ප්‍රමාණයෙන් විශාල සිරුරක් හිමි අලියා, දකින ඕනෑම අයෙකුගේ සිත් ගන්නා සුළු සත්වයෙකි. විශාල සිරුරට සාපේකෂව අධික ශාරිරික ශක්තියක් පිහිටි බැවින් ද, දියුණු මතක ශක්තියක් ඇති බැවින්ද මිනිස්සු මෙම ක්ෂීරපායී සත්වයා හීලෑ කොට ගනිති. මිනිසා විසින් මුලින්ම හස්තියන් හීලෑ කරගත් ආකාරය පැහැදිලිව ප්‍රකාශකර ගත නොහැකි වුවත්, මිනිසාත් අලියාත් අතර ඇත්තේ ප්රාග් ඓතිහාසික යුගය දක්වා දිවෙන අපූරු සම්බන්ධතාවයකි. අලින් ආසියානු අලියා සහ අප්‍රිකානු අලියා ලෙස ප්‍රභේද දෙකකි. හැසිරිම අතින් හීලෑ කරගත් විට අපූරු ගතිපැවතුම් සහිත සත්වයෙකි. කිසියම් කටයුත්තකට පුහුණු කිරීමෙන් පසුව එය නිවැරදිව ඉටු කිරිමේ මතක ශක්තියක් සහිත මනා හැකියාවක් අලියාට තිබේ. අධික කායික ශක්තිය නිසා අවශ්‍ය වැඩ කරගැනීමට හීලෑ අලි ඇතුන් යොදවන්නේ ඔවුන් සතු මේ අපූරු හැකියාවන් හේතුවෙනි. අලින්ගෙන් ඉටු කරගත් කාර්යයන් කිහිපයක්.
* අලි කරත්තය ඇද ගෙන යාමට
* වත්තක පොල් ඇහිලීමට
* සී සෑමට
* පෙරහැර වැනි කටයුතුවලට යොදාගැනීම.
* අධික බරක් සහිත දේ රැගෙන යාමට
* මිනිසුන්ට දඬුවම් පැමිණවීමට යොදාගැනීම.
අතීතයේ අප්‍රිකානු හා ආසියාතික ඇතුන් ඇත් දළ ලබා ගැනීම, ගජ මුතු ලබාගැනීම හා තවත් එවැනි විවිධ අවශ්‍යතා ඉටු කරගැනීමේ හැකියාව නිසා අලෙවි කළ හැකි වටිනා භාණ්ඩයක් විය. මේ නිසා පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ජාතිකයින්ගේ වෙළඳ ද්‍රව්‍ය අතර ප්රමුඛස්ථානයක් අලි වෙළඳාමට හිමිවිය. මේ තත්වය යටතේ අපේ රටින් නැව් ගතකළ අලි ඇතුන් ප්‍රමාණය අපමණය. රජවරු සහ පාලකයින් විසින් ත්‍යාග හා ප්‍රසාද වශයෙන් වෙනත් රට වලට හා නායකයින්ට පිරිනමා ඇති අලි හා ඇත් පැටවුන් සංඛ්‍යාවද ගණනය කළ නොහැකි තරම්ය. අතීතයේ අලි ඇල්ලීම සඳහා විවිධ තනතුරු නාම වලින් පත්කළ ස්වදේශීය නියෝජිතයන් යුරෝපා පාලන සමයේදී සුලබ විය. ඔවුන් යටතේ "කුරුවේ" නමින් හඳුන්වනු ලැබූ අලි ඇල්ලීමේ කාව්යංශයක් පෘතුගීසිහු පවත්වාගෙන ගිය බවට වාර්තා වේ. පෘතුගීසීහු ඒ ඒ දිශාවන්වල අල්ලන ලද අලි ඇතුන් රඳවා තැබීමට අලි ගාල් (ඇත් ගාල්) ගණනාවක් පවත්වාගෙන ගිය බව වාර්තතාගතය. ජෝන් රොබෙයිරෝ සඳහන් කරන පරිදි හීලෑ අලි ඇතුන් සහ අලි ඇල්ලීමේ කාර්ය මණ්ඩලය යොදා ගනිමින් කරනු ලබන "වැටලීම" අතිශය අමානුෂිකය. යම් හෙයකින් අලියා මෙල්ල නොවී දඩබ්බර වුවහොත් යුරෝපීයන්ගේ වෙඩි උණ්ඩයට බිලි වී ජීවිතයෙන් සමුගත් අවස්ථාද අපමණය. රොබෙයිරෝට අනුව ක්‍රි.ව. 1685 දී කොළඹ බල කොටුව ආශ්‍රිතව පැවති ඇත්ගල කොළඹ වරායෙන් නැව් නැගවීමට ප්‍රථම අලි රඳවා තබන ස්ථානයක් විය. පළමු රාජසිංහ රජතුමා කොළඹ කොටුව වැටලූ අවස්ථාවේ පෘතුගීසීන් සතුව තිබූ ආහාර හිගවීම නිසා ඔවුන් කළේ ඇත් ගාලේ සිටි ඇතුන්ගෙන් එකෙකු හැර සියලු අලින් මරා ආහාරයට ගැනීම බව සඳහන් කර තිබේ. ඔවුන් මෙරටින් ලබාගත් අලි ඇතුන් යුරෝපයේ වෙනත් රටවලට ඉතා විශාල මිලකට අලෙවි කරනු ලැබිණ. අල්ලා ගන්නා ලද සියලු අලි ඇතුන් වෙළඳාම පිණිස යොදා නොගැණිනි. ශාරිරික වශයෙන් හොඳ තත්වයේ සිට ඇතුන් තෝරා හීලෑ කොට උස මැන ඒ අනුව මිල නියම කෙරුණි. විකිණීමට සැලසුම් කළ ඇතුන්ගේ පෘතුගීසි වෙළඳ ලකුණ හංවඩු ගැසූහ. යාපනය, මන්නාරම, ත්‍රිකුණාමලය ප්‍රදේශවලින් ඉතා විශාල ලෙස අලි ඇතුන් අල්ලාගනු ලැබූ අතර යාපනය ප්‍රදේශයේ විශාල පරිමාණයේ පෘතුගීසි ඇත්ගාලක් තිබූ බවටද වාර්තා වේ. පසුව ලන්දේසීන් 1602 දී පමණ පැමිණීමෙන් පසු ඔවුන්ගේ ක්‍රියා කලාපයද පෘතුග්රීසින්ට නොදෙවෙනි විය. දෙවන රාජසිංහ රජු සමග උපක්‍රමශීලී අයුරින් වෙළඳ ගිවිසුම් අත්සන් කොට අලි ඇතුන් ඇතුළු ලංකාවේ සියලු අපනයන ද්‍රව්‍ය ඔවුන් වෙත ලබා ගැනීමේ ක්‍රමවේදයක් සැලසුම් කළහ. අලි ඇතුන් බහුල ප්‍රදේශ සඳහා වසරකට නියමිත සතුන් සංඛ්‍යාවක් සපාය දිය යුතු බව දන්වමින් ඒ අධීක්ෂණ කටයුතුවලට මුහන්දිරම් කෙනෙක් පත් කෙරුණි. 1643 වසරේ පමණක් ලන්දේසීන් විදේශ රටවලට අලෙවි කළ අලි ඇතුන් ප්‍රමාණය 15820 ක් බව යොහාන් යාකොබ්දසාර් විසින් සඳහන් කර තිබේ. බ්‍රිතාන්‍ය පාලන සමය කලින් ජාතින් දෙවර්ගය මෙන්ම ඔවුන්ගේ ද ආදායමේ කැපී පෙනෙන අංගයක් වූයේ ඇතුන් වෙළදාමයි. එයිට අමතරව අලි ඇතුන් දඩයම විනෝදාංශයක් ලෙසද බ්‍රිතාන්‍යයන් සිදු කළ බවටද වාර්තතාගතය. සැමුවෙල් බේකර්ස්, තෝමස් රොජර්ස්, මේජර් ස්කීනර් යන බ්‍රිතාන්‍යයන් ලංකාවේ අලි ඇතුන් විශාල ලෙස ඝාතනය කළ අය අතර වේ. ඇතුන් මරා දමා ඇත් දළ ලබාගැනීම හා ඒවා අලෙවි කිරීම ඔවුනගේ ප්‍රධාන අංගයක් විය. ටෙනන්ට අනුව සිංහල වැසියන් ලවා ඇතුන් මරා දැමීමේ කටයුතු ඉංග්‍රීසීන් සිදු කර වූ අතර, එක් ඇතෙකු වෙනුවෙන් සිලිං කිහිපයක තෑග්ගක් අදාළ සිංහලයාට හිමිවිය. 1847 වර්ෂයේ උතුරු පළාතේ ඇතුන් 3500ක් පමණ මේ අයුරින් ඝාතනයට ලක් වූ බව ටෙනන්ට් සඳහන් කරයි. ඉංග්‍රීසි ජාතිකයන්ද රත්නපුර, බුලත්ගම, අවිස්සාවේල්ල, ගම්පොළ, පනාමුර වැනි ප්‍රදේශ ගණනාවක ඇත් ගාල් පවත්වාගෙන ගිය බව වර්තතා වේ. පනාමුරේ ඇත් ගාල 1950 වර්ෂය දක්වා පැවති අතර එය ලංකාවේ අවසන් ඇත් ගාල බවට වාර්තා වේ.
Comments
Post a Comment