
භාරතීය සාමුද්‍රික ශාස්ත්‍රයෙහි ශුභ ලක්‍ෂණ සහිත වූ අත්තල දහයක් හෙවත් පාණි තල දහයක් දක්වා ඇත. එම ශුභ වූ ද, වාසනාවන්ත වූ ද පාණි තල විස්තර මෙසේ වෙයි.
01.ස්පර්ශ කළ විට උණුසුමක් දැනෙන්නා වූ පාණි තලය ශුභ වේ. එවන් පාණි තලයක් පිහිටන්නේ මෘදු සිතුවිලි සහිත වූ ද අන්‍යයන් කෙරේ කරුණා මෛත්‍රිය දක්වන්නා වූ ද දියුණු වීමේ වාසනා ගුණයෙන් යුක්ත වූ ද ශිල්ප ශාස්ත්‍ර පිහිටන්නා වූ ද යහපත් දරු කැලක් හිමිවන්නා වූ ද පුද්ගලයන්ට බව සාමුද්‍රික ශාස්ත්‍රයේ නියමයයි.
2. සූර්යෝදයට මඳකට පෙර පෙරඹරෙහි දක්නට ලැබෙන දීප්තිමත් වූ මන්ද රක්ත වර්ණයට සමාන වර්ණයක් අලෙවි වීම ශුභ වේ, වාසනාවත් වේ. ධනයෙන් ද බලයෙන් ද ආඪ්‍ය වූ ජීවිතයක් ගත කිරිමට හැකි වේ.
3. අල්ලෙහි ඇගිලි එක්කළ විට සිදුරක් නොසෑදෙන ලෙස මනාව එක්ව පිහිටියේ නම් එය ද වාසනාවන්ත ලක්‍ෂණයක් ලෙස භාරතීය සාමුද්‍රික ශාස්ත්‍රය අනුව සැලකෙයි. එවන් පුද්ගල තෙමේ වාසනා ගුණයෙන් පිරිපුන් වූ ද බොහෝ ශිල්ප ශාස්ත්‍ර නැණ නුවණ සම්භරයකින් බහුශ්‍රැත වන බවත් සියලු සැප සම්පතින් ආඪ්‍ය වන බවත් කියවෙයි.
4. පාණි තලය තෙල් ගැල් වූ කලක සේ ඔපවත්ව මෘදුව පිහිටියේ ද එය ද වාසනාව ලැබ දෙන ශුභ ලක්‍ෂණයක් වේ.
5. මනාව පිරීගිය පුෂ්ටිමත් භාවයෙන් යුතු පාණි තලයක් පිහිටීම ද . ශුභ ලක්‍ෂණයක් වේ. සියලු සැප සම්පතින් ආඪ්‍ය වන්නා වූ ද යහපත් සෞඛ්‍ය තත්වයෙන් යුතු වූ ද වාසනාවත් දිවියක් ගත කිරීමට මෙම ශුභ ලක්‍ෂණය හේතුවෙයි.
6. අල්ලක් විශාල වුවහොත් එය ප්‍රාථමික අන්ලක ගනයට ගැනෙන අතර එය දුර්වල ආධ්‍යාත්මික ලක්ෂණ ප්‍රකට කරයි. අත්ල පමණට වඩා කුඩා වුවහොත් එය බුද්ධි හීන - මන්දායුෂ්ක ලක්‍ෂණ සහ අවාසනාවත් බව ප්‍රකට කරයි. මනා ලෙස වැඩුණු මධ්‍ය ප්‍රමාණ වූ පාණි තලය දස විධ ශුභ ලක්‍ෂණයන්ගෙන් සයවන ශුභ ලක්‍ෂණය බවත් එයින් වාසනාව උදාවන බවත් භාරතීය සාමුද්‍රික ශාස්ත්‍රයේ නියමයයි.
7. නියපොතු තඹවන් පැහැයෙන් යුතු වීම ද වාසනාව ගෙනෙන ලක්‍ෂණයක් ලෙස හැඳින්වෙයි.
8. හස්තයෙක ඇගිලි සලකනු ලබන්නේ චෛතසික ශක්තියෙහි සංකේක්තයක් ලෙසිනි. යම් හස්තයෙක ඇගිලි දිගුව මනාව පිහිටියේ නම් උසස් ආධ්‍යාත්මික ශක්තියකින් සහ බලයකින් ද යුතු න්‍යාය ශාස්ත්‍රාදී උසස් විද්‍යාවන් ප්‍රගුණ කළා වූ බුද්ධිමතෙකු වීමට මෙම ශුභ ලක්‍ෂණය හේතු වෙයි.
9. පාණී තලය පුළුල්ව පිහිටීම ද දස විධ ශුභ ලක්‍ෂණයන්ගෙන් එක් ලක්‍ෂණයක් වන අතර එය ද වාසනාවන්ත වීමේ ශුභ ලක්ෂණයක්
ලෙස සැලකෙයි.
10. යම් පුද්ගලයකුගේ අත්ල නිතර වියළි ස්වභාවයෙන් යුක්ත වීම ද මෘදු වූ පෘෂ්ටයකින් ද මොළොක් මාංශ පේශීන්ගෙන් ද යුක්තව දර්ශනීය ආකාරයෙන් පිහිටා තිබීම ද ශුභ ලක්ෂණයක් ලෙස සැලකෙයි. සාමුද්‍රික ශාස්ත්‍රය අනුව එම ලක්ෂණය ද වාසනාවන්ත බව හිමිවීමේ පිහිටීමක් ලෙස පිළිගැනෙයි.
Comments
Post a Comment