කෙම
මී මැසි ජනපදයක් ලැගුම් සොයා යනවිට කතා නො කර ලෝහයකට තවත් ලෝහයකින් ගසනු. එවිට මී මැස්සෝ එම හඬ නැගුණ ඉසව්වට පහත් වී ලැගුම් ගනිති.
එහි විද්‍යාත්මක පදනම
මී මැසි ජනපද පවත්වාගෙන යෑම ප්‍රයෝජනවත් ක්‍රියාවකි. ගම්බද පෙදෙස්වල බොහොමයක් නිවෙස් අසල මී මැසි ජනපදයක් කළයක, ගස් බිලයක, එසේ නැත්නම් ඒ සඳහා ම සැකසූ මී මැසි පෙට්ටියක දැකිය හැක්කේ එ බැවිනි. එය ගැමි ආර්ථිකයට සවියකි.එහෙත් මී මැසි ජනපදයක් තම නිවසට ළගාකර ගැනීම එ තරම් පහසු නොවේ. මෙහි ඉහත සඳහන් කෙම ඒ සඳහා සපයන්නේ මහත් පිටුබලයකි. විශේෂයෙන් මී මැසි ජනපදයක ක්‍රියාවලිය පැණි රැස් කිරිමට පරිබාහිර ව නවපරපුරක් බිහි කිරීම ය. එ වත් ජනපද මව් ජනපදයේ නො රැද්දේ. නිසි කළ වයස එළඹෙත් ම වෙනත් සුදුසු ස්ථානයක් කරා සංක්‍රමණය වෙති. ගුමු ගුමු නද නගමින් ඒ වැනි මී මැසි රංචු අහසේ සැරි සරන අයුරු ඔබ ද දැක ඇතැයි සිතමි. එ බඳු අවස්ථාවක දී මෙහි ඉහත සඳහන් කෙම ක්‍රියාවට නැවීමෙන් ඔබ ගේ ගෙවත්තට ද මී මැසි ජනපදයක් පහත් කර ගැනීමට පුළුවන. එය අන්දුටු සත්‍යයකි. එම නිසා අත්හදා බලා ප්‍රයෝජන ලබා ගන්න.
මී මැසි ජනපදයක් පියා සැරියෙහි යෙදෙන විට කෙමේ සඳහන් පරිදි ලෝහයකට ලෝහයකින් හෝ ගලකින් නොකඩවා ගසන්න. මී මැසි රංචුව පහත් වෙන තුරු ම ගසන්න. මෙම කාර්යය සඳහා උදලු තැටිල්ලක් ද සෑහේ. එ විට එයින් නැගෙන හඬට සංවේදී වෙන මී මැස්සෝ හඬ නැගුණ ඉසව්වට පහත් වෙති. සුදුසු ස්ථානයක් බලා ජනපදය ස්ථාපිත කර ගනිති. දුම්මල දුම් ඇල්ලූ කළයක් ඒ අසල තබා තිබුණහොත් උන් සිය වාස භවනය ලෙස අනිවාර්යයෙන් ම එම කළය තෝරා ගනී. ඒ මී මැස්සෝ දුම්මල සුවඳට ප්‍රියමනාප නිසා ය. මී මැසි පෙට්ටියක් කලින් සකසා සුදුසු ස්ථානයක ස්ථානගත කොට තැබීම ද ප්‍රයෝජනවත් ය. එ විට මී මැස්සෝ එය සිය ජනපදයේ පදිංචිය සඳහා තෝරා ගෙන සිය පදිංචිය ස්ථාවර කර ගනිති. මෙහි දී සිදුවන්නේ මී මැස්සෝ ලෝහයෙන් නැගෙන හඩට සංවේදී වී හඩ නැගුණ ඉසව්ව ග්‍රහණය කර ගැනීම ය. කතා නො කර ලෝහයෙන් හඬ නැංවිය යුත්තේ ඔවුන්ට සංවේදී හඩ කටහඬ නිසා අසංවේදී වෙන නිසා ය.
Comments
Post a Comment