දිනක් ශිව කෛලාසය මත සිටියදී පිටුපසින් ආ ඔහුගේ බිරිය පාර්වතී විහිළුවක් කිරීමට සිතා දෑතින් ශිවගේ ඇස් දෙක වැසුවාය. මේ හේතු කොට තුන් ලොවම අඳුරේ ගිලි ගියේය. ආලෝකයත් උණුසුමත් නැති විය. සතුන්ට හා මිනිසුන්ට ජීවත් විය නොහැකි තත්වයක් පැන නැගුණි. ශිව වහාම නළලින් තවත් ඇසක් පහළ කිරිමෙන් ලොව බේරා ගත්තේය.ශිව කාලයට අධිපති දෙවියාය. ලොව නිතරම කරකැවෙන්නේ ඔහුගේ නැටුම නිසා යැයි හින්දු භක්තිකයෝ විස්වාස කරති. සතුටෙහිදී මෙන්ම විපතෙහිදීත් ඔහු නටන්නේය. තමන් විසින් කරන ලද අසුරයාගේ මළකඳ මත සිටගෙන ඔහු වරක් නැටීය. අයහපත යටකර යහපත ජය ගැනීම සඳහා එසේ කළ බැව් කියති. වරෙක ශිවගේ නැටුමෙන් විෂ්ණු හා අනන්ත නම් නාග රාජයාද වශී වූහ. කලෙක තාරාගම් වනයෙහි තවුසෝ දස දහසක් සිටියහ. ශිව භක්තියට විරුද්ධව නොයෙක් දේ මොවුන්ට උගන්වා තිබුණ ද ශිව ඔවුනට සත්‍යය ඉගැන්වීමට කල්පනා කළේය. ඔහු විෂ්ණුටද රූමත් ස්ත්‍රියකගේ වෙස් ගෙන තමා සමග එන ලෙස කීවේය. ශිව යෝගියෙකු ලෙසත් විෂ්ණු ඔහුගේ බිරිය ලෙසත් වෙස් වළා ගෙන වනයට ඇතුලු වූහ. යෝගියා දුටු වනයෙහි වූ තවුසන්ගේ භාර්යාවෝ ඔහුට ඇල්ම දක්වන්නට වූහ. ඔහුගේ බිරිය දුටු තවුසෝ ඇයට වශී වූහ. මෙය තවුස් අසපුවල නොයෙක් කලබල පැන නැගීමට හේතු විය. ආගන්තුකයන් නිසා තවුසන් අතර යම් කිසි වෙනසක් වී ඇති බව පෙනී ගියෙන් තවුසෝ ආගන්තුකයන්ට ශාප කළහ. නමුත් ඉන් පලක් නොවීය. ඊළඟට ඔවුහු මහා ගිනි මැලයක් ගැසූහ. නොයෙක් මන්ත්‍ර ආදියෙන් ඒ තුළින් කොටියෙකු මවා ආගන්තුක තවුසාට අනතුරු කිරීමට පෙළඹවූහ. කොටියා ශිව ගිල දැමීම සඳහා පැන්නේය. ඔහු හිනැහී කොටියා අල්ලා සිය නියෙන් හම ගසා ඒ හම සේද සළුවක් සේ පොරවා ගත්තේය. යළි තවුසෝ බිහිසුණු නාගයෙකු මැවූහ. නාගයා අල්ලා ගත් ශිව සිය ගෙලෙහි පැළැන්දේය. අනතුරුව පොල්ලක් රැගත් විරූපී අගුටු මිටෙකු මැවූහ. අගුටු මිට්ටාගේ පිට මත පා තබා ගත් ශිව නටන්නට විය. උත්සාහයෙන් පලක් නොවන බව දුටු තවුසෝ පසුබට වූහ. ශිවගේ නැටුමෙන් හා ඒ නැටුම බැලීමට දෙවිවරුන් පවා බැස සිටිනු දැකීමෙන් මෙල්ල වූ තවුසෝ ශිව ඉදිරියේ දණ ගසා ශිව භක්තිකයන් බවට පත්වූහ. නැටුම කෙරෙහි අනන්ත නා රජුගේ සිත දැඩිව ඇදී ගියේය. නා රජු විණු වෙතින් ඉවත්ව ගොස් යළි නැටුම් බැලීම සඳහා අවුරුදු කීපයක්ම තවුස්දම් පිරූ බව කියති. විෂ්ණුට මෙන්ම ශිවටද දහසක් නම් ඇත්තේය. මහා දේව යනු ඉන් එකකි. සියළුම දෙවිවරුන් එක්ව ගත් කළ ඇති බලයට වඩා බලයක් ශිව දෙවියන්ට ඇති නිසා මේ නම කියති. ඔහු එපමණ බල සම්පන්න වූයේ කෙසේද යන්න මහා භාරතයෙහි දැන්වේ. මහා බ්‍රහ්මගෙන් ලත් වරමක් අනුව අසුරයන්ට මහා බලකොටු තුනක් හිමි විය. මේ බලකොටු බිඳලිය හැක්කේ එකම හිසකින්. එය කළ හැකි දෙවියෙකුට පමණි. අසුරයන් සුරයන්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළ අවස්ථාවේ බලකොටු බිඳලීමට තරම් එකම දෙවි කෙනෙකු හෝ ශක්තිමත් නොවීය. දෙව් ලොවට අධිපති ඉන්ද්‍ර මේ කටයුත්තට සුදුසු පුද්ගලයෙකු ගැන ශිවගෙන් ඇසීය. ශිවට ඇති ශක්තියෙන් භාගයක් ඇත්නම් දෙවිවරුන්ට එය කළ හැකි බව ශිව කීව්වේය. නමුත් මුළු දෙව්ලොව දෙවිවරුන්ටත් ශිවගේ ශක්තියෙන් භාගයක් නොවීය. මේ නිසා දෙවිවරු තමන්ගේ ශක්තියෙන් භාගයක් ශිවට දුන්හ. ඔහු අසුරයන් පරදවා දෙවිවරුන්ගේ ශක්තිය තමන් කෙරෙහිම රඳවා ගත්තේය.වරෙක ශිව දඩයක්කාරයෙකු සේ අර්ජුන ඉදිරියේ පෙනී සිටි බැව් දැක්වෙයි. පාණ්ඩව කුමාරවරුන් වනයේ සැරිසරමින් සිටියදී කෞරව පාණ්ඩව දෙපක්ෂය අතර යුද්ධයක් හට ගන්නා බැව් නියත වශයෙන්ම දැනගත් යුධිෂ්ඨාර පූජා සත්කාර ආදියෙශිව පහදවා තමුන් පරාජය කළ නොහැකි වන සේ වරයක් ලබා ගන්නා ලෙස අර්ජුනට දැන්වීය. හිමාලය වනයට වැදුණ අර්ජුනද මාස ගණනාවක්ම එසේ පූජා සත්කාර හා දුෂ්කර ක්‍රියාවන් කරමින් කාලය ගත කළේය. මේ කාලය තුළ ඔහු ආහාර කරගත්තේ හුළං පමණකි. මේ හේතු කොට ගෙන ඇති වූ බලවේගයෙන් ලොව දැවී යන තරම් තත්වයක් පැන නැගුණි. අර්ජුන ඉදිරියේ පෙනී සිට ඔහු කැමති වරය දීමට ශිව තීරණය කර ගත්තේය. දිනක් අර්ජුන මහ වන මැද ශිව ලිංගය පිදීමෙහි නිරත විය. එහිදී යෝධ වල් ඌරෙකු ඔහු වෙත කඩා පැන්නේය. ඔහු වහාම දුන්න ගෙන ඌරාට විද්දේය. අර්ජුනගේ හීය ඌරාට වැදීමට පෙර වෙනත් කෙනෙකු විසින් විදින ලද හී පහරකින් ඌරා මළේය. ඒ මොහොතේම දඩයක්කාරයෙක් ඔහු ඉදිරියේ පෙනී සිටියේය. තමන්ගේ දඩයමට මැදිහත් වූයේ මන්දැයි ඔහු අර්ජුනගෙ න් ඇසිය. නමුත් වරද තමන් අත නොව එම දඩයක්කාරයා අත යැයි අර්ජුන පෙන්වා දුන්නේය. මෙය දෙදෙනා අතර ආරවුලකට හේතු විය. ආයුධ ගෙන සටන් කිරීමෙන් තීරණයකට බැසීම සඳහා දෙදෙනා සම්මුතියකට එළඹුණහ. දෙදෙනා දුනු හී ගෙන සටනට වන්. නමුත් අර්ජුන කොපමණ දක්ෂ දුනු ශිල්පියෙකු වුවද දඩයක්කරු පැරදවීමට ඔහුට නුපුළුවන් විය. අනතුරුව දෙදෙනා පොර බදන්නට වූහ. මේ පොරය මැද්දේදී තමන් කරමින් සිටි ශිව පූජාව හමාර කිරීමට නොහැකි වූ බව අර්ජුනට කල්පනා විය. ඔහු වහාම පූජාව සඳහා මල් මාලය ගෙන ශිව ප්‍රතිමාව වෙත විසි කළේය. මල් මාලය ශිව ප්‍රතිමාව මත වැටෙනු වෙනුවට තමන් හා පොර මැද සිටි දඩයක්කාරයාගේ බෙල්ලෙහි වැටුණි. එවිට දඩයක්කරු ශිව වේෂයෙන් පෙනී සිටියේය. අර්ජුන ඔහු ඉදිරියේ වැටි නමස්කාර කළේය. අර්ජුනගේ භක්තිය හා ශක්තිය පිළිබඳව පැහැදුණු ශිව බලාපොරොත්තු වූ වරය ඔහුට දුන්නේය. ශිව භක්තිකයන් හඳුනා ගැනීමේ ලක්ෂණයක් ලෙස ඔවුන් අළුවලින් නළලෙහි කරන ඉරි තුන සළකනු ලැබේ. බොහෝ ශිව භක්තිකයන් නිසලව දෙවියන් අදහන නමුත් ඇතැමෙක් නොයෙක් දුෂ්කර ක්‍රියාවන්හි යෙදෙති. දින ගණනක් එකම ඉරියවුවෙන් සිටීම උල් ගැසු ඇඳන් මත නිදා ගැනීම, සිරුරෙන් විශාල මස් කැබලි කපා දැමීම සහ හිස පහතට සිටින සේ ගස්වල එල්ලී ගැනීම ශිව භක්තිකයන් කරන මේ දුෂ්කර ක්‍රියාවන්ගෙන් සමහරකි.
Comments
Post a Comment