාවත් වගකිව යුතු ආණ්ඩුවකට කියන්න බැහැ. ඒ නිසා රජය ඉතා පැහැදිලිව මැදිහත් විය යුතුයි මේ රටේ විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය රටට වැඩදායක මාධ්‍යයක් බවට පත් කිරීමට.යම්කිසි මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යක් රටේ සංවර්ධනයට උර දෙන්නේ නැත් නම් හෝ රට පරිහානිය කරා ගෙන යනවා නම් ඒක තහනම් කරන්න පුළුවන් ආණ්ඩුවකට, එසේ කිරීමට පුළුවන් බව ඔප්පු කරල තියෙන ඓතිහාසික සාධක අපට තියෙනවා.