දළදා වහන්සේ ලක්දිවට වැඩම කළ කිත්සිරිමෙවන් රජ දවස සිට පස්වැනි මිහිඳු රජ සමය දක්වා සියවස් ගණනක් දළදාව පූජෝපහාර සහිතව අනුරාධපුරයේ තැන්පත් කර තිබුණි. දළදාව අනුරාධපුරයේ වැඩ සිටි සියවස් හතකට ආසන්න කාලය තුළ රජකම් කළ සියළු රජවරු නිරන්තරයෙන් දළදා වත් පිළිවෙත් කළහ. දළදා ප්‍රදර්ශන හා පෙරහරද පැවැත්වීය. කිත්සිරිමෙවන් රජ දවස දළදා වහන්සේ වාර්ෂිකව මහ පෙරහරකින් අභයගිරියට වැඩම කරවා විසිතුරු මණ්ඩපයක් තුළ වඩා හිඳුවා පුදපූජා කළ බවට වංශ කතා වල සඳහන් වෙයි. මේ පූජෝපහාර පසුව රජ පැමිණි රජවරුද එලෙසම සිදු කළහ. හතරවැනි මිහිඳු රජුගේ අවසාන භාගයේ සිට පරසතුරු උවදුරු හා රාජධානි වෙනස් වීම නිසා දළදා වහන්සේ රට අභ්‍යන්තරයට වැඩම කරවන ලදී.
එවක පටන් වසර දහසකටත් වැඩි කාලයක් දළදා පූජෝපහාර පෙරහරක් අනුරාධපුරයේ නොවුණි. මේ තත්වය නිමා කරමින් සංස්කෘතික ත්‍රිකෝණයේ අභයගිරි ව්‍යාපෘති නිලධාරින් දවල් පෙරහරක් ලෙස නම් කළ පෙරහර අංග සම්පූර්ණ පෙරහරක් වශයෙන් 1997 වසරේදී ආරම්භ කළේය. මේ සඳහා අටමස්ථානාධිපති පලේල්ගම සිරිනිවාස නාහිමියන්ගේ පූර්ණ මඟ පෙන්වීම හා උතුරු මැද මහ ඇමතිවරයාගේ අනුග්‍රහයද ලැබිණි. චීන ජාතික පාහියන් හිමියන්ගේ සටහන් වලට අනුව, එකල පෙරහර පවත්වා ඇත්තේ ඇසළ මාසයේදීය. අතීතයේ පැවති දළදා පෙරහරෙහි ජාතක කතා පෙරහර මඟ දෙපස ප්‍රදර්ශණය වූ බව එහිමියෝ සඳහන් කරති. දළදා සිරිතෙහි සඳහන් ව න්නේ භික්ෂූන් වහන්සේලා රටටත්, ජාතියටත් සෙත්පතා පිරිත් සජ්ජායනා කරමින් පෙරහරේ වැඩම කළ බවයි.
දැන් අනුරාධපුරයේ පැවැත්වෙන ඇසළ පෙරහරේ එම ජාතක කතා සංකේතවත් කරමින් පෙතිකඩ රැගෙන යාම සිදුවේ. එසේම පුරාණ චාරිත්‍ර සිහි නංවමින් අනුරාධපුර පංච මහා ආවාසයන්හි භික්ෂුන් වහන්සේල්ලා පිරිත් සජ්ජායනා කරමින් පෙරහරේ වැඩම කරති. අනුරාධපුර දළදා පෙරහර පැවැත්වීමේ අරමුණ අනුරාධපුර පැවති ශ්‍රී විභූතිය හා බෞද්ධ පුනරුදය යළි ඇති කිරීම හා කලට වැසි ලැබී ප්‍රදේශය සශ්‍රීක කරවා ගැනීමය.
පිලානේ දුරුතු මහා පෙරහර
ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන කොට්ඨාසයේ පිහිටි පිලාන ශ්‍රී මහා විහාරය මහනුවර රාජධානියට අයත් ඉපැරණි විහාරස්ථානයකි. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරය සොයාගෙන එහි දුෂ්කරව හා කටුක පරිසරයක එදා වැඩ සිටි පිලානේ බුද්ධරක්ඛිත නායක ස්වස්වාමින් වහන්සේ පිලාන ශ්‍රී මහා විහාරයේද මෑත යුගයේ ආදි කතෘන් වහන්සේයි. 1902 වසරේ වැල්ලම්පිටියේ ශ්‍රී සීලානන්ද නාහිමියන්ගේ මග පෙන්වීම මත ශ්‍රී සත්‍යාලංකාර කල්‍යාණෝදය සමිතිය ආරම්භ කෙරුණු අතර එයින් සිදු කෙරුණු විශිෂ්ඨම මෙහෙවර වන්නේ දුරුතු පෙරහරක් ආරම්භ කිරීමයි. 1902 වසරේ උඩරට, පහතරට ආදී නර්තනාංග වලින් සමලංකෘතව ඇරඹි පිලානේ පෙරහර දකුණු ලකටම ආලෝකයක් බව කිව යුතුමයි. පෙරහර ආරම්භ කළදා පටන් එකදු වාරයක් හෝ කඩ නොවී නොකඩවා පෙරහර පවත්වා තිබීම විශේෂ ලක්ෂණයකි. ඒ අනුව පිලාන් පෙරහරහි ඉතිහාසය සිය වසකටත් එහාට ලියැවී තිබී පිලාන ගම පළාත් වශයෙන් පිලාන හන්දිය පළාත, නිවිතිපිටිගොඩ පළාත තලහිටියාව පළාත වශයෙන් පෙරහර තුනක් පැමිණ විහාර භූමියේදී එක පෙරහරක් වී විහාරය ප්‍රදක්ෂිණා කිරීම චාරිත්‍රාකූලව සිදුවන සිරිතය. චාරිත්‍රානුකූලව පිලානේ පෙරහර දුරුතු මාසයේදී සිදු කෙරේ.
Comments
Post a Comment