gossiplanka image 1
 



සිංහලයන් අතර ඇති ප්‍රධාන විවාහ ක්‍රම දෙක වන්නේ ඇග හා බින්න විවාහයයි. දැරියක් පිටට විවාහ කර දීම 'දීග විවාහයයි'. විවාහයෙන් පසුව මනමාලයා දැරියගේ නිවසහි පදිංචියට ඒම " බින්න" විවාහයයි. බින්න විවාහයකට පත් තැනැත්තාට එම නිවසෙහි ලැබෙන්නේ අඩු තැනකි. ඒ අනුව ඔවුන් ගිනිහලු, තල් අන්ත සහ හැරමිටිය සුදානම් කරගෙන සිටිය යුතු බව ජනප්‍රවාදයේ කියවේ. එයින් කියවෙන්නේ රාත්‍රියෙහි වුවද වැස්සෙහි වුවද මහලු වයසට පත් වුවද බිරිඳගේ අණින් පිටවී යෑමට ඔහු සූදානමින් සිටිය යුතු බවයි. මෙම විවාහ ක්‍රම දෙකට අමතරව එකගෙයි කෑම' එනම් වැඩිමහල් සහෝදරයාට ගෙනෙන බිරිය සමඟ අනෙක් සහෝදරවරුන් දෙවැනි සැමියන් වශයෙන් ජීවත් වීමද අතීතයේ දක්නට තිබුණි. නමුත් වර්තමානය වන විට සිංහලයන්ගෙන් මෙම විවාහ ක්‍රමය ඈත් වී ගොස් ඇත. විවාහ වීමට සුදුසු තරුණියක් සිටින පවුල්වල අය විසින් මගුල් කපුවන් ලවා එම යුවතියන් සඳහා සුදුසු මනාලයෙක් සෙවීම සිංහල රටේ සාමාන්‍ය සිරිතයි.


මගුල් කපුවකු මාර්ගයෙන් නෑදෑ හිත මිතුරකුගේ හැඳින්වීමකින් පුවත්පත් දැන්වීමක් මාර්ග යෙන් හෝ දෙපාර්ශවය අතර එකගත්වයට පැමිණීමට පෙර ඔවුන්ගේ හඳහන් බැලීම ඉතා වැදගත් කොට සැලකේ. හඳහන් අනුව එම එක්වීම සුදුසු නම් පළමුවෙන්ම මනාලයාගේ පැත්තේ වැඩිහිටියෝ මනාලියගේ තොරතුරු තවදුරටත් දැන ගැනීම සඳහා "ගෙවල් දොරවල්" බැලීමට යති. මනාලියගේ පාර්ශවයෙන්ද  පෙරළා මනාල නිවසට පැමිණෙන අතර ඒ සඳහා මනාලිය පැමිණෙන්නේ නැත. ඔවුන් දෙපාර්ශවය විවාහය ගැන මූලික එකගත්වයකට පැමිණියහොත් නැකත් පත්‍ර ගෙන ඒම සහ නම් දීම සඳහා දිනයක් යොදාගනු ලැබේ. විවාහය සිදු කෙරෙන දිනය නැකත් පත්‍රයෙහි සඳහන් වේ. ඒ අනුව සියලුම කටයුතු ඉටු කිරීමට වැඩිහිටියෝ වගබලා ගනිති. නැකත් පත්‍රයෙහි මනාලියගේ නම, ගම විස්තර ආදියද මනාලයාගේ විස්තර ද සඳහන් වේ. එය මනාලියගේ නෑදෑ හිතවතුන් ඉදිරියේ කියවා භාරදෙනු ලැබේ. නැකත් පත්‍රය පිළිගන්වන දිනයේදී හෝ ඊට කලින් දෑවැදි පිළිබඳ ප්‍රශ්න ආදිය නිරාකරණය කර ගැනීම සාමාන්‍ය සිරිත විය.


පසුකාලීනව තරුණ තරුණියන් හමුවී මිත්‍ර සබඳතා ඇතිවීමෙන් සිදුවන විවාහවලදී නැකැත් පත්‍ර ගෙන ඒම වැනි සමහර සිරිත් නොකෙරුණ බව පෙනේ.  දෙපක්ෂයේම නෑදෑ හිත මිතුරන්ට බුලත් දීමෙන් ආරාධනය කිරීම සිදු කරන්නේ විවාහ ගිවිස ගැනීමෙන් පසුවයි. සාමාන්‍ය හිතමිතුරන්ට ලිපි යැවීම හෝ විවාහය වෙනුවෙන් මුද්‍රිත ආරාධනා පත්‍රයක් යවන අතර, ගම් ප්‍රදේශයේ වැදගත් වැඩිහිටි අයට පෞද්ගලිකව බුලත් දී ආරාධනය කිරිම සාමාන්‍ය සිරිතයි. ප්‍රථම ආරාධනය නැකත් පත්‍රයේ සඳහන් සුභ නැකතට අනුව වාසනාවන්ත වැදගත් වැඩිහිටියෙකුට ලබාදීම සිදු කරයි.  මංගල දිනය උදා වූ පසු එදින මනාලයා මනාලියට සහ ඇගේ නෑයින්ට තෑගි බෝග රැගෙන සුබ මොහොතින් පිටත් වෙයි. අතීතයේ මෙවැනි ගමන් වන දුර්ග පසුකර යෑමට සිදු විය. එම නිසා යන අයගේ ආරක්ෂක්ෂාව සදහා එම ගමනේදී සෙස්සත් සහ මුරායුධ පවා ගෙන ගියහ. එම සිරිත අද දක්නට නොමැති වුවද සේසත් සහ මුරායුධ මගුල් පෝරුව අසල තැබීමෙන් ඒ සිරිත සංකේතවත් කරයි.


මංගල පෙරහැර නිවස ආසන්නයට පැමිණ ඇති බව දැන්වීමට වෙඩිල්ලක් පත්තු කිරීම දැනටත් සමහර තැන්වල සිදුවෙයි. කඩුල්ලේ සිට මනාලියගේ නිවස දක්වා 'රජකයා' විසින් පාවඩ එළනු ලැබේ. කඩුල්ල ළගදී තහංචි කවි කීමට පටන් ගනියි. මේ සිරිත් දැන් අභාවයට ගොස් ඇත. මනාලයා ගෙට පිවිසෙත්ම පෙර අනුගමනය කළ යුතු පිළිවෙත් කිහිපයක් ඉපැරණි ග්‍රන්ථවල සඳහන් වුවද ඒවායින් අද අනුගමනය කෙරෙන්නේ සිරිත් කිහිපයක් පමණි. මනාලයා ගෙට පිවිසෙනවාත් සමගම පොල් ගෙඩියක් බිඳිනු ලබන්නේ වස් දොස් සමනය වනු පිණිස බව සිංහලයින්ගේ පිළිගැනීම විය. මනාලයා පිළිගනු ලබන්නේ යුවතියක් හෝ කිහිපදෙනෙක් විසින් ජයමංගල ගාථා ගයද්දීය. මනාලියගේ බාල සහෝදරයෙක් මනාලයාගේ දෙපා සෝදයි. මනාලයා ඒ සඳහා ඔහුට තෑගි ලබා දෙයි. වර්තමානයේ ඒ සඳහා මුදලක් ලබා දුන්නද පැරණි සිරිත වූයේ වටිනා මුද්දක් හෝ රන් කාසියක් පිරිනැමීමය. එයද දිය බඳුනට දැමීම විනා අතට දෙනු නොලැබේ.


විවාහ මංගල්‍යයෙහි ප්‍රධානතම අවස්ථාව නම් මනාල ජෝඩුව පෝරුවට නැවීමයි. පෝරුව ඉදිකිරීම සඳහා ඉහත කාලවලදී ගන්නා ලද්දේ කොහොඹ ලෑල්ලකි. එහෙත් වර්තමානයේ ඒ සඳහා ගන්නා ලද ලී වර්ගවල විශේෂයක් දක්නට නැත. ඒ මත පැදුරක් හෝ සුදු රෙද්දක් අතුරා සහල් පොල්, රන්, රිදී කාසි විසුරුවා දෙපැත්තට පුන් කළස් දෙකක් තබා තව දුරටත් මල් ලියවැල් ආදියෙන් එය අලංකාර කරනු ලබයි. ඒ ඒ සමාජයේ හා ආර්ථික තත්වයේ හැටියට පෝරුවේ අලංකාරයද මගුල් මඩුවේ තත්වයද වෙනස් වේ. එහෙත් කෙනෙකු කෙතරම් දුප්පත් වුවද පෝරුවේ සිටුවීම අනිවාර්යයෙන්ම සිදු කරනු ලබන චාරිත්‍රයක් විය. මනාලයාගේ පියා හෝ ඔහුගේ මාමා කෙනෙකු විසින් මනාලයා පෝරුවට නංවයි. පෝරුවට නංවන අවස්ථාවේද පොල් ගෙඩියක් දෙපලු කරනු ලබයි. ඉන්පසු ජයමංගල ගාථා සහ අෂ්ටක ගායනා කෙරෙන අතරතුර යුවතිපතින් දෙදෙනාගේ සුළගිලි නූලකින් බඳිනු ලබන්නේ මනාලියගේ ඇවැස්ස මාමා කෙනෙකු විසිනි. අනතුරුව අත පැන් වත් කිරීම සිදු කරන්නේ මනාලියගේ පියා අතිනි. (අත පැන් වත්කිරීම වැනි මෙම චාරිත්‍ර ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්කම් දැකිය හැකිය) ඥාතීන් මධ්‍යයේ විවාහ ගිවිස ගැනීමේදී ආශිර්වාද ලබා ගැනීමේදීත් ජලය යොදාගැනීම ධර්ම ශාස්ත්‍ර නියමයයි.


මංගල අෂ්ටක කීමෙන් පසුව සුළගිලි ගැටය ලිහා බත් පිඩු හුවමාරුව සහ තැළිපිළි හුවමාරුව කරනු ලබයි. මනාලයා මනාලියටත් මනාලිය මනාලයාටත් බත් කටක් කැවීම 'බත් පිඩු හුවමාරුව' ලෙස හැඳින්වේ. ඊට පෙර මනාල ජෝඩුව පෝරුව මත

තෙවරක් පැදකුණු කිරීම සමහර ප්‍රදේශවල දක්නට ලැබේ. තැළිපිළි හුවමාරුව යනු මනාලයා මනාලියට සාරියක් හැට්ටයක් සහ රන් මාලයක් තෑගි කිරීමයි. සමහර විට මේ අවස්ථාවේදීම මුදු මාරු කිරීම ද සිදු කෙරේ. මනාලයා මනාලියට කිරිකඩ හේලය' (යාර පහක් පමණ සුදු රෙද්දක්) දෙන් අනතුරුවයි. එය මනාලිය තම මවට තෑගි කරයි. මව එය ආරක්ෂා කර තබා දුවට කුළුදුල් දරුවා උපන් විට ආපසු ඇයටම තෑගි කරයි. කිරිකඩ හේලය යනු දුවට දුන් කිරිවලට ණය ගෙවීමක් යයි සලකනු ලැබේ. පෝරුවේ චාරිත්‍රවල අවසාන අවස්ථාව නෑයන්ට බුලත් දීමයි. යුවතිපති දෙදෙනා තම දෙමව්පියන්ගෙන් පටන් සියලුම ඥාතීන්ට බුලත් දී අවසර ගනිති. මේ සඳහා නෑයින් පෝරුව ළඟට ආ යුතුය. යුවතිපතින් දෙදෙනා පෝරුවෙන් බැස්සවීම සඳහා නැකත් වේලාවක් ඇත. බස්සවන මොහොතේදීම පොල් ගෙඩියක් දෙපලු කරනු ලැබේ. එය සම සමව දෙබෑවී උඩුකුරුව සිටියහොත් විවාහය වාසනාවන්ත වන බවට සිංහලයන් තුළ මතයක් ඇත.


විවාහය ලියාපදිංචි කිරීමෙන් පසු ආරාධිතයන්ට සංග්‍රහ කිරීම ආදිය සිදු කෙරෙයි. හිතවත් නෑදෑයන් සහ මිතුරන් ආරාධනා ලබයි. අතීතයේ පළමුව බතින් සංග්‍රහ කරන්නේ උදව් උපකාර කළ අයටයි. එය 'ආදර බත' ලෙස හඳුන්වනු ලැබිණි. නමුත් වර්තමානයේ බොහෝ විට සිදුවන්නේ සියළු දෙනා එකටම ආහාර ගැනීමයි. භෝජන සංග්‍රහය අවසානයේදී මනාල පක්ෂයේ වැඩිහිටියෙකු හෝ කිහිප දෙනෙක් කතා පවත්වති. මෙහිදී මනාලයාගේ ගතිගුණ, වැදගත්කම ඉගෙනුම ආදිය වර්ණනා කෙරෙන අවස්ථාද තිබේ. බතින් බුලතින් සංග්‍රහ කිරීම ගැන ඔවුහු මනාලියගේ පාර්ශවයට ස්තුති කරති. මනාලියගේ වැඩිහිටියෝ එයට පිළිතුරු කතාව කරමින් මනාලියගේ ගතිගුණ ගැනත් සඳහන් කර යම් කිසි අඩුපාඩුවක් විණි නම් ඊට සමාවෙන ලෙස ඉල්ලති. ඉන්පසු දෙපැත්තේ අය නව යුවළට ආශිර්වාද කරති.  පසුව මනාලිය කැන්දාගෙන යති. බටහිර ක්‍රමයට අනුව මංගල රාත්‍රිය සඳහා බාහිර හෝටලයකට යාම වර්තමානයේ සිරිත නමුත් අතීතයේ එසේ සිදු නොවිණ. මංගල ඡායාරූප ගැනීම වැනි දේ පසුකාලීනව එකතු වූ දේය. මංගල රාත්‍රිය හෝ රාත්‍රී කීපයක් වුවද බාහිර තැනක නැවතී පසුව මනාලයාගේ නිවසට පැමිණීම 'ගෘහ ප්‍රවේශ උත්සවය' ලෙස හැඳින්වේ. එතෙක් මනාල යුවළ සමග ගමන් කරන හිතවතුන් කිහිප දෙනෙක් සිටිති. ඒ මනාල යුවලගේ ආරක්ෂාව සඳහායි.


මංගල රාත්‍රියෙහි මනාලියගේ හැදිවත පරික්ෂා කර බලා ඇගේ කන්‍යාභාවය ගැන සොයා බැලීම අතීතයේ සිදුවී ඇත. මේ සිරිත 'ඉසදිය බැලීම' යනුවෙන් හැඳින්වේ. මේ ගැන සමහර සිංහල ගම්මානවල සැලකිල්ලක් දක්වනු ලැබේ. ඇතැම් විට මනාලයාගේ මවට මෙය වැදගත් කරුණක් විය. සමහරුන් මේ පිළිබඳ විස්තර දැනගත්තේ රෙදි නැන්දා මඟිනි. මනාලිය පිරිසිදු තැනැත්තියක් නම් රෙදි නැන්දා රතු මල් පොකුරක් අරගෙන මනාලයාගේ කාමරයෙන් පිටතට පැමිණෙයි. එසේ නැත්නම් සුදුමල් රැගෙන පිටතට පැමිණෙයි. මනාලිය පිරිසිදු තැනැත්තියකව සිටියානම් මංගල ගෙදර ප්‍රීතිමත් භාවයක් හටගනී. එසේ නොමැති වූ විට විවිධ ප්‍රශ්න ඇති වේ.ගෘහ ප්‍රවේශය උත්සවයක් වශයෙන් ගැනෙන අතර, එදින මනාලයාගේ ගෙදර හෝජන සංග්‍රහයක් පැවැත්වේ. එය ‘සාදර බත' ලෙස හඳුන්වයි. එදිනට පෙර මනාලියගේ ඇඳුම් පැළඳුම් අල්මාරි මහන මැෂින් පමණක් නොව ඇද පුටු පවා මනාලයාගේ ගෙදරට එවනු ලැබේ. සමහරු මෙසේ මනාලියගේ ඇඳුම් පැළඳුම් ගෙන ඒම නෑදෑ සියල්ලනට පෙනෙන සේ ගෘහ ප්‍රවේශ දිනයේ සිදු කරති. මෙදින මනාලියගේ පාර්ශවයේ අය එන ගමනේදී කත් බැඳගෙන ඒම "මහ ගමන' ලෙස හඳුන්වයි. ඇතැම් ප්‍රදේශවල "කත්බැඳි මගුල' ලෙසද හඳුන්වයි. මනාලියගේ කන්‍යාභාවය ගැන ප්‍රශ්නයක් නැතිනම් මනාල පක්ෂය විසින්, ඇගේ දෙමාපියන් විසින් සාදරයෙන් පිළිගනිති. විවාහ වූවන් ජීවිත අවසානය තෙක් ඒ ජීවිතය පවත්වා ගත යුතුය. නමුත් කාලය ඇවෑමෙන් ඔවුන්ට එක්ව වාසය කිරීමට අපහසුනම් වෙන්වීමට ඉඩකඩ සැලසී තිබිණ. මෙය 'දික්කසාදය' ලෙස හැඳින් විය. යම් හෙයකින් බිරිඳ මිය ගිය හොත් බිරිඳගේ නැගනිය අවිවාහක නම්, ස්වාමියා විසින් බිරිඳ ලෙස රැගෙන ඒමේ සිරිතක්ද අතීතයේ දක්නට තිබිණි.