gossiplanka image 1
 




ජිවිතයට දිරි දී ජීවිතය ජය ගන්න උත්සාහ කරමින් සිටියදී ඒ බලාපොරොත්තු සුන්වී ඇදවැටෙන ජීවිත යළි ගොඩගන්න කාලි මෑණියන් අත දුන් අවස්ථා එමට බව මහේන්ද්‍ර සාමි පවසයි. එවැනි අන්දමේ කාන්තාවන්ගේ හදවත නිහඬව ඉකිබිඳින හඬ කාලි මෑණියන්ටද ඇසෙන්නට වැඩි වේලාවක් ගත නොවේ. ඒ අයගේ දුක කඳුළ සැමවිටම කාලි මෑණියන්ගේ දෑස් අතරට එක්වීමටද වැඩි දින ගණනක් ගත නොවේ. සල්ලි පොලියට අරන් දී අනුන්ට ගිනිදෙමින් පොහොසත් වීමට උත්සාහ දරන පුද්ගලයන් යහමගට නියම මගට දැමීමට කාලි මෑණියන් උත්සාහ ගත් අවස්ථා ද ඇති බව කාලිකෝවිලට දිව එන ඇතැම් පුද්ගලයන්ගේ ජීවිත කතාවලට එක්වී තිබේ. නැති බැරිකම දරුවන්ගේ ප්‍රශ්න මත එවැනි දෙයට උනන්දුවන කාත්තාවෝ අද සමාජය තුළ කොතෙකුත් සිටිති. අනුන්ට සල්ලි

පොලියට දී ගිනි පොලී අයකර ගන්නා පුද්ගලයන්ට මේ ආත්මය තුළම අනිටු විපාක අත් වූ අවස්ථාද එමටය. සුරාවට සූදුවට මැදිව සිටිනෝ වැනසෙනෝය යන්න ගිනි පොලීකරුවාටද එසේමය. එවැනි අන්දමේ සිද්ධියකට මැදිවී මුහුදේ රළ බිඳෙන හඬ දෙසට දෑස් යොමාගෙන කඳුළු සැලූ එවැනි අන්දමේ කාන්තාවක කාලි මෑණියන් බේරාගෙන ඇය හොඳ මගකට ගත් සිද්ධියක අතීත කතාවක් කියන්නට මෙවරද කටහඬ අවදිකර සිටියේ හලාවත මහා භද්‍රකාලි අම්මාන් කෝවිලේ මහේන්ද්‍ර සාමිය. මම මේ කියන කාන්තාව දකුණු පළාතේ වැලිගමට නුදුරු වෙරළාසන්න ප්‍රදේශයක පදිංචි කාන්තාවක්. ඒ පළාතේ ව්‍යාපාරික බිරින්දෑවරුන් සමග ඇය කිට්ටු සම්බන්ධකම් පැවැත්වූවා. ඒ අයගෙන් මුදල් පොලියට අරන් මුදල් අවශ්‍යතා තියෙන ගමේ කාන්තාවන්ට මුදල් ගිනි පොලියට ලබාදුන්නා.


ඒ ලාභාංශවලින් තමයි එයා එයාගේ ගේ දොර ගොඩනැගුවේ. දියුණු වුණේ. ඒවායෙන් ලැබෙන ලාභාංශවලින් ඇඳුම් මහන මැෂින් දෙකක් දමාගෙන සුළු ව්‍යාපාරයකුත් ගෙනගියා. එයාගේ මැහුම් රස්සාවට ගමේ දුප්පත් ළමයින් දෙතුන් දෙනකුත් අරන්ගෙනයි හිටියේ. ඒ කාන්තාවගේ සැමියා රජයේ රැකියාවක් කරන අයෙක්. ඒ කාන්තාව අනුන්ට ගිනි පොලියට මුදල් අරන්දීම කොච්චර වැඩිවුණා ද කියනවානම් ඇතැම් අවස්ථාවල රුපියල් ලක්ෂය ලක්ෂ දෙක පවා පිටස්තර අයට අරන් දුන්න අවස්ථා තිබුණා.ඒ අයට හිටිය දරු තුන්දෙනා නිසා ඒ අයගේ ගෙදර වියදමත් වැඩිවෙන්න වුණා. ඒ කාන්තාවගෙන් පොලී මුදල් ගත්ත කාන්තාවන් වෙලාවට පොලී මුදල් එයාට ගෙවීම සිදුකළා. එයාගෙන් පොලියට මුදල් ලබාගන්නා කාන්තාවන්ගේ සංඛ්‍යාවද දවසින් දවස වැඩිවෙන්න පටන්ගත්තා. එයින් සමහර කාන්තාවන් ධීවර පවුල්වීම ද විශේෂත්වයක්. දින සති මාස ගණන් ගෙවී යද්දී මේ කාන්තාව ඒ පොලී සල්ලිවලින් ගේ දොර හොඳට හදාගෙන සැපවත්  ජීවිතයක් ගතකළා. එහෙම හිටපු ඒ කාන්තාවගේ ඉරණම ආපසු  කැරකැවී ගියේ 2004 දෙසැම්බර් 26 දිනය. ඒ සුනාමිය උතුර, නැගෙනහිර, දකුණු වෙරළාසන්න ප්‍රදේශ ගිලගත් අවස්ථාව.


පළමුවැනි සුනාමි රැල්ල ඇවිත් ආපසු යද්දි මේ කාන්තාව සැමියා සහ දරු තිදෙනා සමග ගමෙන් ඔබ්බට උස් ස්ථාන වෙත දිවගොස් ජිවිතය බේරාගත්තා. එත් මේ කන්තාවගෙන් පොලියට සල්ලි අරන් තිබුණු සියලු දෙනා සුනාමියට බිලිවුණා. ඒ අවාසනාවන්ත සිද්ධියත් සමග මේ කාන්තාව සුනාමියෙන් බේරුණත් මේ කාන්තාවට සල්ලි පොලී කරන්න රුපියල් ලක්ෂ ගණනින් මුදල් දුන්න ව්‍යාපාරික බිරින්දෑවරුන් එයා තාවකාලිකව නැවතී සිටිය ඒ කාන්තාවගේ මවගේ ගෙදරට ඇවිත් ඒ සල්ලි ආපසු ඉල්ලල කරදර කරන්න පටන්ගත්තා. ඒ කරදරයද ඒ කාන්තාවට දරාගන්න බැරිතරම් වේදනාවක් වුණා. ඒ වගේ අවස්ථාවලදී ඇයට හිතුණේ සුනාමියට බිලිවුණා නම් හොඳයි කියල. ඒ කාන්තාවට ඇතිවුණ ඒ සිතිවිල්ල එයා මේ කාලි කෝවිලට ආව වෙලාවේ මා සමඟත් කියලා හඬා වැලපුණා. ඒ කාන්තාව කාලිකෝවිලට ඇවිත් කාලි මෑණියන් ඉදිරියේ වැඳවැටෙමින් පැය ගාණක් එයාගේ දුක හිතෙන කතාව කාලි මෑණියන්ට පවසමින් හඬා වැටුණා කාලි මෑණියන්ගෙන් පිහිටක් බලාපොරොත්තුවෙන්. ඒ දර්ශනය ඒ වෙලාවේ කාලිකෝවිලට ඇවිත් හිටිය අනෙකුත් බැතිමතුන්ගේ අවධානයට යොමු වුණා. ඒ කාන්තාව මීට පෙර කිසිදිනක කාලි කෝවිලට ආව අයෙක් නොවෙයි. එදත් එයා ඇවිත් තිබුණෙ එයා හඳුනන මීගමුව පළාතේ ධීවර පවුලක ඥාතියකු සමඟ. පස්සේ ඒ කාන්තාව සුනාමියට අහුවෙලා බිලිවෙච්ච කාන්තාවන් 10-12දෙනකුට විතර දීල තිබුණ මුදල් ප්‍රමාණය ගැනත් කාලි මෑණියන් ඉදිරියේ තොරතුරු හෙළි කර සිටිමින් හඬා වැටුණා. ඒ කාන්තාව වැටී සිටින අන්ත අසරණභාවය ගැන කාලි මෑණියන්ට කියා සිටියේ මේ හේතුව මත තම දරුවන්ගේ පාසල් ගමනද අඩාල වී ඇති බව පවසමින්. එහෙම දුක කියලා කාලි මෑණියන් යැද පොල් ගසා ඇය කෝවිලෙන් පිටව ගියේ කාලි මෑණියන් කෙරෙහි දහසකුත් බලාපොරොත්තු ඇතිව. ඒ ගිහිං සති දෙකකින් විතර එයාට සල්ලි පොලියට දුන්න ව්‍යාපාරික බිරින්දෑවරුන් දෙදෙනකු එයා සොයාගෙන ඇවිත් එයාට කීව දෙයින් ඒ කාන්තාව පුදුමයට පත්වුණා. ඒ අය ඒ කාන්තාවට කියා සිටියේ ඒ ගත් මුදල් පුළුවන් අවස්ථාවලදී කොටස් වශයෙන් දෙන්න කියල. ඒකට අවුරුදු තුනක කාලසීමාවක් දීලා ඒ කාන්තාවන් දෙදෙනා ඇගේ නිවෙසින් පිටව ගියා.


මේ අතරතුර ඒ කාන්තාවට දෑස් අදහාගන්න බැරි තරමේ සිද්ධියක්ද සිදුවුණා. ඒ කාන්තාවගේ ඉතාලියේ රැකියාව කළ අවිවාහක මාමණ්ඩි කෙනෙක් වසර 15කට පස්සේ ලංකාවට ඇවිත් ඇයව සොයාගෙන ආවා. සුනාමි සිද්ධියෙන් මේ කාන්තාවටත් විපතක් වෙන්න ඇතැයි කියලා ඒ අයට ඉතාලියේදී මතක් වීම නිසයි මෙයා සොයාගෙන ඇවිත් තිබුණේ. මෙයාගේ අනෙක් ඥාතීන් මේ කාන්තාව ගැන ඉතාලියේ හිටිය මාමණ්ඩියට බොරු කියලා එයාගේ හිත මේ කාන්තාව කෙරෙහි බිඳවල ඒ අයත් මේ කාන්තාවගෙන් කොන්කරලයි තිබුණේ. කොහොම නමුත් වසර 15කට පසුව මේ කාන්තාව සොයාගෙන ආව ඒ ඥාතියාට කාන්තාව පදිංචිව සිටින නිවෙස සොයා ගැනීමට හැකිවුණා. පස්සේ මේ කාන්තාව එයා අද වැටිල ඉන්න අසරණ තත්ත්වය ගැන මුල සිට අග දක්වාම ඒ ඉතාලියේ ඉඳන් ආව ඥාතියාට කියලා තියෙනවා.


එයාගේ දුම්ගැනවිල්ලට කන්දුන්න ඒ අය එවෙලේම විශාල මුදලක් මේ කාන්තාව අතට පත් කෙළේ ගෙයක් දොරක් හදාගෙන මැහුම් කර්මාන්තය දියුණු කරගන්න කියල. ඒ විතරක් නෙවෙයි ඒ ඥාතියා එයාට දුන්න එකම අවවාදය තමයි අනුන්ට ගිනි පොලියට සල්ලි අරන්දෙන වැඩවල යෙදෙන්න එපා යන්න. ඒ අවවාද එලෙසම පිළිගත්ත ඒ කාන්තාව සල්ලි පොලියට අරන් දී තිබුණු සුනාමියෙන් මුහුදට බිලිවුණ කාන්තාවන්ගේ සල්ලි සේරම අර ව්‍යාපාරික බිරින්දෑවරුන්ට ගෙවලා ඒ ණයෙන් නිදහස් වුණා.  මේ සිද්ධිය ඒ කාන්තාවට අදහාගන්න බැරි සිද්ධියක් වුණා. ඇය මානසික සුවය ලබාගන්නට වගේම ණය බරින් බේරීමට අත දුනේ කාලි මෑණියන්න කියන එක ඇය විශ්වාස කළා. හලාවත කාලි කෝවිලට ගිහින් කාලි මෑණියන් අයැද ඇවිත් මාස එකහමාරක් ගතවන්නටත් පෙර ඇති වූ මේ සැබෑ වෙනස්කම ගැන පුදුමයෙනත් පුදුමයට පත්වෙලා ඒ කාන්තාව එයාගෙ සැමියා සහ දරුවන් සමග කාලිදේවාලයට ආවේ විශේෂ පූජාවක්ද අතැතිව. ඒ ඇවිත් කාලි මෑණියන්ට පූජාව ඔප්පු කරලා තමන් ණය බරින් නිදහස් කරගත්ත කාලි මෑණියන්ට පින් දුන්නා. ඒ විතරක් නොවෙයි කිසි දිනෙක සල්ලි පොලී කරන වැඩවල යෙදෙන්නේ නැහැ කියලා එයා කාලි මෑණියන්ගේ දෙවොල ඉදිරිපිට වැඳ වැටිලා පොරොන්දු වුණා. කාලි මෑණියන්ගේ අනුකම්ප දෑස් ඒ අය වෙත යොමුවීම නිසා දැන් ඒ කාන්තාව මැහුම් ව්‍යාපාරයෙන් හොඳට දියුණු වෙලා සමාජයේ ජීවත්වෙනවා. ඒ අය සෑම මාස දෙකකට සැරයක්ම කාලි කෝවිලට දුර ගෙවාගෙන එනවා.