gossiplanka image 1
 

ලොව සත්ව ආරක්ෂකයා වශයෙන් සලකන විෂ්ණු නොයෙක් වතාවන්හි නොයෙක් වෙසින් ලොව පහළව අයහපත සිඳ දමා සෙත සැලසීමෙහි යෙදුණි. විෂ්ණු මෙසේ අවතාර දහයකින් ලොව පහළ වූ බව කියැවේ. මත්ස්‍ය, කුර්ම (ඉබි), වරාහ (ඌරු), නරසිංහ, වාමන (අගුටුමිට්ටා), පරසුරාම, රාමචන්ද්‍ර, කෘෂ්ණ, බුද්ධ, කල්කි යනු එම අවතාර දහය වේ. මුලින් දක්වන ලද පස් අවතාර පහළ වූයේ අනෙකුන් ලෝකයන්හිය. ඉතිරි අවතාර හතර මිනිස් ලොවෙහි පහළ විය. කල් කී අවතාරය අනාගතයෙහි පහළ වන්නකි. කෘෂ්ණ සොහොයුරු බලරාම සහ රාමචන්ද්‍ර සොහොයුරු ලක්ෂ්මණ යන දෙදෙනාද විෂ්ණු අවතාරයක් ලෙසද සමහර තැන්වල දැක්වේ. ලොව පහළ වන හැම බලවත් පුද්ගලයෙකුටම දෙවි කෙනෙකුගේ අවතාරයක් ලෙස සළකා පසු කලෙක වැඳුම් පිදුම් කිරීම බොහෝ විට හින්දු ආගමෙහි දක්නට ලැබේ.


(අ) මත්ස්‍ය අවතාරය


ලොව උපන් මුල් පුද්ගලයා වූ ඔහු ආරක්ෂා කිරිම සඳහා මහා බ්‍රහ්ම මත්ස්‍ය වේශයක් ගෙන ලොව පහළ වූ බව මහා භාරතයෙහි සඳහන් වේ. එසේ වුවද මෙම මත්ස්‍ය වේශය ගන්නා ලද්දේ විෂ්ණු විසින් යැයි තවත් තැනෙක දක්නට ලැබේ. මේ මසු මනු රැගත් නැව ලොව පිරී සිටි මහා ජල කඳෙන් එගොඩ කර එය හිමාලය වෙත පැමිණවීය. මේ මත්ස්‍යයා රන්වන් ඇගකින් යුක්තය. සිරුර යොදුන් කෙළක් දිගය.


(ආ) කුර්ම අවතාරය.


සුරයන් හා අසුරයන් එකතුව කිරි මුහුද කළඹද්දී මහ මෙර පර්වතය මුහුදෙහි එරුණි. එය වැළකීම සඳහා විෂ්ණු ඉබි වෙසක් ගෙන කිරි මුහුද පල්ලේ සිට ගත්තේය.


(ඉ) වරාහ අවතාරය


මුලින්ම පොළෝ තලය ජලයෙන් යට වී ගොස් තිබුණි. එය මතුකර ගැනීම සඳහා විෂ්ණු ඌරු වෙසක් ගත්තේය. මෙම ඌරා ජලය පත්ලට කිමිද පොළොව මතුපිටට ආවේය. ඌරාගේ උස යොදුන් දහසකි. පළල යොදුන් දහසකි. ඔහු අඳුරු පැහැතිය.

කෑ ගසන හඬ හෙන හඬ පරදවන සුළුය. දෑසින් නිකුත්වන දිස්නය විදුලිය වැනි වේ.


(ඊ) නරසිංහ අවතාරය


වරාහ විසින් හිරණ්‍යක්‍ෂ මරා දමනු ලැබීය. හිරණ්‍යක සිපු නම් වූ ඔහුගේ තවත් සොහොයුරෙක්ද විය. ඔහු මරා දැමීම සඳහා විෂ්ණු නරසිංහ අවතාරය ග ත්ය. මහ බඹුගෙන් වරම් ලත් හිපාණෝක සිපු මරා දැමීමෙහි සමතෙක් නොවිය. දෙවියන්ට මිනිසුන්ට හෝ සතුන්ට ඔහු මැරිය හැකි නොවේ. දවල් හෝ රැයෙහි හෝ ඔහු නැසිය නොහැකිය. ඔහුගේ නිවසෙහි හෝ ඉන් පිටතදීත් ඔහුට අනතුරක් කළ නොහැකිය. තමාම දේවත්වයෙන් සළකවා ගැනීමේ අභිලාෂයෙන් යුතුව ඔහු සිය රාජ්‍යය තුළ කිසිම දෙවියෙකු ඇදහීම තහනම් කළේය.  


නමුත් ඔහුගේම පුලාද් විෂ්ණු භක්තිකයෙක් විය. වරෙක විෂ්ණු දෙවියන්ට පුද පූජා පවත්වමින් සිටි ඔහු පියාට හසුවිය. එම පුද සත්කාර නතර කරන ලෙස හිරණ්‍යක සිපු තම පුත්‍රයාට අණ කළේය. නමුත් පුලාද් ඊට කන් නොදුන්නේය. ඔහුට කස පහර ලැබුණි. මේ මතයන් දුරුකර ලීම සඳහා ආගම් විරෝධී ගුරුවරයෙකු වෙත ශිල්ප හැදෑරීම සඳහා යවන ලදී. නමුත් ආපසු පැමිණි විටද ඔහු පෙර සේම විෂ්ණු අදහන්නට විය.  හිරණ්‍යක සිපු ඉමහත් කෝපයට පත්විය. සිය පුතුට දෂ්ට කර මරා දැමීම සඳහා විෂඝෝර සර්පයන් යෙදවීය. සර්පයන් දෂ්ට කරන්නට වූ නමුත් පුලා ඒවා නොදැනුණි.


"අපගේ දළ කැඩී ගියේය. සිරුරු උණෙන් පෙලෙයි. සිත් බියෙන් මිරිකී ගියේය. නමුත් පුලාන්ගේ හම සිදුරු කිරීමට පවා නොහැකි විය. රජතුමනි, කරුණාකර අප නිදහස් කරන්න. ඔහුට වෙනත් දඩුවමක් පමුණුවන්නම් මැනවයි.”


සර්පයෝ යදින්නට වූහ. පුලාද්ට ඔහුගේ පියා විසින් නොයෙක් ක්‍රමයේ වධ හිංසා පමුණුවන ලද්දේය. එනමුත් ඒවායින් සිදු වූ පීඩාවක් නැත. මහ කඳුවැනි යෝධ සිරුරුවලින් යුත් ඇතුන්ට පවා ඔහු රිදවීමට නොහැකි විය. මුහුදේ ගිල්වා මැරිමට තැත් කළ නමුත් එයද අසාර්ථක විය. අවසානයේ තර්කයෙන් සියපුතු පැරදවීමට හිරණ්‍යක තීරණය කර ගත්තේය.



"විෂ්ණු ඇදහීමෙන් කිසිම වැඩක් නැතැයි" දිනක් හිරණ්‍යක සිපු සිය මාලිගයේ සිට පුලාට කීවේය. මෙහිදී පුලාද් විෂ්ණුගේ ගුණ කියන්නට විය. හිරණ්‍යක සිපු කෝපයට පත්විය.


"කෝ උඹගෙ විෂ්ණු "

"ඔහු හැම තැනකම සිටී” පුලාද් පිළිතුරු දුන්නේය.

"ඔහු මේ කණු වෙත් සිටීද” "සත්තකින්ම ඔහු එතැනත් සිටි”

"එහෙනම් මම ඔහු මරමි”


හිරණ්‍යක සිපු නැගිට ඇවිත් කණුවට පයින් ඇන්නේය , කණුව තුළින් නරසිංහ පිටවිය. හිරණ්‍යක සිපුව කැබලි කර මරා දැමීය. මේ සිද්ධිය වුයේ රැයටත් දවාලටත් නොගැනෙන සවස් කාලයේය. ඔහුගේ ගෙයින් පිට නොවු එළිපත්ත මතය. හැරත් නරසිංහ මිනිසෙකු දෙවියෙකු හෝ තිරිසන් සතෙකුද නොවීය.


(උ) වාමන අවතාරය


බලි කුමරු පුලාද්ගේ මුනුබුරෙකි. ඔහු දැහැමින් රාජ්‍යය කළ නමුත් තව තවත් රාජ්‍යයන් අල්ලා ගැනීමේ ආශාවෙන් සිටියේය. ඔහු තම රාජ්‍යය විශාල කර ගැනීමේ අදහසින් නොයෙකුත් යාග, හෝම, පවත්වන්නට විය. බලිගේ අදහස වුයේ ශක්‍ර පුරය තෙක් රාජ්‍යය විශාල කර දෙවියන් පලවා හැරීම බව දැනගත් ඉන්ද්‍ර බියට පත්විය. ඔහු මෙතැන්හිදී සුරගුරු බ්‍රහස්පතීන්ගෙන් උපදෙස් ලබා ගත්තේය.


"බලි සුර පුරය අත්පත් කර ගැනීමට තරම් පුද පූජා පවත්වා ඇති බැවින් ඔහු වැළකිය නොහැක්කේය.” කියමින් දෙවියන්ට දෙලොව අතහැර යන ලෙස බ්‍රහස්පතී අවවාද කළේය. මේ පිළිබඳව විණුට දන්වන ලදුව ඔහු බ්‍රහස්පතීගේ පුතුව උපන්නේය. ඔහු විරූපී අගුටු මිටෙකු වුයෙන් වාමන නම් විය. තරුණ වියට පත් වාමන සිගමන් ඉල්ලා බලිවෙත ගියේය. ත්‍යගශීලි භාවය පිළිබඳව නමක් දිනා සිටි බලි කැමති යමක් ඉල්ලන ලෙස කීවේය. තමන්ට පියවර දෙකක් තැබීමට පමණ වු බිම් පෙදෙසක් ඔහු ඉල්ලා සිටියේය. ඊට අවසර ලැබුණි. වාමන විශාල සිරුරක් මවාගෙන පියවර දෙකකින්ම තුව්ලොව ඉක්මවා සිටියේය. අනෙක් පියවර තැබීමට තැනක් නොවීය. පොරොන්දු පරිදි බිමක් නුදුනෙන් ඔහු බලිට චෝදනා කොට අසුර ලොවට පැන්නීය.  ස්වකීය වැසියන්ට ඉමහත් ආදරයක් දැක් වු බලි අවුරුද්දකට වරක් සිය රාජ්‍යයට ඒම සඳහා විෂ්ණුගෙන් අවසර ලබා ගත්තේය. මලබාර්හි අවුරුදු පතා පැවැත්වෙන "ඕනමි” නම් වු උත්සවය බලි රජු පිළිගැනීම සඳහා වූවක් සේ සළකති. දින දහයක් තිසන්සේ පැවැත්වෙන මෙම උත්සව සමයෙහි එහි වැසියෝ කා බී නටා ප්‍රීති වෙති. ඛලි යනු ආර්යයන් විසින් යටත් කරන ලද ජනප්‍රිය ද්‍රවිඩ රජෙකැයිද මතයක් ඇත. ඔහු මහා ඛලි පුරයේ රජෙකු ලෙස සිටියේ යැයි සැලකේ