බලන්ගොඩ පින්නවල නව වැනි සැතපුම අසළ බොතුඹ ගම්මානයේ ඓතිහාසික බොල්තුඹේ සමන් දේවාලය පිහිටා තිබේ. පළමුවැනි රාජසිංහ රජු විසින් බොල්තුඹේ සමන් දේවාලය නමින් ඇරඹු මෙය ශ්රී පාද මළුවේ සිට සිවු දෙසට පිහිටි ප්රධාන දේවාලයක් ලෙස සැලකේ. පෘතුගීසි ආක්රමණයන් සිදුවෙද්දී රත්නපුර මහ සමන් දේවාලයේ තිබූ පෞරාණික වස්තු හා දේවාභරණ රැක ගැනීමට බොල්තුඹේ සමන් දේවාලය කරවා ඇති බවට මතයක් වෙයි. අතීතයේ මෙම ස්ථානය රත්නපුර මහ සමන් දේවාලයේ කඳුකර දේව ගබඩාව ලෙසද හඳුන්වා තිබේ.
බෞද්ධ මහෝපාසක දෙවි කෙනෙක් හැටියට සැලකෙන සුමන සමන් දෙවියන්ට පූජෝපහාර දැක්වීම සඳහා බොල්තුඹේ පෙරහර වාර්ෂිකව ඇසළ මාසයේදී සංවිධානය වේ. බොල්තුඹේ පෙරහරට අලි ඇතුන් සහභාගී නොවේ. පෙරහරේ ධාතු කරඬුව වැඩම කරවන්නේ තුන් මල් කුඩුව නම් ලීයෙන් තැනූ විශේෂ මණ්ඩපයකි. එය දෝලාව ආකාරයට පුද්ගලයන් සිව් දෙනෙක් ඔසවාගෙන යයි. දේවාලයේ රාජකාරි වලට සිටින පිරිසක් පෙරහරේ ආලෝකය පිණිස "පහන් පැලනම් ක්රමයක් භාවිතා කරති. පෙරහරට පසු තරගයට දිවීමේ රාජකාරියක්ද වෙයි. එය "නිරොක්තිය” නම් වේ. මෙහිදී දිවූ අයත් බලන අයත් සතුටු වන අතර එයින් සංකේත්තවත් වන්නේ යුද්ධය දිනීම බව කියැවේ. බොල්තුඹේ පෙරහර මළුවේ පෙරහර වශයෙන් දින කිහිපයක් පවත්වා පසුව මහ පෙරහර පැවැත්වේ. බලන්ගොඩ බොල්තුඹේ මහ සමන් දේවාලයේ ඇසළ පෙරහර සමය දිය කැපීමෙන් නිමාවට පත්වේ.
Comments
Post a Comment