gossiplanka image 1
 



සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගයට නායකත්වය දෙමින් 56 පෙරළිය මතින් අග්‍රාමාත්‍යධුරයට පත් එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාට මෙරට දේශපාලන ඉතිහාසය තුළ හිමිවන්නේ සුවිශේෂී තැනක් බව කීම අතිශයෝක්තියක් නොවේ. බටහිර ගැති රදළ පවුලක ඉපිද අවසානයේ ඒ සියලු පවුරු සිඳ බිඳ දමමින් බහුතර ජනයාගේ අයිතීන් දිනාදීම වෙනුවෙන් පෙරමුණ ගත් මෙතුමා එවන් වූ උදාර චරිතයක් බවට පත්වන්නේ කෙසේද යන්න පිළිබඳ විමසා බැලීමේදී කුම්භ ලග්න හඳහනේ දසවැන්න සහ නමවැන්න තුළ පිහිටි ග්‍රහයින්ගෙන් වූ මෙහෙය සුළුපටු නොවන බව පැහැදිළි වෙයි. උපතේදී ලග්නාධිපති ශනි දසවැන්නේ භාග්‍යස්ථානාධිපති සිකුරු සමග යෝග වී දසවැන්නේ තැන්පත් වී සිටින අතර සඳු සහ කුජන්ගෙන් යෙදුනු නීච භංග පරිවර්ථන යෝගයද ඒ සමග යෙදී තිබෙන බව පෙනෙයි. ලග්නාධිපති හා නමවැන්නාධිපතිගේ සංයෝගය මෙන්ම නමවැන්නේ සිටි ගුරු ලග්නය දැකීම යුක්තිය, සාධාරණත්වය, මානව දයාව සමානාත්මතාවය ආදී උසස් ගුණ ධර්ම වැඩි දියුණු වීමට ඉවහල් විය. ඊට අමතරව ස්වරයට අධිපති ගුරු දෙවැන්නාධිපති ලෙස නමවැන්නේ සිටීම ආසියාවේ රිදී සීනුව ලෙස විරුදාවලී ලත් මෙතුමා වාග් චාතුර්යයෙන් අනූන අයකු බව ප්‍රකට කරයි. 1899 ජනවාරි 8 උපන් මෙතුමාගේ අට අධිපති බුධ, රවි සමඟ එකොළහේ සිටීමෙන් යෙදුන විපරිත යෝගය මෙන්ම නීච කුජ සහ සඳුගෙන් යෙදුන රාජ යෝගයේ බලයද ක්‍රියාත්මක වෙමින් තිබුණ ද රාහු සහ ක්ලට සෙසු ග්‍රහයින් මැදිවීමෙන් යෙදුන කාල සර්ප යෝගය මෙන්ම නීච කුජ හයවැන්නේ සිට දසවැන්න දැකීම හා ශනි අටවැන්න අධිපතිගේ නැකතක සිටීමේ අනිටු පලද බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ට විඳීමට සිදුවිය. එතුමාගේ ජීවිතයේ වැදගත්ම කාල පරිච්ඡේදය වන්නේ 1942 සිට ඇරඹි සිකුරුගේ මහ දශා කාලයයි. නමුත් සිකුරු, ලග්නාධිපති මෙන්ම දොළොස්වැන්න අධිපතිද වූ ශනි හා නීච සඳු සමඟ සංයෝග වී නීච කුජගේ පාප දෘෂ්ටියට ලක්ව සිටියේය. මොහු එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගනු ලබන්නේ සිකුරුගේ රාහු අතුරු දශාව ගෙවමින් සිටියදීය. ඒ 1951 දීය. මහා පෙරළියක් කරමින් 56 අග්‍රාමාත්‍යධුරයට පත්වන විට බණ්ඩාරනායක මැතිඳුන් ගත කරමින් සිටියේ ලග්නාධිපති ශනිගේ අතුරු දශාවයි. 1959 ඔක්තෝම්බරයේ සාහසිකයකුගේ වෙඩි පහරකට ලක්ව මෙලොවින් සමුගන්නා විට මෙතුමා සිකුරුගේ බුධ අතුරු දශාව ගත කරමින් සිටියේය. බුධ කුම්භ ලග්නයට අට අධිපති වී සංයෝගව සිටියේ රවි සහ නීච රාහු සමඟය