කෙම
ඇදීම නිසා වැරහැලි වුණ වස්ත්‍රයක් කැබලි වලට ඉරා රියන් එකහමාරක් පමණ උසින් හේන වටේ ඇති ගස්වල කතා නො කර එල්ලනු. හේනට වල් ඌරන් ගේ පැමිණීම නතර වේ.
එහි විද්‍යාත්මක පදනම
හේන් ගොවිතැනට වල් ඌරන් ගෙන් වෙන හානිය සුළුපටු නොවේ. එම නිසා වල් ඌරන් පළවා හැරිමට හේන් ගොවියන්ට සිදු වේ. ඒ සඳහා ඔවුහු විවිධ උපක්‍රම භාවිතා කරති. ඒවා අතර කෙම් ක්‍රමවලට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි. එම කෙම් ක්‍රම ගත්කල පොදුවේ හැම සතෙකුටමත් කළ හැකි කෙම් ක්‍රම මෙන් ම එක් එක් සත්ව කොට්ඨාශවලට වෙන් වෙන් වශයෙන් කළ හැකි කෙම් ක්‍රම ද දැකිය හැකි ය. මෙහි ඉතහ සඳහන් වන්නේ වල් ඌරන් පළවා හැරීම සඳහා වෙන්වුණ කෙමකි. මෙම කෙම මගින් වල් ඌරන් හැරුන විට වෙනත් සතුන් පළවා හැරිය හැකි යයි හේන් ගොවියෝ විශ්වාස නො කරති.
මෙම කෙම ද අන් කෙම් ක්‍රම මෙන් ක්‍රියාවට නැංවීම අපහසු නොවේ. කළ යුත්තේ පාවිච්චි කිරීමෙන් පරණ වී ගිය වස්ත්‍රයක් කෑලිවලට ඉරා කෙමේ සඳහන් පරිදි හේන වටේ එල්ලීම ය. එසේ කළ විට වල් ඌරන් ගේ පැමිණීම මුළු මනින් ම නතර වේ. ඊට හේතු ව කුමක් ද? යන්න අවබෝධ කර ගැනීම අපහසු කාර්යයක් නොවේ. වල් ඌරා ද අන් සතුන් මෙන් අවට වටපිටා වේ අනතුරුදායක තත්ත්වයන් ඇද්දැ යි නිතර විමසිල්ලෙන් පසුවෙන සතෙකි. කෑම සොයා කැලේ සැරි සරද්දීත්, ඒ සඳහා හේන් කුඹුරුවලට ඇතුල් වෙද්දීත්, අනතුරක සේයාවක් ඇත්දැයි සිය ඉව මගින් විමසා බැලීම උගේ සිරිත ය. ඉහත සඳහන් කෙම කරන ලද හේනට සමීප වෙද්දී වල් ඌරාට මිනිස් ඉව දැනේ. ඊට හේතු ව මනුෂ්‍ය පරිහරණය කළ වස්ත්‍රයක කැබලි හේන වටේ එල්ලා තිබීම ය. නැවත නැවතත් ඉවකර බැලීමේ දී රෙදි කැබලි පොළවට සමීපව එල්ලා තිබෙන බැවින් එම ඉව වල් ඌරාට හඳුනා ගැනීමට හැකි වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් හේනට වදින්නට පැමිණි වල් ඌරෝ ඒ අසලකවත් නො සිට පළා යති. කතා නො කර රෙදි කැබලි එල්ලීම කළ යුතුව බව ද කෙම හා බැඳී ඇති නියමයකි. එමගින් විශේෂ කාර්යයභාරයක් සිදු වෙතැයි නිගමනය කිරීම අසීරු වුව ද මෙම සතු අනන්‍යතාවයත්, ගෞරවයත් තහවුරු වෙන බව සැළකිය හැකි ය.
Comments
Post a Comment