gossiplanka image 1
 


සිංහල පුද්ගලයෙකුගේ ව්‍යවහාරික නමක කොටස් දෙකක් ඇතුළත් විය. එනම් පෙළපත් නාමය සහ පුද්ගල නාමයයි. මීට කලින් සඳහන් කළ ගෝත්‍රයෝද නැවත වර්ග නැතහොත් පවුල් වශයෙන් බෙදී පවතී. පවුල් කිහිපයක් එක්වී කුල  නැතහොත් ගෝත්‍රයන් නිර්මාණය වී ඇත. එම කුල බෙදා දැක්වීම සඳහා යොදාගත් නම් පෙළපත් නාම යනුවෙන් හඳුන්වනු ලැබේ. සාමාන්‍යයෙන් "වාසගම" යනුවෙන් ව්‍යවහාර වන්ද මේ පෙළපත් නාමයයි. එකිනෙක කුලයන් අතරද, ගෝත්‍රයන් අතර ද උස් මිටි කම් ඇතැයි සලකන්නා සේම පෙළපතං අතරද උස් මිටි කම් ඇතැයි සලකන්නා සේම පෙළපතං අතරද උස්මිටිකම් සලකනු ලැබේ. පෙළපත් නම සහිතව සිංහල නමක්  යෙදීමේදී "අසවලාගේ පුතා හෝ අසවලාගේ දියණිය” යන යෙදීමද එසේ නැතහොත් "අසවල් තැන නිවසේ අසවලා" යන ආකෘතියද යෙදුනු බව පෙන්නේ.


නිදසුන් - කුමතේරිස්ගේ  පියදාස

              ළිඳ ළඟ ගෙදර අප්පුවා

              මීගස්තැන්නේ අධිකාරම

              කවිකාර මඩුවේ මොහන්දිරම් නිළමේ

              කුට්ටාලේ ලේකම්


විවිධ වූ පෙළපත් නාම දහස් ගණනක් සිංහල මිනිසුන්ගේ නම් සමග ව්‍යවහාරයට පැමිණ තිබේ.


හේරත් මුදියන්සේලාගේ, සෙනෙවිරත්න ගෝමර මුදියන්සේලාගේ, චන්ද්‍රසේකරගේ විජයසිංහගේ, අලගියවන්න මොහොට්ටාලගේ, මල්දෙණිය කෝරාලලාගේ ආදී නාම පරම්පරාවෙහි ආදී  ප්‍රධානියෙකුගේ නමින් හඳුන්වන ලදි.

"ඇදි දුන්න විදි තිලක මුදියන්සේලාගේ" ආදී සමහර වාසගම් රජුන් විසින් දෙන ලද පටබැඳි නම් විය.

අදිකාරම්ගේ, මුහන්දිරම්ගේ, කාරියකරන රාළලාගේ ආදීසමහර නාම රජුගෙන් ලද නිලතල අනුව ලැබුණු ඒවා විය.

එමෙන්ම කංකානම්ගේ, වැදි සිංහගේ, සුදු හකුරුගේ, ගල් වඩුගේ ආදී සමහර නාම රැකී රක්ෂා අනුවද යෙදිණි.

නාරාහේන්පිටගේ, ගහේනගේ, ඕමත්තගේ ආදී සමහර නාම මුල් පදිංචිය අනුව ඇති වූ පෙළපත් නාමයෝය.

ද්‍රවිඩ නාම මුල් කොට උපන් අප්පුකුට්ටිගේ, පෙරියප්පෙරුමගේ ආදී නාමයන් ද විය.

යුරෝපා ජාතිකයන්ගේ නාම මුකොට උපන් පරංගිගේ,  සිල්වා මෙරිඤ්ඤගේ ආදී නම් රැසක්ද ඇත.

මුස්ලිම් වැනි වෙනත් ජාතීන් සහ සම්බන්ධ වීමෙන් උපන් මරක්කලගේ, තම්බි මුදියන්සේලාගේ වැනි නම්ද  දැකිය හැකිය.

පහළ ගෙදර මුදියන්සේලාගේ, කන්ද ගෙදර රාළලාගේ ආදී වශයෙන් මුල් පදිංචි ස්ථානය පෙළපත් නාමය වශයෙන් කන්ද උඩරට ප්‍රදේශවල බහුලව දැකිය හැකි විය.  ඇතැම් නම් වල වාසගම / පෙළපත් නාමය සඳහා අදාළ අයගේ කුලය හෝ රාජකාරි ස්වභාවය බලපා ඇති ආකාරය පහත පෙළපත් නාම පිළිබඳ විමසීමෙන් පැහැදිලි කර ගත හැකිය.


ආචාරිගේ - කම්මල් ආශ්‍රිත කර්මාන්ත

ආරච්චිගේ - ගමේ ආරක්ෂාව හා රජුගේ අණ ක්‍රියාත්මක කිරීම

බඩහැලගේ - මැටි භාජන නිෂ්පාදනය කිරීම

බඩල්ගේ - රිදී භාණ්ඩ සාදන්නා

බෙරවාගේ - බෙර හා වාදන භාණ්ඩ වැයීම

ගුරුගේ - අධ්‍යාපන කටයුතු ද

හේවාගේ - යුධ කටයුතු සඳහා හේවායින් සම්බන්ධ අය

හුණුගේ - හුණු නිෂ්පාදනය කිරීම

ඉලන්දාරිගේ- පණිවුඩකරු සේවය

කින්නරගේ - පැඳුරු, කළල ආදී කර්මාන්ත සේවා

ලියනගේ - රජුගේ ලේඛන කටයුතු බාරව කටයුතු කිරීම

ලේකම්ගේ - රජුගේ ගබඩා ලේඛන බාරව කටයුතු  කිරීම

මානගේ - රජ වාසලට අය විය යුතු ධාන්‍ය ආදිය එකතු  කිරීම

මාලියම්ගේ - යාත්‍රා කටයුතු ආදිය සිදු කිරිම

මරක්කලගේ - වෙළඳ කටයුතු

නානායක්කාරගේ- වංශාධිපති තනතුරකින් පැවැත එන

පයින්ඩකාරන්ගේ - රජු වෙනුවෙන් තොරතුරු එහා මෙහා ගෙන ගිය අය

පතිරගේ - බදු ආදිය ගණනය කරන තැනැත්තා

රදාගේ - ඇඳුම් ආදිය පිරිසිදු කරන තැනැත්තා

විතාරනගේ - රණ්ඩු ආරවුල් විසඳන අය


වර්තමානය වනවිට සිංහල පුද්ගයෙකුගේ නමක ප්‍රභවය හෝ අනන්‍යතාව තහවුරු කරගත නොහැකි ආකාරයට විපර්යාසයන්ට ලක්ව තිබේ. අතීතයේ නමක් යෙදුන්නේ කිසියම් වූ පරම්පරාගත සම්භවයකට අනුවය. නමුත් අද වන විට කිසිඳු විශේෂත්වයක් නොතකා පුවත්පතක දැන්වීමක් පළ කිරිමෙන් පසු ව්‍යවහාරයට ගන්නා සුළු නමක් හා පෙළපත් නාම වෙනස් කිරිම් සිංහලයන් අතර දැකිය හැකිය. අතීතයේ සිංහල මිනිසුන්ගේ පෙළපත් නාමයක් පට බැඳුණේ පහත ආකාරය අනුව යමින් යන බව පෙනේ.


1. ඔහුගේ / ඇයගේ කුල ගොත් පසුබිම

2. පවුල් පසුබිම - සමාජීය, ආර්ථික

3. ඔහුගේ / ඇයගේ බිළිඳු වියේ චර්යා රටාවන් අනුව

4. දෙමව්පිය වැඩිහිටියන්ගේ රුචි අරුචිකම් අනුව


පහත දැක්වෙන මධ්‍යකාලීන සිංහල ගැමි නම් විමසීමෙන් ඒ බව තහවුරු වෙයි.


1. කලු - වඩාත් කලු සිරුරක් සහිත තැනැත්තා

2.කැකුළා - කුඩා දේහයක් සහිත තැනැත්තා

3. බයියා - කුලෑටි අය හැඳින්වීමට යෙදෙයි.

4.ආදරයා - සුරතල් / අදරැති තැනැත්තා

5. කිරියා - සුරතල් හෝ හුරුබුහුටි තැනැත්තෙකු හැඳින්වීමට

ලැමිට්ටා - ලාමක නොමේරූ දරුවෙකු හැඳින්වීමට

සේතුවා - වාසනාවන්ත තැනැත්තා

පිනා - යහපත් චරිතයක් / පෙර කරන ලද කුසල් සහිත තැනැත්තා

9. සිලිඳු - ප්‍රිය උපදවන සුලු / මෘදු ගති ඇති

10. සොබනා - ලස්සන රුවැති

11. දෙයියා - දෙවියන් වහන්සේ විසින් එවන ලද තේරුම

12. ටිකිරා - වඩාත් පුංචි යන තේරුම

13. වස්තුවා - සමෘද්ධිමත් බවින් යුතු තැනැත්තා


කාන්තා නාම

අමන්දෝ - ලස්සන තැනැත්තිය

ආලෝකා - දීප්තිමත් තැනැත්තිය

3. බතියා - මහත සුරතල් තැනැත්තිය

4.බිළිඳි - කුඩා දරුවෙකු වන තැනැත්තිය

5.ඇහැළ මලී - ඇහැළ මලක් සේ

6. ඉන්දරී - දෙවියන්ගේ දියණිය / දේව දූතිකාව යන තේරුම

7. කැකුළි - වඩාත් පුංචි යන තේරුම

8. කිරි මලී - කිරි බිඳු වන තැනැත්තිය

9. ලැමි - ලාමක, ලාබාල තැනැත්තිය

10. නිලි - නිල් පැහැති සිරුරක් ඇති තැනැත්තිය

11. පිං කෙල්ල - වාසනාවන්ත දැරිය

12. පුප්පි - මලක් වැනි කාන්තාව

13. රනී- රත්තරං වැනි කාන්තාව

14. සේදරා - කාර්යක්ෂම තැනැත්තිය

15. සේකා - බුද්ධිමත් තැනැත්තිය

16. සේතු - වසනාවන්ත තැනැත්තිය

17. සිරිමලී - පුංචි මලක් වැනි තැනැත්තිය


අතීතයේ භාවිත වූ නම් අදාළ පුද්ගලයාගේ තත්වය, තරාතිරම, පැටිකිරිය හෙලිකරන නිහඩ සාධකයක් බඳුය. එවකට මධ්‍යම පළාතේ එනම් ක්‍රි.ව 1817 පළමු වැනි ගැසට් පත්‍රයෙන් උපුටාගත් පහත සඳහන් නම් විමසීමෙන් ඒ බව තහවුරු කරගත හැකිය.


අලු විහාරේ උඩවලවේ අධිකාරම් නිළමේ

කිරි බණ්ඩා දුක්ගන්නා රාළ

හල්ගහ වත්තේ රාළ

සිලිප්පු පුංචි රාළ

කළු බංඩා වෙදනයිදේ

කිරි හීනයා

හරස්ගම වෙදරාළ

අගලවත්තේ ඇල්ලේ දුරයා

තන්ත්‍රීගේ කළු වර්ජා

සෙයියදු ගුරු උන්නැහේ

ගොඩමුන්නේ සකලසූරිය  මුදියන්සේලාගේ කව්රාළ

හේවාදුරයලාගේ රන් හවඩියා


විශේෂයෙන් යටත් විජිත සමයන්හි සිංහල සංස්කෘතියේ මූලික හර පද්ධතියට සිදු වූ හානිය තරමටම සිංහල මිනිසුන්ගේ නම් ගම් කෙරෙහි ඇති කළ බලපෑම අති විශාලය. යුරෝපා ජාතිකයින්ගේ නම් උසස් කොට සැලකූ අපේ ඇතැම් පුරාතනයේ තම නමේ කොටසක් හෝ යුරෝපීය නමකට ගෑවී තිබීම මහත් නම්බුවක් සේ සැලකූහ. හරමානිස්, මනුවෙල් අප්පුහාමි, අරනෝලිස්, දොන් ජුවන්, දොන් ජෙරනිමෝ, සයිමන් වැනි පෘතුගීසි නම් ද විලියම්, හෙක්ටර්, ජෝජ්, රිචර්ඩ්, නෙවිල් වැනි ඉංග්‍රීසි නම් කොටස්ද අපේ සිංහල මිනිසුන්ට ඈඳෙන්නේ ඒ නිසාය. ඒ ඔස්සේ සිංහල ගතානුගතික නම් යටපත් වීම මෙක්ම සමාජයේ වැඩි දෙනා යුරෝපීය චින්තනයට නැඹුරු වීමට මෙවැනි දේ හේතු සාධක විය. අද වන විට භාවිත කරන නම් සිංහලයන් අතර ප්‍රචලිත වන්නට වූයේ මුහුදුබඩ ප්‍රදේශයේ පෘතුගීසීන්ගේ තෝම්බු සටහන ලිවීමේ පටන්ය. පුත්තලමේ පටන් මාතර තෙක් ස්වකීය යටත් ප්‍රදේශ වාසීන්ගේ සවිස්තර නාම ලේඛනයක් තැනීමට පෘතුගීසි ආණ්ඩුව විසින් අදහස් කරන ලදි. මෙහි මූලිකත්වය භාර කරන ලද්දේ අලගියවන්න මුකවෙටිතුමාටය. ඔහු යටතේ ඒ ඒ පළාත්වල ලේකම්වරු පත්කරන ලදි. ආණ්ඩුවේ නියෝගය අනුව තෝම්බු ලියා දෙනු පිණිස ලේකම්වරුන් ඉදිරියට පත් තැනැත්තන් ඉහත දැක්වූ පරිදි පරපුරේ ආධිපත්‍යයකුගේ හෝ තනතුරක හෝ ගමක හෝ රක්ෂවක හෝ පදිංචි ස්ථානයක හෝ නම පෙළපත් නාමය වශයෙන් ලියා දී ඇත. ලන්දේසි ආණ්ඩු කාලයේ මෙය වඩාත් මැනැවින් සම්පූර්ණ කරන ලද බව ඉතිහාසගතය. ඒ ලිපි ලන්ස් තෝම්බුව නමින් මේ තාක් රජය භාරයේ ඇති බව පැවසෙයි.


අතීතයේ තෝම්බු ලියා දෙන්නට පැමිණි මිනිසකුගෙන් "තෝ මොන වගේද" යි ලේකම් ගැන ප්‍රශ්න කර ඇත. පුදුමයට පත් වූ මිනිසා පවසා ඇත්තේ "අනේ හාමුදුරුවන්නේ දැනගන්න එක තමා අමාරු" යනුවෙනි. එහෙනම් කෝ අද පටන් අමාරුගේ” යයි පවසා ලේකම් තැන තෝම්බුව සණ කළ බව කියවේ. මෑත කාලයේ ඒ පෙළපතෙහි වූවෝ ඒ නම පහත් කොට සලකා 'අමරසිංහගේ" ලෙස වෙනස් කරගත් බව ප්‍රවාදගතය. මෙම  ජනප්‍රවාදවල සත්‍ය අසත්‍යය බව කෙසේ වෙතත් සුදුසු නමක් ඒ වේලාවට සපයා ගත නොහැකි වූවන්ට ලේකම්වරුන් විසින් පෙළපත් නමක් නොදෙන ලදැයි කියා හෝ තමන්ගේ නම පහත් යයි සලකන්නවුන් විසින් පසුව එය වෙනස් නොකරන ලැදැයි කියා හෝ සලකන්නට ඉඩ ඇති බව සඳහන් වේ. ක්‍රි.ව.1505 දී ලංකාව ආක්‍රමණය කරන පෘතගීසින් පසු කාලයේ ලන්දේසින් මෙන්ම ඉංග්‍රීසින් අතින් ලාංකීය ජන සමාජය කෙරෙහි ඇතිකළ බලපෑම සුළුපටු නොවේ. එතෙක් ඒකාකාරි ප්‍රවාහයක ගමන් කළ ලාංකීය සංස්කෘතිය උඩු යටිකුරු කරමින් ඔවුන් අතින් සිදුවූයේ මහා ව්‍යවසනයකි. සිංහල මිනිසුන්ගේ නම් ගම්, ආකල්ප මෙන්ම සමස්ත ජීවිතය කෙරෙහි මේ තත්ත්වයේ වෙනසක් නොවීය. සිංහලයන් නිදහස ලබා අඩසියවසකට වඩා  ඉක්මගොස් ඇතත්, සිංහල ජන ජීවිතය කෙරෙහි විදේශීන් ඇතිකළ යටත්විජිත බලපෑම තවමත් පහව ගොස් නැත. පහත දැක්වෙන්නේ පෘතුග්‍රීසි ආභාෂය නිසා සිංහල මිනිසුන්ගේ භාවිතයට යෙදුනු නම් සමහරකි.


අල්ෆොන්සු

බ්‍රිටෝ

අල්මේදා

කබ්රාල්

අමදෝරු

කල්දේරා

අන්ද්‍රාදි

අල්විස්

බොතේජු

පිංතෝ

මෙන්ඩිස්

පැස්කුවෙල්

කොස්තා නෝනිස්

කුරේ

සල්ගාදු

සිල්වා

ෆොන්සේකා

මෙල්

දාබරේරා

කුරේරා

පිගේරා

සොයිසා

දොන් ජුවන්

දොන් ජෙරනිමෝ

ජාකෝ


සිංහලයෝ ස්වභාවයෙන්ම මාන්නාධිකයෝය. නම දික් වූ තරමට ප්‍රීති වන අය සහ උසස් යයි සලකනෝත් සිංහලයන් අතර බොහෝ ඇත. එබැවින් "මත සමත සුමිත්‍ර සමර දිවාකර නවරත්න කහද මුදියන්සේලාගේ සද්ද විද්ද පළග පතිර රන්පට බැඳි රාජපක්ෂ වික්‍රමසිංහ සේනානායක මුතු කුමාරන්නැගලාගෙ” ආදී වශයෙන් දින පෙළපත් නාම භාවිත කරන්නන්ද දක්නට ඇත. පහත් යයි සැලකෙන නම් අතැර උසස් යයි සැලකෙන පෙළපත් නම් භාවිත කරන්නන් වර්තමානයේ නිතර පාහේ දක්නට ලැබෙන්නේ ද මේ මානාධිකභාවය නිසාමය.  ක්‍රම ක්‍රමයෙන් නම් දික් ගැසී ගොස් පසු කාලයෙහි විමල ධර්ම සූරිය, ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ ආදී නම් භාවිතයට එන ලදි. සමස්ත සාමන්ත භූ පාල මණි මෞලි මාලාලං කෘත නව රත්නාධිපති ආදී වශයෙන් ඈඳා ගත් විශේෂණ පදත් සමග ගත් කළ මේ නම් අතිශයින් දිගුවිය. නම් දිගුකර ගැනීමට ගිජුකමක් දැක්වූ ඇතැම් අධිපතීහු රජුන්ට වඩාත් ප්‍රිය කළහ.


"විජය සුන්දර සෙනවිරත්න පණ්ඩිත මුදියස්ලාගේ පිළිමතලාවේ මහ දිසාව” ආදී වශයෙන් හඳුන්වන අධිපතීහු නුවර යුගයේ විය. දිග නමට සිංහලයන්ගේ මේ තාක් ඇති ඇල්ම වරතමාන සමහර සංඝ සමාජයෙන් පවා පෙනෙයි. මෙසේ වුවත් පෞරාණිකයන්ගේ ලුහුඬු නම් කොතරම් මනහර වීද යත් පැවිදි බිමට පත්වීමෙන් පසුවද නම වෙනස් කරන්නට වූයේ කලාතුරකිනි.  විශේෂණ වශයෙන් යොදන කවට නම් වලට සමහරු එරෙහි වෙති. එහෙත් පසුව රජුනට පවා එබඳු නම් ඇති වී ඇත. කළු පැහැ හෙයින් කාවන්තිස්ස යයිද, මුඩු හිස් ඇති හෙයින් කළුන්නා යමහරැවුළු ඇති හෙයින් මහ දැළියා තිස් යයිද, විසල් වරල ඇති මහ සිළු මහ තිස් යයිද ඇදුණු දත් ඇති හෙයින් රියන් දළ යයි ද රජහු නම් ලද බව ප්‍රකාශ වේ. චෝර නාග කරල් සොර හැළි ගැරඩින් ඉස් කෑ මිහිදු රියන් දළ ආදී රජුන්ගේ නම් වර්තමානිකයන්ට නම් කෝලාහල කිරිමට තරම් ප්‍රමාණවත් වනු ඇත. පැවැත්මෙහි වෙනස්කම් අනුව එක් මිනිසකුගේ නම කීපවරක් වෙනස් වූ අවස්ථා ද දක්නට ලැබේ. තිස්ස, නිකම් තිස්ස, ලුණු දිය තිස්ස, කිරිබත් තිස්ස, කලණ බත් තිස්ස යන නම් කීපය එකම මිනිසකුට ඒ අවධියෙහි ව්‍යවහාර කරන ලද බව පැවසේ.  ඇතැම් කාලවල ඇතැම් නම් බහුලව ව්‍යවහාර විය. තිස්ස ගැමුණු ආදී නම් පුරාණ යුගයේදී බහුලව භාවිත වී ඇත. මිහිඳු, කසුප්, අග්බෝ, සේන ආදිය මධ්‍යම යුගයෙහි බහු ප්‍රචාරයට පැමිණි නය. පරාක්‍රමබාහු, රාජසිංහ ආදී නම් මෑත යුගයෙහි බොහෝ රජුන් හැඳින්වීමට යොදන ලදි. පරපුරෙහි උසස් වැඩිහිටියකුගේ නම දරුවන්ට තැබීමේ අභිලාශය අද මෙන් එදාත් සිංහලයන් අතර විය. නාග කුමරු සිය පුතුට දෙටු බෑයාගේ තිස්ස යන නම තැබීය. ගෝඨාභය කුමරු සිය පුතුට පියාගේ තිස්ස යන නම තබා ඇත. චිත්‍රා දේවිය පුතුට සිය පියාගේ හා බෑයාගේ නම් එ කොට පණ්ඩු + අභය - පණ්ඩුකාභය යයි නම් කර ඇත. ප්ඵසුමන යනු ඔහුගේ පියාගේ මිතුරෝ දෙදෙනෙකුගේ නම් එක්කර තැබූවකි. මානාභරණ, කිත්සිරි මෙවන් ආදී නම් ද මෙසේ බව පැවසේ.


අතීතයෙහි සිටි වික්‍රමවත් රජකුගේ නම තමන්ටත් ඈඳා ගැනීම රජුන් අතර සමහර විට ඇති වූ පුරුද්දක් බවද කියවේ. ගැමුණු නිරිඳුන්ගෙන් පසුව සිටි බොහෝ රජවරු ගාමිනී යන නම යොදාගෙන ඇත. සිරිසගබෝ රජුගෙන් පසු ගාමිනී යන්න අතහැර සිරිසඟබෝ යන්න භාවිත කර ඇත. මහා පරාක්‍රමබාහුගෙන් පසු එනමින් පෙනී සිටි රජවරු අට දෙනෙක් සිටි බව කියැවේ. කුල ගෝත්‍ර වශයෙන් උස් පහත්කම් සැලකීම සේම නමින්ද උස්පහත්කම් සැලකීම ආදියේ පටන් සිංහලයන්ගේ සිරිතක්ව තිබුණු බව කියවේ. සංඝ සරණ, සෝක, චිත්ත, සංඝ, ධම්මා,  හේමා ආදිය ක්‍රි. පූ. කාලයේ සාමාන්‍ය කුලපතියන්ගේ නම් ඇඳින ගැනීමට උපකාර වී ඇත. දැමී, බැබිරි, විදුරග, තුට්ඨක සේනා, වාලා ආදිය නවවන දසවන ශතවර්ෂවල නම්වල ස්වභාව පෙන්වයි. කොදානා, විජයනා, පෙරනාගා ආදිය තෙලෙස්වන ශත වර්ෂයේ නම්ය. මුදියන්සේ, අප්පුහාමි, බණ්ඩා, කළු, සිරිමලී ආදිය නුවර රාජධානි කාලයේ පටන් ව්‍යවහාර වූ නම් බව පෙනේ. මෙහි සඳහන් අප්පුහාමි යන්න 'අප්පුසාමි' යන දෙමළ වචනයෙන් ද බණ්ඩාර යනු පණ්ඩාරම් යන දෙමළ වචනයෙන් බිඳී ආවක් බවද කියවේ. දැන් සාමාන්‍යයෙන් භාවිත කරගත් මුලදී මේ රාජකීය නම් ධර්මපාල රජු, පෙරියබණ්ඩාර යන්නෙන් හඳුන්වා ඇත. කෝට්ටේ රාජධානි කාලයේ පටන් සාමාන්‍ය ජනයාගේ නම් අගට හාමි , රාල ආදී උප පද එකතු කිරීම පටන් ගත් බව කියවේ. පහත් යයි සම්මත ගෝත්‍රිකයන්ගේ නම් අගට පේඩියා, දේශා, දුරයා ආදී උප පද එක්කරන ලද බව කියවේ. ස්ත්‍රී නාම අගට එතනා, මැණිකේ, හාමිනේ ආදිය යෙදීමද මේ කාල පරිච්ඡේදයෙදීම වූවකි.  එතනා, මැණිකේ යන නාම සමහර ගෝත්‍රික ස්ත්‍රීන්ට යොදන කල්හි එතනී, මැණිකී යනුවෙන් වෙනස් කර ඇත.