gossiplanka image 1
 


කෙම


කැලෑවේ දී පාර වැරදුණ විට දෙවියන් සිහිකර කතා නො කර අත්තක් කඩා ගසක එල්ලා එම ගස යට වාඩි වී ටික වෙලාවක් සිටිනු පාර සොයා ගැනීමට හැකි වේ.


එහි විද්‍යාත්මක පදනම


මීයක් කැඩීමට, ලීයක් කැපීමට, වැලක් ඇදීමට හෝ දඩයමක් කර ගැනීමට කැලයට වදින ගැමියා, එම කැලයට කෙතෙක් දුරට පළපුරුදු පුද්ගලයෙක් වුව ද පාර වැර දී අතර මං වෙන අවස්ථා විරල නොවේ. එසේ වන්නේ මං මුලා වැල් පෑගීමෙන් හෝ දේව උදහසක් නිසා යයි ඔවුහු විශ්වාස කරති.ඔවුන් ගේ නිගමනය එ ලෙස වුව ද මීට බල පැවැත්විය හැකි ඉන් ඔබ්බට ගිය කරුණු කාරණා ද නැතුවා නොවේ. ඒ පිළිබඳ ව අවධානය යොමු කිරීමේ දී යථාර්ථය කුමක් ද කියා හඳුනා ගැනීමට පුළුවන. එ වන් තත්වයකට පත්වීම මං මුලා වැල් පෑගීමක්, දෙවියන් උදහස් වීමක් වුණත් නැතත් සැබවින් ම මංමුලාවට පත් වීමකි. එ බඳු අවස්ථාවල දී ගැමියා ගේ සිරිත වන්නේ කෙම් පහන්වල පිහිට සෙවීම ය. එමගින් පිළිසරණ ලබාගෙන වන සතුන් ගහන කැලයෙන් නිරුපද්‍රිත ව එළියට යෑම ය. ඒ සඳහා ඔහු විසින් කරනු ලබන ප්‍රචලිත කෙමකි ඉහත සඳහන් වන්නේ. එය අයියනායක දෙවියන් ගේ පිහිට ඉල්ලා සිටීමක් විය හැකි ය. එසේ නැත්නම් ඒ පළාතට අධිගෘහිත දෙවි කෙනෙකු ගේ පිහිට ඉල්ලා සිටීමක් විය හැකි ය.


දෙවියන් කෙරෙහි ඇති දැඩි භක්තිය හා විශ්වාසය ඔහු ඒ සඳහා පොළඹවනු ලැබේ. මංමුලා වැල් පෑගීම හෝ දෙවියන් උදහස් වීම කෙසේ වෙතත් මෙහි දී සිදුවන්නේ ඊට ඉඳුරා ම වෙනස් ක්‍රියාවලියකි. ඔහු මංමුලා වෙන්නේ කැලයේ ඇවිද ගත සහ සිත විඩාවට පත්වීම නිසා ය. අත්තක් එල්ලා ගසයට වාඩි වී මද වෙලාවක් සිටින විට ගත සහ සිත සැහැල්ලුවට පත් වේ. දෙවියන් කෙරෙහි ඇති විශ්වාසය ද චිත්ත ශක්තිය ගොඩ නැගීමට ඉවහල් වෙයි. එ විට විමසුම හැර ගිය සිත යථාතත්වයට පත් වෙයි. ඉක්බිති ඔහු පියවි තත්වයට පැමිණේ. දරන සුළු උත්සාහයේ දී ම ඔහුට නිවැරදි ව පාර හොයා ගැනීමට හැකි වෙයි. කැලයෙන් එළියට බහින ඔහු දෙවියන්ට පින් දෙමින් නිරුපද්‍රිත ව නිවස බලා යයි.  ඔහු ගේ ඇදහිලි හා විශ්වාස මත එය දේව හාස්කමකින් සිදුවුණ දෙයක් යයි පැවසීමට ඔහු කිසි විටෙකත් මැලි නො වෙයි. එය එසේ නොවේ යයි අර්ථකථනය කිරීමට ද කිසිවෙක් නො පෙළඹෙති. ඔවුන් හැම කෙනෙක් ම මෙවන් ඇදහිලි හා විශ්වාස මත සාර්ථක ප්‍රතිඵල ලබමින් ජනදිවිය පවත්වා ගෙන  යන බැවිනි.මෙම අපූරු කම ගැමියාට කැලයේ අතරමං වුණ විට පාර සොයා ගැනීමට ඉඩ හසර සලසා ඇති අයුරු කදිම ය.