සිංහලයා අතර පැවැති පොදු සිරිතක් නම් පුද්ගලයෙකුගේ මරණයේදී අධික ලෙස කම්පාවට පත්වීමයි. කෙනෙකු බරපතල ලෙස රෝගීව පසුවන විට එම පවුලේ ආර්ථීක තත්වය පහළ බසී. ආර්ථික තත්වය අඩු පවුල් වල අය රෝගියාගේ යහපත උදෙසා සිදු කරනුයේ භික්ෂුන් වහන්සේලා ගෙදරට වැඩමවා දානයක් දීමයි. පොහොසත් පිරිස නම් සංඝයා වහන්සේලා වැඩි සංඛ්‍යාවක් ගෙන්වා මේ කටයුත්ත සිදු කරයි. ඊට පෙර දින කරනු ලබන ධර්ම දේශනයෙහිදී රෝගී පුද්ගලයා කළ පිං දහම් ඔහුට මතක් කරදීම සිදු කරයි. සමහර ගැමියන් මරණාසන්නයේ සිටින පුද්ගලයාට ඇසෙන ලෙස පිරිත් කියවීමද සිදු කරති. කෙනෙකු මිය ගිය පසු මිනිය නාවා ඇඳ පැළදවා හිස බටහිරට සිටින සේ තබයි. බොහෝ විට මිනියට උඩින් වියනක්ද බඳිනු ලබයි. සමහර ගම්වල මිනිය නොවන්නේ ඇවැස්ස නෑනාය. රාත්‍රී කාලයේ කිහිපදෙනෙකු අවදියෙන් මිනියට තනිරකිනු ලැබේ. සමහර ගම්වල රාත්‍රි කාලයේදී වෙස්සන්තර ජාතක කාව්‍යය හඬ නගා කියති. මළගෙයක් සිදු වූ විට එම ගෙදර එල අනිත් පැත්ත හරවනු ලැබේ. මෙය බටහිරින් ආ සිරිතක් බව සමහර පොත්වල සඳහන් වේ. එමෙන්ම බුලත් තට්ටුව සැරසීමේදී බුලත් කණපිට හරවා තබනු ලැබේ. ගෙදරක මරණයක් සිදු වූ විට ඒ බව දැන්වීම සඳහා ගේ ඉදිරිපිට සුදු කොඩියක් එල්ලා තිබුණද අද මෙන් මහා සැරසිලි දැකිය නොහැකි විය. තවත් සමහරු ගේ ඉදිරිපිට ගොක් කොළ එල්ලනු ලබයි.මෙරට සාමාන්‍යයෙන් පවතින සිරිත අනුව ආදාහන / භූමදාන කටයුතු අඟහරුවාදා සහ සිකුරාදා දිනවල නොපැවැත්වේ . මිනිය නිවසින් ගෙන යන තෙක් එය තනි කරන්නේ නැත. පොහොසත් කෙනෙකුගේ මිනිය ආදාහනය සඳහා ගෙන යන්නේ කුඩ කොඩි සේස්සත් ආදියෙන් සමන්විත පෙරහැරකිනි. බිමට පාවඩ දමා මග දෙපසද ගොක්කොළ නැතහොත් ඉටිකොළ මගින් අලංකාර කරනු ලබයි. මිනිය ඔසවාගෙන යෑමට වෙන් වෙන් වශයෙන් පිරිස් ඉදිරිපත් වෙති. පෙරහැර යන මග කාසි විලඳ සහ සුදුවැලි අතුරනු ලැබේ. සාමාන්‍ය දුප්පත් අයෙකු මිය ගිය විට මේ සිරිත් අනුගමනය කරන බවක් නොපෙනේ. සමහර ගම්වල දක්නට තිබෙන විශේෂ සිරිතක් නම් 'හේම කද' ගෙන යෑමයි. එනම් මිය ගිය තැනැත්තා ජීවත් ව සිටියදී කෑමට බීමට කැමති දේවල් කදක් බැඳ මිනිය ඉදිරියෙන් රැගෙන යාමයි. එය ගෙන යන තැනැත්තා හිස වසා සුදු රෙදි කඩකින් සැරසී ගමන් කරයි. ආදාහන මොහොතට පෙර ඔහු අර කදෙන් ආහාර පාන ගෙන මැරුණු මිනිසාගේ කටෙහි තබයි.
ආදාහනයට හෝ භූමදානයට පෙර පාංශුකූලය දීමේ සිරිත සෑම ගමකම පවතියි. ඒ අවස්ථාවේදී මිය ගිය තැනැත්තාගේ ගුණ වර්ණනා කොට ගිහි පැවිදි කතා පවත්වයි. අනතුරුව පැන් වකොට පිං දී පාංශුකූලය පූජා කිරිමෙන් පසුව සොහොන් බිම හෝ සෑය වටා තෙවරක් මළසිරුර රැගෙන යන්නේ ස්ථානයට ගරු කිරීමක් වශයෙනි. ආදාහනයේදී නම් සෑයට පොරවකින් කොටන සිරිතක් ඇත. සෑයට ගිනි තබන්නේ මිය ගිය අයගේ බෑනාවරු දෙදෙනෙකු විසිනි. ගිනි තැබූ පසු ඔවුන් ගගකට හෝ ඇළකට ගොස් ස්නානය කර පිරිසිදු වෙති. භූමදානයකදී නම් මිණිය වළට දමා නෑදෑ හිත මිතුරන් පස් පිඩු කීපයක් වළට හෙළති. පසුව වළ වසා දමා ඒ මත පහන් දල්වනු ලැබේ. ආදාහනයේදී සෑය ගිනිගත් ලේ සිට අළු එකතු කරන තුරු එතැන ආරක්ෂා කරයි. පසුව අළු එකතු කර භූමදානය හෝ ගගේ පා කිරිම සිදුකරයි. මළ දා පටන් ආදාහන/ භූමදාන කටයුතු නිමවන තෙක් මළගෙදර ගිනි දල්වන්නේ නැත. අසල්වැසි නෑදෑ හිත මිතුරන් විසින් මළ ගෙරට අවශ්‍ය බත බුලත ආහාර පාන සැපයීම සාමාන්‍ය සිරිතයි. අවසාන කටයුතු නිම වූදා රාත්‍රි මළ බතක් උයා නෑදෑ හිත මිතුරන්ට එයින් සංග්‍රහ කරනු ලබයි. අද වන විට මෙම සිරිත් අනුගමනය කිරීම බෙහෙවින් නවීකරණය වී පැවතීම දැකිය හැකිය.
Comments
Post a Comment