gossiplanka image 1
 

ලංකාවේ සිටි රාක්‍ෂ රජෙකු වූ මුහුණු දහයකින් යුත් රාවණ මරා දැමීම සඳහා විෂ්ණු රාමචන්ද්‍ර අවතාරය ගෙන ලොව පහළ වූයේය. රාවණ නොයෙක් දුෂ්කර ක්‍රියාවන්හි යෙදී මහා බ්‍රහ්ම හා ශිව දෙවියන් පහදවා ඔවුන්ගෙන් විවිධ වරයන් ලබා  ගත්තේය. මේ වරයන් නිසා දෙවියෙකුට ගාන්ධර්වයෙකුට හෝ රාක්ෂයෙකුට රාවණ නැසිය නොහැකි විය. නමුත් මිනිසෙකුට තමන් නොනැසිය හැකිවන සේ වර ලබා ගැනීම අවමානයක් සේ සැලකු රාවණ එසේ නොඉල්ලීය. වරලත් රාවණ දෙවියන්ටත් මිනිසුන්ටත් නොයෙක් හිංසා පමුණුවන්නට පටන් ගත්තේය. කනස්සල්ලට පත් දෙවිවරු මහා බ්‍රහ්ම හමු වී කාරණය කීහ. එවිට දෙවියෙකුට පමණක් මිනිස් අත් බැව් ගෙන ඉපදීමෙන් රාවණ නැසිය හැකි බැව් මහා බ්‍රහ්ම දැන්වීය. ලෝකාරක්‍ෂක දෙවියන් වූ විෂ්ණු ඊට එකඟ විය. අනෙක් දෙවිවරුද මිනිසුන්ට ආරූඪ වීමෙන් හෝ ආධාර කිරීමට පොරොන්දු වූහ. එකල අයෝධ්‍යාවෙහි දශරථ නම් රජෙකු විය. සූර්ය වංශයෙන් පැවත එන්නෙකු වූ ඔහු දශ රාජ දර්මයෙන් රාජ්‍යය කළ නමුත් ඔහුට සිටි බිසෝවරු තිදෙනාගෙන්ම පුතෙක් නොලද්දේය. පුතෙකු පතා ඔහු නොයෙක් යාග හෝම පැවැත් වූ නමුත් එයින් කිසිඳු පළක් නොවුයෙන් අන්තිමේ අශ්වමේධ නම් වූ යාගය කළේය. එයින් සතුටට පත් දෙවිවරු ඔහුට පුතුන් හතර දෙනෙකු ලබා දුන්හ. ඉන්වැඩිමහල් වූයේ විෂ්ණු අවතාරය වූ  රාමය. ඔහුගේ මව කෞෂල්‍ය නම් වූවාය. අනෙක් බිසෝවරුන් දෙදෙනාගෙන් කෛකෙයිට භාරතත් සුමිත්‍රාට ලක්ෂ්මණ හා සතෘග්නාත් යන පුත්තු ලැබුණහ. කුඩා කාලයේ සිට රාම හා ලක්ෂ්මණ එකිනෙකාට ඇලුම් කරන්නට වූහ. එමෙන්ම දෙදෙනා රණ ශූරයන් වන ලකුණු ද පහළ කළහ. කුඩා කලම විශ්වමිත්‍ර තවුසා විසින් වනයට කැඳවාගෙන යනු ලැබූ මේ දෙදෙනාට නොයෙක් ශිල්ප ශාස්ත්‍ර උගන්වන ලදී. එකල තවුසන්ට පීඩා පැමිණ වූ රාක්ෂයන් මරා දැමීමෙන් ඔවුහු දස්කම් පෑහ. සොහොයුරන් දෙදෙනා මෙසේ වනයේ සැරිසරද්දී මිථිලා පුර ජනක රජුන්ගේ සීතා නම් දු කුමරියක සරණ පාවා දීමට සුදුසු තරුණයෙකු සොයන බව ආරංචි විය. සීතා යනු විෂ්ණුගේ බිරිය වූ ලක්ෂ්මිගේ අවතාරයකි. ඇය පොළොවෙන් මතු වී ගොයම් කෙතක සිටියදී ජනක රජු විසින් සොයා ගන්නා ලදුව ඇති දැඩි කරුණු ලැබුවාය. ශිව දෙවියන් විසින් ජනක රජුට තෑගි කරන ලද යෝධ දුන්නක් නැවීමෙහි සමත් වු තැනැත්තෙකුට මැය විවාහ කර දීමට තීරණය කර තිබුණි. විශ්ව මිත්‍ර විසින් රාම හා ලක්ෂ්මණ දෙදෙනා ජනක රජුවෙත කැඳවා ගෙන යන ලදී. රාම එහිදී ශිව දෙවියන්ගේ දුන්න නැවීම පමණකින් නොනැවතී එය දෙකඩ කර දැමුවේය. සීතා විවාහ කරගත් රාම අයෝධයාවෙහි වූ සිය පිය රජු වෙත ගියේය. රජතුමා මෙන්ම රට වැසියෝද ඔවුන්ව සතුටින් පිළිගත්හ. වියපත් රජතුමා ස්වකීය වැඩිමහල් පුත් වූ රාමට රාජයය පැවරිමට කටයුතු කළේය. රාමගේ මෑණියන් වූ කෞශල්‍යා බිසව මේ පිළිබඳව මහත් සේ ප්‍රීති වූවාය.දශ රථ රජුගේ දෙවැනි බිරිය වූ කෛයිසීට, වක් වු ශරීරයෙන් මෙන්ම සිතින්ද යුත් මන්දරා නම් මෙහෙකාරියක් වූවාය. රාම කුමරුගේ අභිෂේක මංගල්‍යයට පෙර දින දෙකෙයි වෙත පැමිණි ඇය"මෙතරම් අභාග්‍යයකට මුහුණ දී සිටියදීත් සෑහීමට පවූවා සේ නිසලව සිටින්නේ අනුවන කම නිසාදැයි” බිසවගෙන් ඇසුවාය. තමන් වෙත පැමිණි කිසිඳු අභාග්‍යයක් පිළිබඳව නොදන්නා බව බිසව කීවාය. "දේවින් වහන්ස ඔබ තුමියට සිදුවීමට යන්නේ බලවත් ඇබැද්දියකි. මා තුළ මේ ගැන බියක් හා මහත් කණගාටුවක් පහළ විය. මා ඔබ සොයා ආවෙ ඒ හන්දයි. ඔබතුමියත් රජ බිසවක් නේද? රජතුමා වචනයෙන් ඔබතුමියව සතුටු කළත් එසේ කරන්නේ සිත් තුළ එකක් සගවා ගෙන ඔබතුමියට අනර්ථයක් කිරීමේ අදහසින්ය. ඔහු නිතරම කටයුතු කරන්නේ කෞෂල්‍යගේ යහපතටයි. ඔබතුමියගේ පුත් භාරත පිළිබඳව කිසිම තැකීමක් නොකොට රාම කුමරුට සිහසුන පැවරීමට යයි. ඔබතුමිය වැදුයේ විෂඝෝර සර්පයෙකු සේ සළකා කරන්නක් නොවන්ද? ඉක්මන් වන්න. ඔබත් මමත්ථකතුව භාරත කුමරුන් රැක ගැනීම සඳහා කටයුතු කරමු."  මෙහෙකාරිය රජ බිසවට කීවාය. මෙහෙකාරියගේ වචන කෙකයින්ගේ සිත තුළ පැසවන්නට විය. ඇය තුළ මහත් ඊර්ෂ්‍යාවක් උපන්ය. වහාම රජතුමා හමුවිය යුතු බවට පණිවුඩ යැවුවාය. ඔහුගෙන් වරයක් ඉල්ලා සිටියාය. රජුගේ සිත දුබලව ගොස් සිටි අවස්ථාවක කරන ලද මෙම ඉල්ලීමට රජතුමා එකග විය. භාරත කුමරුට ඔටුන්න හිමි කරන ලෙසත් රාම කුමරු දහහතර අවුරුද්දකට දණ්ඩක වනයට යවන ලෙසත් ඇය සිය වරය ලෙස ඉල්ලා සිටියාය. එහෙත් රජතුමා උගුලකට හසුවූ මුවෙකු මෙන් විය. නමුත් වූ පොරොන්දුව පිටින් යාමට ඔහුට නොහැකිවිය. කිසිත් කරකියා ගත නොහැකි වූ රජතුමා සිය යහන් ගැබට වී දොර වසා ගත්තේය. කෛකෙයි රාම කුමරු වෙත ගියාය. සිදු වූ සියල්ල ඔහුට කීවාය. රාම කුමරු එක් වරම වනගත වීමට එකග විය. ඔහු සීතාට මේ ගැන දැන්වීය. ඇයට අයෝධ්‍යාපුරයේ සිය දෙමාපියන් වෙත භාරවන ලෙස කීවේය. වනගත ජීවිතයෙහි ඇති කටුක බවක් එහිදී තරුණියකට මුහුණ පෑමට වන හිරිහැරත් දැන්වීය. නමුත් එයින් පලක් නොවීය.

"පියෙක්, මවක්, පුතෙක් සොහොයුරෙක් හෝ ලේලියක්  තම තමන් කරන ක්‍රියාවන්හි විපාක විඳිය යුතුය. නමුත් සැමියෙකු ලබන ඉරණමෙහි කොටසක් බිරියට අයත් වන්නේය. ඒ නිසා වනගත වීමට නියම කිරීමේදී ඒ නියමය ඔබට පමණක් නොවේ මටද සම වූවකි. ඔබ එහි යන්නෙහි නම් ඊට කලින්ම මමත් එහි යමි. ඔබට එහිදී මගෙන් වන සේවය නිසා මා විඳින දුක් මගේ පියාගේ නිවසේ සිට විඳින සැපසේ නොවෙනස්ව සලකමි. මා එහිදී ඔබට හිරිහැරයක් නොවනු ඇත. වන මුල් පලාපල කා අපට ජීවත් විය හැකියි. අපට නෑම සඳහා හංසයන්ගෙන් පිපුණු පියුමෙන් සැදි පොකුණු එහි ඇ ත්තේය. ඔබ සමග අවුරුදු සියයක් හෝ අවුරුදු දහසක් හෝ එසේ ප්‍රීතියෙන් සිටීමට මට පුළුවන.” යි සීතා කියන්නට වුවාය. සිය සැමියා සමගම යාමට සීතා ඉතා ගත්තාය. සොහොයුරු කැටුවම පිටත් වීමට ලම්මණ තීරණය කර ගත්තේය. අයෝධ්‍යා පුර වැසියන් හඬා වැළපෙද්දී මේ තිදෙනා දකුණු දිග මහවනය බලා පිටත්වූහ. නුවර ප්‍රීතියෙන් උත්සව පැවැත්විය යුතු දිනය මෙසේ කඳුළින් තෙමී ගියේය. රාම කුමරු වන මැද සතියකින් මහත් දුකින් පසු වූ කල දශරථ රජතුමා කළුරිය කළේය. අයෝධ්‍යා පුරයේ මේ සිද්ධීන් වනවිට භාරත කුමරු එහි නොවීය. ඔහු සිය මයිලනුවන්ගේ රාජයහි අගනුවර වූ ගිරිවාජ නුවරට ගොස් සිටියේය. රාම කුමරු රටින් පිටුවහල් වීම පිළිබඳ ආරංචිය පණිවුඩකරුවන් විසින් ඔහු වෙත ගෙන එන ලද්දේය. වහා අයෝධ්‍යා පුරයට ගිය කුමරුට සිදු වූ සියල්ල හරියාකාරව දැන ගැනීමට ලැබුණි. සිය මවගේ ක්‍රියාව ගැන කිපුණු ඔහු සිය පියාගේ මිනිමරුවා ඇය යැයි චෝදනා කළේය.

"ඔබ අපගේ වර්ගයා නැසීමට උපන් ගිනි පුළිගුවකි. පියා ඒ නොදැන අනුවන කමින් ඔබව බිසව කර ගත්තේය. රාම කුමරුට මගේ ඇති ආදරය ඔබ නොදන්නීය. මා දැන් ඔබ මගේ මව ලෙස අත්හැර නොදමන්නේත් ඔහු උදෙසාමය.” යනුවෙන් භාරත කුමරු දොස් නගන්නට වූයේය. සිය මවගෙන් වු වරදට සමාව ලබා ගැනීමක් වශයෙන් භාරත කුමරු සිය සොහොයුරා සොයා ගියේය. තවුස් ඇඳුමෙන් යුතුව චිත්‍ර කුට වනයේ හැසිරෙන රාම කුමරු ඔහුට හමුවිය. සිය පියාණන්ගේ  මරණය ගැන ඔහු සොහොයුරාට දැන්වීය. අයෝධ්‍යා පුරයට ඇවිත් රාජ්‍යය භාර ගන්නා ලෙසද ඉල්ලීය. නමුත් රාම එය ප්‍රතික්ෂේප කළේය. නියමය අනුව එසේ අවුරුදු දහහතරක්ම වනගතව විසිය යුතු බව ඔහු සොහොයුරාට පැහැදිලි කළේය. ඔහුගේ ඉල්ලීම් වලින් ඵලක් නොවන බව වටහා ගත් භාරත කුමරු රාම කුමරුගේ පාවහන් යුගලයද රැගෙන ආපසු පැමිණියේය. එය රාම කුමරුගේ ලකුණක් සේ සිහසුනෙහි තබා ඔහු වෙනුවෙන් රාජ්‍යය කරන්නට විය. රාම, ලක්ෂ්මණ හා සීතා වනයෙහි සැරිසරද්දී රාවණගේ සොහොයුරිය වූ සුර්පනඛා කිසියම් කටයුත්තක් සඳහා යද්දී දණ්ඩක වනයේදී ඇයට රාම මුණ ගැසුණි. ඇය දුටු මොහොතේම රාම කෙරෙහි ආලයෙන් බැඳුණාය.නිර්භීත ස්ත්‍රියක වූ ඇය එක් වරම ඔහු ඉදිරියේ සිය ආලය ප්‍රකාශ කළාය. ඇගේ ආලය ප්‍රති‍ෂේප කළ රාම ඇතැම් විට සිය සොහොයුරු ලක්ෂ්මණ ඇයට කැමති වනු ඇතැයි ඔහු වෙත යන ලෙස කීය. ඇය ලක්ෂ්මණ වෙත ගිය නමුත් ඔහුද ඇයගේ ආලය ප්‍රතික්ෂේප කළේය. ආලයෙන් උමතුව සිටි සුපර්නිකා මේ සියල්ලටම හේතුව සීතා යැයි සිතා ඈ කෙරෙහි වෛර බැන්දාය. සුපර්නිකා සීතා ගිල දැමීමට තැත් කළාය. නමුත් අම්මණ ඇයගේ දෙකන් හා නාසාද කපා දැමීය. උදහස් වූ ඇය සිය බාල සොහොයුරු බාර වෙත ගොස් සිද්ධිය කීවාය.සීතා සහ රාම, ලක්ෂ්මණ දෙදෙනෙක් මරා ඔවුන්ගේ රුධිරය සුපර්නිකාට බීම සඳහා ගෙන එන ලෙස බාර රාජ්‍යයන් දහහතර දෙනෙකු යැවීය. රාම සියළුම යකුන් මරා දැම්මේය. එවිට බාර තවත් දහහතර දහසක් රකුසන්ද සමගින් රාමට දඬුවම් කිරීම සඳහා ගියේය. රකුසන් සියළු දෙනාම විනාශ කර දැමූ රාම ඛාරද මරා දැම්මේය. සුපර්නිකා සිය සොහොයුරු රාවණ වෙත ගියාය. තමාට කළ අපහාසයක් බාල සොහොයුරාගේ මරණයත් ඔහුට දන්වා සිටියාය. එමඟින් ඔහුගේ සිත ගැනීමට නොහැකි වූයෙන් සීතාගේ රූපය ඔහු ඉදිරියේ වර්ණනා කළාය. ඇය රාමට වඩා රාවණට සුදුසු වූ බිරියක බවද කීවාය. මෙය රාවණගේ සිත් ගැනීමට සමත් විය.සිය සතුරාගේ බලවත් කම ගැන ඇසු රාවණ ප්‍රයෝග යෙන් සීතා පැහැර ගෙන ඒමට සිතුවේය. තමන්ගේ මයිලනුවන් වූ මරීච නම් මන්ත්‍ර කරුවා කැඳ වූ රාවණ ඔහුට රන්වන් මුව පොවුවෙකු වේෂයෙන් සීතා ඉදිරියේ ගොස් පෙම් කෙළින ලෙස කීවේය.ඔහුද එසේ කළේය. මුව පොවුවා කෙරෙහි සීතාගේ සිත ඇදී ගියේය. ඇය මේ සතා අල්ලා ගැනීමෙහි ආශාවක් දැක්වුවාය. රාම මුව පොවුවා ලුහුබැඳ ගිය නමුත් අල්ලා ගැනීමෙහි අපොහොසත් විය. අන්තිමේ ඔහු දෙසට හීයක් විද්දේය. තුවාල ලත් මුව පොවුවා "අනේ සීතා, අනේ අම්මණ" යනුවෙන් රාමාගේ කට හඬින් කෑ ගැසීය. ඒ හඬ ඇසූ සීතා රාම අනතුරකට පත්වන්නට ඇතැයි කල්පනා කළාය. ලක්ෂ්මණට කතා කර ඉක්මනින් ඒ හඬ ඇසුණු දෙසට යන්නට යැයි කීවාය. ඔහුද එසේ කළේය. මේ අතර අසල වන ලැහැබක සැග වී සිටි රාවණ  සැනෙකින් ඇවිත් සීතා අල්ලා සිර දඬු මොනර යන්ත්‍රයෙහි තබාගෙන අහසින් ලංකාව බලා පිටත් විය. ඒ එන අතරමඟදී විණුගේ වාහනය වු ගරුඬ පක්ෂියාට රාවණ මුණ ගැසුණි. ගරුඬ පක්ෂියා ඔහු හා සටන් කළමුත් අන්තිමේදී රාවණාගේ පහරකින් මරණීය තුවාල ලද්දේය. නමුත් රාමට සිද්ධිය කියන තුරු ජීවත් වීමට හැකිවන සේ සීතා ගරුඩ පක්ෂියාට ආශිර්වාද කළාය. ඇය අතරමඟ වූ ගස්වැල් වලටත් ගංගාවන්ටත් මෙසේ තමා පැහැරන්ගෙන යන බව රාමාට කියන ලෙස දැන්වුවාය රාවණ ඇයද රැගෙන ලංකාවටම ආවේය. නොයෙක් මිහිරි වදනින් තෑගි බෝග වලින් ඇයගේ සිත ගැනීමට තැත් කළ නමුත් සීතා කැමති වූයේ නැත. රාවණ ශාපලත් රාක්ෂයෙකැයිද අනුන්ගේ භාර්යාවන්ට හිංසා කරනෙකැයිද ඈ ඔහුට චෝදනා කළාය. ඔහුට බලයෙන් ඇය වැළඳගත නොහැකිය. මීට කලින් වතාවක එසේ ස්ත්‍රියකට හිංසා කළෙන් යළි එසේ කළහොත් එතැනම මිය යන සේ ඔහු ශාප ලද්දෙකු වීම ඊට හේතුවය. මේ නිසා සීතාගේ සිත් ගැනීමට තර්ජනය කිරීමෙන් හා නොයක් මිහිරි වදක් කීම් පමණකින්ම ඔහු සෑහීමට පත් විය. කිසියම් දවසක ඇගේ සිත තමන් කෙරෙහි ඇදී එනු ඇතැයි බලා සිටියේය.  මුව පොවුවා මරා ආපසු පැමිණි රාම ලක්ෂ්මණ දෙදෙනාට සීතා දක්නට නොලැබුණි. බාර රකුසන් විසින් ඇය ගිල. දමන්ට ඇතැයි ඔවුහු සිතූහ. වන දුර්ග හා ගිරි දුර්ගයන් හි ඇයව සොයමින් ඔවුහු කල් ගත කළහ. මෙසේ එද්දී ලේ විලක වැටි සිටි ගරුඬ රාජයා හමුවිය. ගරුඬ පක්ෂියා සිද්ධිය විස්තර කළේය. එය හමාර කරත්ම පක්ෂියා මිය ගියේය. පක්ෂියාගේ මරණය පිලිබඳව මහත්ලකට පත් රාම සිය සමීපතම ඥාතියෙකුට සේ මහත් ගෞරවයෙන් යුතුව පක්ෂියාගේ සිරුර ආදාහනය කළේය. සීතා යළි ලබා ගැනීමේ උපක්‍රමයක් ඔහු කල්පනා කරන්නට විය. රාම ලක්ෂ්මණ දෙදෙනා මේ සඳහා වානරයන්ගේ රජු වූ සුග්‍රිව හා ගිවිසුමක්ද ඇතිකර ගන්න. සුග්‍රිවට සිය සොහොයුරු ඛලීගෙන් රාජ්‍යය ලබා ගැනීම සඳහා රාම උපකාර කළෙන් සුගීව ඊට එකග විය. සුග්‍රිව වානරයන්ගෙන් හා වලසුන්ගෙන් යුත් මහා යුද්ධ හමුදාවක් සූදානම් කරගත්තේය. මේ හමුදාවද සමග රාම ලංකාව බලා පිටත් වූයේය. හමුදාව ඉන්දියාවේ දකුණු දිග වෙරළට ළගා වූ නමුත් මුහුදෙන් එතෙර වීමට ක්‍රමයක් නොවූයෙන් පාලමක් තැනීමට තීරණය කර ගත්ත. මේ අතර සීතා සොයමින් පැමිණි වඳුරු නායකයෙකු වූ හනුමාට ලංකාවේ සිටි ඇය හමුවිය. ඈ ගෙන යාමට රාම කටයුතු කරන බව හනුමා මෙහිදී සීතාට දැන්වීය. ඉන්දියාවේ සිට ලංකාවට පැන්න හනුමා සීතා සොයමින් යද්දී රාවණගේ උද්‍යානයෙහි අසෝක ගසක් යටට වී මහත් සොවින් සිටින ඇය දුටුවේය. රාක්‍ෂ ස්ත්‍රීහු ඇයට රැකවරණයට සිටියහ. ඔවුනට හසුනොවී අසෝක ගසට නැග ගත් හනුමා සුදුසු අවස්ථාවක් බලා රාමගේ ගුණ වර්ණනා කරන්නට විය. මේ අසා සතුටට පත් වු සීතා උඩ බැලුවාය. ගස උඩ සිටි වඳුරා ඇයට දක්නට ලැබුණි. වඳුරා ගස උස සිට තම මිතුරෙකු බැව් හැග වීමට නොයෙක් සංඥාවන් කළේය. පසුව ගසෙන් බැස ඇවිත් ඇය ඉදිරියේ පෙනී සිට රාමයන්ගේ තොරතුරු කීය. ඔහු ඇගේ වියෝවෙන් මහත් දුකට පත්ව වෙසෙන බව දැන්වීය. රාමගෙන් ලත් මංගල මුදුවද ඇයට දු න්නේය. ඒ මුදුව අතට ගත් සීතාට සිය සැමියා වූ රාමගේ අත ගත්තාක් මෙන් වූ ප්‍රීතියක් ඇතිවිය. සිතාට රාමගේ පණිවුඩය දුන් හනුමා උයනට වී ක්‍රීඩා කරන්නට විය. එවිට එහි වූ රාවණගේ වටිනා මල්පල ආදියට හානි සිදුවුයෙන් රාක්ෂයෝ හනුමාගේ අත් පා බැඳ රාවණ වෙත ගෙන ගියහ. රාවණ ඉදිරියේ හනුමා සිය වලිගය දරණ ගසා ඒ මත හිඳ ගැනීමෙන් රාක්ෂස රජුට වඩා ඉහළින් සිටියේය. මෙයින් කුපිත වු රාවණ ඔහු මරා දැමීමට සුදානම් වු නමුත් තමා ලංකාවට දූත මෙහෙවරක යෙදී පිවිසි බැව් රජුට දැන්වීය. දූතයෙකුගේ ජීවිතය නීතියට අනුව ශුද්ධ වූ දෙයක් වූයෙන් එවැන්නක් කිරීමට රාවණට නුපුළුවන් විය. මේ නිසා වඳුරාගේ වළිගයට ගිනි තබා අත් හරින ලෙස ඔහු සේවකයන්ට අණ කළේය. තෙලෙහි ඔබා ගත් පාන්කඩ වඳුරාගේ දිගු වළිගයෙහි ඔතා ඔවුහු ගිණි තැබූහ. ගිනිගත් වලිගයෙන් යුතුව රකුසන්ගෙන් බේරී ගත් හනුමා වහලෙන් වහලයට පනිමින් මුළු ලංකාවම ගිනි තැබුවේය. යලින් ඉන්දියාවටම පැන රාම හමු වී තමන් ලංකාවේදී කළ සියළු දෙයක්ම දැන්වීය. ඉන්දියාවත් ලංකාවත් අතර පාලම තනා අවසන් වූයෙන් රාම සිය හමුදාවත් සමග ලංකාවට ගොඩ බැස්සෝය. රාවණගේ බලයත් ලංකාවෙහි ඇති ආරක්‍ෂ සංවිධානයත් විභීෂණ විසින් රාමට හෙළි කරන ලද්දේය. ලංකාවේදී රාමගේ හමුදාවත් රාක්‍ෂ හමුදාවත් අතර මහ සටන් ඇවිළුණි. දෙලොවට අධිපති ශක්‍රයා පවා පරාජය කිරීම නිසා ඉන්ද්‍රජිත් යැයි නම් ලද රාවණගේ පුත්‍රයා දෙවරක්ම රාම ලක්ෂ්මණ දෙදෙනාට සටන් බිමේදී තුවාල කළේය. රාවණගේ සොහොයුරු කුම්භ කණ එකවර වඳුරන් සිය ගණන් අල්ලා ගිල දැම්මේය. හනුමා වහාම හිමාල වනයට පැන මෙහි ගෙන ආරහස් බෙහෙතකින් රාම ලක්ෂ්මණ දෙදෙනාට වූ තුවාල සුවපත් කළේය. වඳුරු නොව නොනැවතීම සටන් කළේය. මෙහිදී විශාල සංඛ්‍යාවක් රකුසෝද මරුමුවට පත්වුහ. ඉන්ද්‍රජිත්, කුම්භ කර්ණ හා අනෙකුත් සෙන්පති හුද මරා දැමූහ. අවසානයේ රාම රාවණ දෙදෙනා තනි තනිව මුහුණට මුහුණ ලා සටනට වන්හ. සටනේ බරපතල කම නිසා මහ පොළොව ගිගුරුම් දුන්නේය. දෙවියෝ අහස් තලයේ සිට බලා සිටියහ. චණ්ඩ සිංහයන් දෙදෙනෙකු මෙන් ඔවුහු පොරට වැටුණහ. හිස් දහයක් සහිත වු රාවණගේ හිස් එකින් එක රාමගේ හී පහරවල් වලින් කැපී වැටුණි. නමුත් එසේ කපා දමන ලද සෑම හිසක් වෙනුවෙන්ම අළුත් හිසක් බැගින් මතුවිය. මේ නිසා රාවණ මැරීම මැරීමට තරම්බල සම්පන්න වූ රාමගේ හීතල රාවණ මැරීමට අසමත් බැව් රාම දුටුවේය. අන්තිමේ රාම අගස්ති සෘෂිවරයාගේ න් ලැබී තිබුණ බ්‍රහ්මායුධය ගත්ය. වේද මන්ත්‍රයෙන් ජපකර රාම එම හීය සිය දුන්නට තබා විය. එය රාවණගේ පපුව පසා කර ගෙන ගොස් ආපසු ඇවිත් රාමගේ දුනු කොපුවටම ඇතුළු විය. රාවණ මැරී වැටෙද්දී දෙවියෝ මහත් සේ සතුටු වුහ. දිව මල් වැසි වැස්සවූහ. රාවණ මිය ගිය කල්හි ඔහුගේ සොහොයුරු විභීෂණේ සීතාව මනාව සැරසූ රථයක තබා ගෙනැවිත් රාමට භාර දුන්නේය. නමුත් කාගේත් පුදුමය වුයේ රාම ආපසු ඇය භාර නොගැනීමය.

"රාවණ ඔබව අහසින් ගෙන ආවේය. ඔහුගේ අපවිත්‍ර ඇසින් ඔබ දෙස බැලුවේය. ඔහු ඔබව වැළඳ ගත්තේය. ඔහුගේ අන්තඃපුරයෙහි තබා ගත්තේය." යනුවෙන් රාම සීතාට දොස් පවරන්නට වූයේය. රාමගේ නපුරු වදන් සීතාගේ හද විනිවිද ගියේය. සිය පිරිසිදු බව සැග වීමට හෝ නොවෙත්නම් මිය යාමට හෝ සිතා දර සෑයට පැනීමට ඈ කැමැත්ත පළ කළාය. ඇගේ කීමට අනුව ලක්ෂ්මණ දර සෑය තැනීය. සීතා එහි පැන්නාය. අහස ඇගේ නිදොස් බව හඬ නගා කීය. ගින්නට අධිපති අග්නි ඇය කැඳවාගෙන යාම වෙත අවුත් ඇයව භාර ගන්නා ලෙස රාමට දැන්වීය. රාම ඇගේ අත ගත්තේය. ඇගේ පිරිසිදුබව තමා කල් ඇතිව දැන සිටියද රැ ස්ව සිටි පිරිසට එය ඒත්තු ගැන්විය යුතු වූයෙන් එසේ කළ බැව් රාම කීවේය. රාම රටින් පිටව සිටිය යුතු කාලය අවසන් විය. ඔහු සීතා හා ලක්ෂ්මණ සමගින් වානර සෙනෙවියන් කීප දෙනෙකුන්ද ඔවුන්ගේ භාර්යාවන්ද කැටුව අයෝධ්‍ය දේශය බලා පිටත්ව ගියේය. මහත් හරසරින් පිළිගනු ලැබ ඔහුට එහි රාජ්‍යය භාර දෙන ලදී. මින් පෙර නොවූ විරූ ඉසුරුමත් යුගයක් රාමගේ රාජ්‍යය කාලයේ එරට උදාවිය. හෙතෙම අවුරුදු දස දහසක් එහි රාජ්‍යය කළේය. මේ කාලයේ රටේ සාමය උදා වූ අතර අපරාධ හා මිනිමැරුම් ආදියෙන් තොර විය. නියං හා ජල ගැලීම් දක්නට නොලැබුණි. ධන ධාන්‍ය ගව මහීෂාදින්ගෙන් රට සශ්‍රික විය. කිසි දිනෙකත් ළදරු මරණ ඇති නොවීය. දිළිඳු බවින් හා ලෙඩ දුක් වලින් තොරව රට ප්‍රීතිමත් ජනතාවකගෙන් පිරී ගියේය.

නමුත් යළි පීඩාකාරි කාලයක් උදා වූයේය. සිය බිරිය අනාචාරයේ හැසිරුණේ යැයි සැක කළ රෙදි අපුල්ලන්නෙක් බිරියට තැලීය. "අවුරුදු ගණනක් අනෙක් පිරිමියෙකු විසින් තබා ගන්නා ලද ස්ත්‍රියක් පිරිසිදු යැයි විෂ්වාස කළ රාමා තරම් මා මෝඩයෙක් නොවේ." යැයි තරවටු කරමින් ඔහු බිරිය පන්නා දැමීය. මේ කතාව රාම රජුට අසන්නට ලැබුණි. සිය බිරිය පිළිබඳව නොයෙක් කතා පැතිර යාමට ඉඩ ඇති බැවින් රාම රජු සීතාව වනගත අසපුවකට යැවීය. මේ අවස්ථාව වනවිට සීතා ගැබ්ගෙන සිටියාය. අසපුවේදී ඇය නිවුන් දරුවන් දෙදෙනෙකු ප්‍රසූත කළාය. දරු දෙදෙනා ළමා වියට පැමිණ සිටි නිසා රාම රජු වෙත යවනු ලැබූහ. දරු දෙදෙනා දුටු රාමාට ස්වකීය ජීවිතයේ ප්‍රීතිමත් කාලය සිහිපත් විය. යළිත් සීතා තම මාලිගයට ගෙන්වා ගත්තේය. ඇය කැමැත්තෙන්ම ආවාය. නමුත් යළිත් එහි රැස් වූ පිරිස ඉදිරියේ සිය නිදොස් බැව් පෙන්වීමට ඇයට දන්වන ලද්දේය. ඇයට මෙය දරාගත හැක්කක් නොවීය. තමන්ට උපත ලබා දුන් මිහිකතට හඩ ගෑ ඇය තමන් ආපසු ගන්නා ලෙස කීවාය. පොළොව විවර විය. සීතාව ගිලගනු ලැබුවාය. මේ සිද්ධියෙන් පසු රාම රජු ජීවිතය කෙරෙහි කළ කිරිමට පත්විය. තමන්ගේ ආයු කාලයද නිමාවට පත් වේගෙන යන බැව් ඔහුට දැනුණි. රාම ශුද්ධ වු ගංගා නම් ගංතෙරට ගියේය. එහිදී සියමිනිස් භාවය හැර දමා යළිත් දෙලොවටම සැපත් විය.