gossiplanka image 1
නිදහස් ශ්‍රී ලංකාවේ තෙවෙනි අග්‍රාමාත්‍යවරයා ලෙස ඉතිහාසයට එක්වන ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා මෙරට දේශපාලන කරළියේ නොමැකෙන චරිතයක් බවට පත්වන්නේ ඔහුගේ හුදු දේශපාලන ක්‍රියාකාරකම් නිසාම පමණක් නොවේ. හෙතෙම තම අසාමාන්‍ය ඇවතුම් පැවතුම් හේතුවෙන්ම සාමාන්‍ය ජනයා අතරද ජනප්‍රිය චරිතයක් බවට පත් වූ අයෙක් බව කීම නිවැරදිය. ඩඩ්ලි සේනානායක අතැර දමා ගිය අගමැති පුටුවේ පරණ පිනකට හිඳගැනීමට තරම් භාග්‍යවන්තයෙකු වූ මෙතුමා සිකුරු හිමි වෘෂ ලග්නයෙන් උපන් අයෙකි. දේශපාලකයකුටත් වඩා සෞන්දර්යවාදී විනෝදකාමී මිනිසෙකු ලෙස ප්‍රකට වූ මෙතුමාගේ ලග්නාධිපති උපදී සිටියේ සිතට අධිපති සඳු සමග කුජ හිමි මේෂ රාශියේය. (සිකුරු නවාංශකයේද සිටින්නේ කුජ හිමි වෘශ්චික රාශියේය) ඒ අනුව දැඩි පෞරුෂයක් සහ ශෘංගාරාත්මක සිතුවිලි ජනිත වීමට උක්ත ග්‍රහ බලය උපකාරී වූ බව පැහැදිළි වන අතර එකොළොස්වන්නාධිපති ගුරු සහ හතරවැන්නාධිපති රවිගෙන් යෙදුන පරිවර්තන යෝගය මෙන්ම රවිට සංයෝග වූ බුධ සහ ගුරු කෙරෙන් යෙදුණු නීච භංග යෝගයද මෙතුමාගේ ජීවිතයට බලපෑම් කළ සුවිශේෂී ග්‍රහ පිහිටීම් වෙයි. මීට අමතරව දේශපාලන පිටියේ මෙන්ම ඉන් පිටතදී මනා පෞරුෂයකින් හෙබි භූමිකාවක් පෑ මෙතුමාගේ වාග් විලාශයද සෙසු දේශපාලකයින්ට සාපේක්ෂව තරමක රළු බවක් ගැනීමට කුජගේ පිහිටීම ඉවහල් විය. මේ අතර අසරණ මිනිසුන් කෙරෙහි දැඩි අනුකම්පාවකින් සහ ත්‍යාගශීලී බවකින් ක්‍රියා කිරිමේ මානව දයාවක් මෙතුමා තුළ ජනිත කරවීමට නමවැන්නාධිපති ශනි හත්වැන්නේ දිග් බලව සිටීම බලපෑම් කළ බව පෙනේ.