විශ්ව සංගීතයේ සිංහල ලකුණ ලෙස අවිවාදයෙන් යුතුව හැඳින්විය හැකි මුදුන් මල්කඩ බඳු පණ්ඩිත් අමරදේවයන් 1927 දෙසැම්බර් 05 මොරටුව, කොරළවැලේදී ඩබ්ලිව් ඩී. ඇල්බට් පෙරේරා නමින් උපත ලබන මොහොතේ නැගෙනහිර සිතිජයෙන් උඩට මතුවී තිබුණු ලග්න රාශිය වූයේ ශනි හිමි මකර රාශියයි. සරස්වතියගේ ඇල්ම බැල්ම පරිපූණව ලබමින් බුද හිමි රේවතී නැකතෙන් උපන් මෙතුමාගේ ලග්නාධිපති ශනි උපතේදී අයස්ථානය වූ එකොළොස්වැන්නේ රවි, කුජ, බුධ සහ කොත්තු සමගින් සංයෝගව ප්‍රබල ලෙස සිටිනු දැකගත හැකිය. ලග්නාධිපති මෙන්ම දෙවැන්නාධිපතියාද වන ශනි එකොළොස්වැන්නේ බලවත් වීම මනා පෞරුෂයක් සමාජය තුළ ගොඩනගා ගනිමින් තම හැකියාව තුළින් දියුණු වනෙකු වන බව ප්‍රකට කරයි.මේ අතර හය අධිපති බුධ සහ අට අධිපති රවි එකොළොස්වැන්නේ ලග්නාධිපතිට යෝග වීමෙන් යෙදුන දුලභ රාජ යෝගය සිංහල සංගීත විලේ රන් පියුම ලෙස වැජබීමට මහෝපකාරි වූ සුවිශේෂී ග්‍රහ බලය ලෙස දැක්විය හැකිය.
ඊට අමතරව මෙතුමාගේ ජීවිතයට ආලෝකය ගෙනදුන් ප්රබලතම ග්‍රහ පිහිටීම් දෙකක් ලෙස වික්‍රමස්ථානය වූ තෙවැන්නේ ස්වරයට අධිපති ගුරු සහ සිතට අධිපති සඳුගෙන් යෙදුන "ගජකේෂරි' යෝගය මෙන්ම පස්වැන්නාධිපති කලාකාමී සිකුරු දසවැන්නේ ස්වක්ෂේත්රව සිටිමින් යෙදුන මාලවී නම් මහා පුරුෂ යෝගයද හැඳින්විය හැකිය. අමරදේවයන්ගේ ජීවිතයේ වූ සුවිශේෂී සිදුවීම් බොහොමයක්ම මෙම ග්රහයින්ගේ මහ දශාවලදී සිදුවීම ඊට සාක්ෂි සපයයි. 1940 දශකයේදී කලා ලෝකයට පිවිසීම, 1946 දී පමණ "අශෝක මාලා"හී ගීත ගායනා කරමින් චිත්‍රපට පසුබිම් ගායනයට එක්වීම මෙන්ම 1954 වැඩිදුර සංගීත අධ්‍යාපනය පිණිස භාරතය බලා පිටත්වීම වැනි දෑ සිදුවූයේ මෙතුමා සිකුරුගේ මහ දශාව ගත කරන අවදියේය. 1964 අමරදේවයන්ගේ විවාහය සිදුවීම සහ 60 දශකයේදී එතුමා චිත්‍රපට සංගීත අධ්‍යක්ෂකවරයකු වශයෙන් තම ප්‍රතිභාව විදහා පාමින් සම්මානයට පාත්රවීම ආරම්භ වීම අයත්වන්නේ රවි සහ සඳුගේ මහා දශාවන්ටය. ලෝ ප්‍රකට " මැග්සෙසේ" සහ ඉන්දියාවෙන් හිමි වූ "පද්ම ශ්‍රී” සම්මානයන්ගෙන්ද පිදුම් ලබන විට අමරදේවයන් ගත කරමින් සිටියේ ගුරු මහ දශාවයි.රාහු පස්වන්නේ සිට ලග්නය සහ ලග්නාධිපති දැකීම ජන්මියා ප්‍රකට කරවන පිහිටීමක් වන අතර එකොළහ සහ සිව්වැන්නාධිපති ස්වක්ෂේත්ර බලයෙන් ලග්නාධිපති හා යෝගවීම තියුණු බුද්ධියකින් හෙබි කලා ප්රාඥයකු බිහිකිරීමට මග පාදා තිබේ. නවය අධිපති බුද ග්‍රහයාද ලග්නාධිපතිට එක්වී සිටීමෙන් සහ සකල කලාවටම අධිපති සිකුරුගේ තැන්පත් වීමේ බලය අනුව සංගීතයට පමණක් නොව ලේඛන කලාවටද මෙතුමා තුළ වූ හැකියාව සනාථ වූ අතර අමරදේවයන් විසින් ලියන ලද නාද සිත්තම්' නම් ශාස්ත්‍රීය ග්‍රන්ථය වෙනුවෙන් 1989 දී මෙතුමාණෝ රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන්ද පිදුම් ලැබූහ.
Comments
Post a Comment