ශ්‍රී ලංකා ක්‍රිකට් අම්බරයේ එදා මෙදා තුර පෑයූ ශුරතම තුන් ඉරියව් සුපිරි තරුව වන සනත් ජයසූරිය 1969 ජුනි 30 මාතරදී මෙළොව එළිය දකින්නේ ශනි හිමි කුම්භ රාශිය තම ජන්ම ලනය කරගනිමිනි. රාශි චක්‍රයේ එකොළොස්වන රාශියෙන් උපන් මොහුගේ ලග්නාධිපති ශනි වික්‍රමස්ථානය වූ තෙවැන්න වන මේෂ රාශියේ තැන්පත් වී සිටින අතර එම රාශිය අධිපති කුජ ස්ත්ර බලයෙන් දසවැන්නේ තමාගේත්ම රාශියක් වන වෘශ්චිකයේ තැන්පත් වී තිබීමෙන් ලග්නාධිපතිගේ නීචය භංග වී සුවිශේෂී ග්‍රහ බලයක් නිර්මාණය වී තිබෙන බව පැහැදිළි වේ.
තෙවැන්න කෙනෙකුගේ වික්‍රමය, දක්ෂතාවය, ප්‍රතිභාව නිවේදනය කරන අතර මෙහිදී එම භාවය කෙළිලොල් කම නිවේදනය කරන කුජට හිමි වීමත් එම කුජ දසවැන්නේ තමුන්ගේම රාශියක තැන්පත් වී රුචක නම් මහා පුරුෂ යෝගය උදාකරදී තිබීම ජන්මියා තමන් නියළෙන වෘත්තියෙන් ලෝ ප්‍රකට වන බවට සාක්ෂි සපයයි. තවද කුජ දසවැන්නේ ස්ව ක්ෂේත්රවීම සටන්කාමී රණකාමියෙකු බිහිකිරීමක් ලෙස සඳහන් වුවද ඊට නව අර්ථකථනයක් සපයමින් මෙහිදී ක්‍රීඩා පිටිය තුළ ප්‍රතිවාදීන් භීතියෙන් මුසපත් කරන සටන්කාමී ශූර ක්‍රීඩකයෙකු බිහිවීමද සුවිශේෂී වේ. මේ අතර සනත්ගේ ජන්ම පත්‍රයේ දැකිය හැකි තවත් සුවිශේෂී ග්‍රහ පිහිටීමක් ලෙස පස්වැන්නාධිපති බුද සහ නමවැන්නාධිපති සිකුරු සංයෝගව හතරේ තැන්පත්වීම හැඳින්විය හැකිය. ඒ අනුව යෝග කාරක ශුභයින් දෙදෙනාම සිවැන්නේ තැන්පත් වී සිටින අතර සිකුරු තමුන්ට හිමි වෘෂභ රාශියේම ස්වක්ෂේත්ර බලයෙන්ද සිටීමෙන් මාලවී නම් මහා පුරුෂ යෝගය උදාකරවීම සියලු පහසුකම් වලින් යුත් ඉසුරුමත් ජීවිතයක් ගත කිරීමේ වාසනාව උදාකර දී තිබෙන අයුරු පෙන්නුම් කරයි. සනන්ගේ හඳහනේ ප්රබලතම ග්‍රහ පිහිටීම් ලෙස කුජ, රාහු සිකුරු බුද ග්රහයින්ගේ තැන්වීම් හැඳින්විය හැකි අතර රාහු තමන්ට සම රාහියක් වූ මීන රාශි ගතව දෙවැන්නේ සිට දසවැන්න සහ තෙවැන්න අධිපති කුජ දැකීමේ ප්‍රතිඵලද මනාව ලැබී ඇති බව මොහු ගේ ක්‍රීඩා දිවිය දෙස බැලීමේදී මොනවට පිළිඹිබු වේ. 1989 ශ්‍රී ලංකා පිලේ ඕස්ට්‍රේලියානු චාරිකාවේදී ප්‍රථම වරට ශ්‍රී ලංකා ජාතික පිල හා එක්වන විට සනත් ගතකරමින් සිටියේ කුජ මහ දශාවයි. කෙසේවුවත් ජයසූරියගේ නියම හැඩතල මතුවන්නේ ඔහු ලෝ ප්‍රකට තරුවක් බවට පත්වන්නේ 1992 සිට වර්ෂ 18 පුරා දිව යන රාහු මහ දශාව ලැබීමත් සමගය. ඒ අනුව 1996 ලෝක කුසලාන තරගාවලියේදී ලොව වටිනාම ක්‍රීඩකයාට (Most Valuable Player) හිමි සම්මානය දිනාගන්නා විට රාහුගේ ගුරු අතුරු දශාව ගතකරමින් සිටි සනන්ට 1997 මැයි සිට රාහුගේ ශනි අතුරු දශාව ලැබීමත් සමගම තම ලග්නාධිපතියාගෙන් උදා වූ නීච භංග රාජයෝගය නියමාකාරයෙන් ක්‍රියාත්මක වූ බව පැහැදිළි වෙයි. සනත් 1997 ඉන්දියාවට එරෙහිව ලකුණු 340 ක ටෙස්ට් ඉනිමක් ක්‍රීඩා කරන්නේ මෙන්ම ඔහු 1999 ලංකා පිලේ නායකත්වයට පත්වන්නේද රාහුගේ ශනි අතුරු දශාව ගත කරමින් සිටියදීය.
Comments
Post a Comment