ලෝ ප්‍රකට ජන්මින් ගණනාවකගේම ලග්න රාශිය වූ කන්‍යා රාශියෙන් මෙලොවට පැමිණි තවත් එක් සුවිශේෂී චරිතයක් ලෙස ෆ්ලෝරන්ස් නයිටින්ගේල් මැතිනිය හැඳින්විය හැකිය. හෙද සේවාවේ නිර්මාතෘවරිය ලෙස සැළකෙන මෙතුමිය ලෝ ප්‍රකට වීමට තුඩුදුන් කරුණු ගණනාවක්ම මෙම ජන්ම පත්‍රය තුලින් මනාව පිළිඹිඹු වෙයි. ඒ අතුරෙන් චන්ද්‍රයාගෙන් යෙදුන ධුරාධුර සහ රවින්ගෙන් යෙදුන උභයචාරි වැනි ප්‍රබල යෝගයන් මෙතුමියගේ ජීවන චරිතය ආලෝකමත් කළ සුවිශේෂී යෝගයන් ලෙස සැලකිය හැකිය. ඊට අමතරව හයවැනෙන් හයවැන්න වූ එකොළොස්වැනෙහි අට අධිපති නීච වීමෙන් යෙදුනු රාජ යෝගයේ පලද මෙතුමිය ලෝ පසිඳු කාන්තාවක් කරවීමට ඉවහල් විය. ඊට අමතරව කෙනෙකුගේ භාග්‍ය, වාසනාව, යහපත් ගුණ මහිමය පෙන්වන නමවැන්න අධිපති චන්ද්‍ර වඩා යෝගය උදාකරමින් දසවැන්නේ යෙදී ඇති අතර සඳු උච්ච රාශි ගතව නමවැන්නේ සිටීමෙන් මානව දයාව උතුරායන මුළු ලෝකයටම ආදර්ශයක් සැපයූ වෘත්තියක නිදිමතෘවරිය වීමට මෙතුමියට අවකාශ හිමිවිණි. කෙසේ වුවත් කාන්තාවකට ආවේනික මෘදු බව මෙන්ම පිරිමින් සතුවන නිර්භීත බවද මෙතුමිය තුළ නොඅඩුව තිබූ බව ලග්නාධිපති බුධ කුජගේ රාශියක තැන්පත්වීමෙන් පැහැදිලි වෙයි. බිහිසුණු යුධ පිටිය මැදට ගොස් තුවාල ලැබූ සෙබලුන් සොයායමින් ඔවුන්ගේ ජීවිත ගලවා ගැනීමට කටයුතු කිරීමට තරම් ආත්ම ශක්තියක් 'පහනක් අතින් ගත් කාන්තාව ලෙස විරුදාවලිය ලත් ක්ලෝරන්ස් නයිටින්ගේල්ට හිමි වූයේ උක්ත ග්‍රහ බලය හේතුවෙන් යැයි සිතිය හැකිය.
Comments
Post a Comment