පෙම්වතුන්ගේ ලෝකයේ තනිවී විරහ වේදනාවෙන් කඳුළු සලන පෙම්වතුන් පෙම්වතියන්ද තම මවුපියන්ට ඒ දුක නොකියා දිව එන්නේ මහා භද්‍රකාලි කෝවිලටය. අවංක ආදරයක අවසානය කදුළක් බවට පෙරළෙදී කාලි මෑණියන් ඉදිරියේ හඬාවැටෙන එවැනි අන්දමේ පෙම්වතුන් පෙම්වතියන්ටද කාලි මෑණියන් මවක මෙන් පිහිට වී සෙනෙහසින් යුතුව දහසක් දෙනෙත් අතරින් ඔවුන් දෙස බලන්නේ ඔවුන්ගේ කඳුළු පිසදා ඒ දුකින් මුදා හරිමගට ගැනීමටය. ශීතල මීදුම තුරුල් කරගෙන හන්තානේ කඳුවැටියේ අතිනත අල්ලාගෙන පෙම්බස් මුමුනන සරසවි පෙම්වතුන් අතරින් වැඩිදෙනකු ආදරය අහිමි වී ලෝකාන්තය දෙස බලා ආපසු හැරි කාලි කෝවිලට එන්නේ ජීවිත ආශාව ගැන තවදුරටත් බලාපොරොත්තු තබමිනි. ඒ සෑම දෙනාම කාලි මෑණියන් කෙරෙහි විශ්වාසය තබාගෙන කාලි මෑණියන් ළගට එන බව මහා භද්‍රකාලි අම්මාන් කෝවිලේ මහේන්ද්‍රසාමි පැවැසීය. හන්තාන කඳුවැටියෙන් බැස කාලි කෝවිල වෙත ආ එවැනි අන්ද මේ පෙම්වතුන් පෙම්වතියන් බොහෝ දෙනකුට කාලි මෑණියන් පිහිට වී ඔවුන්ගේ කැලඹුණු සිත් සන්සුන් කරගන්නට පිහිට වූ අවස්ථා පිළිබඳ සිද්ධීන් අතරින් එක් සිද්ධියක් ගැන කියන්නට මෙවරද කතාව අවදිකර සිටියේ මහා භද්‍රකාලි අම්මාන් කෝවිලේ මහේන්ද්‍ර සාමියි.“මම මේ කියන සිද්ධියට සම්බන්ධ තරුණයා මම ඉන්න කාර්යාලය ළඟින් කීපවරක් එහාට මෙහාට යනව මම දැක්කා. ඒත් ඒ ගැන හදිසියේම සොයා බලන්න මට බැරි වුණේ ඒ වන විටත් කාලි බැතිමතුන්ගෙන් සහ මෑණියන්ගේ පිහිට පතා ඇවිත් හිටිය පිරිස්වලින් මගේ කාමරය පිරී පැවතුණු නිසයි. එහෙම සක්මනේ යෙදුණු ඒ තරුණයාට මගේ කාමරයට ඇතුළු වෙන්න අවස්ථාව ලැබුණා එදා දවල් 12.30ට විතර. ඒ වෙලාවෙ තරමක බැතිමතුන්ගේ අඩුවක් තිබුණ නිසා ඒ තරුණයා වට පිට බලලා මා ළඟට ආවා. ඒ මම දැක්ක කඩවසම් තරුණයා සරසවි සිසුවෙක්. එයා මා ළඟම හිඳගෙන මුහුණ ළංකරගෙන රහසින් වගෙ එයාගෙ පරාජිත ප්‍රේමයේ කඳුළු කතාව කියන්න පටන් ගත්තා. එයා විස්තර කියනකොට එයාගෙ දෑසින් කඳුළු ගැලුවා. ඒ වෙලාවේ මටත් ඇති වුණේ හරිම දුකක්. මම එයාට තව තවත් කාරුණික වෙලා මගේම පුතකුගෙන් දුක අහන්න වගේ එයාගෙ දුක්බර කතාවට කන් දුන්නා. එයා පේරාදෙණිය සරසවියෙ අවසන් වසරේ සිසුවෙක්. එයා මාතලේ ප්‍රදේශයට නුදුරු ප්‍රදේශයකයි පදිංචිව සිටියි. පාසල් වියේ සිටම එකම පාසලක ඉගෙන ගනිමින් සිටි සිසුවියකට පෙම්බැඳ සිටි මේ තරුණයා එයාගෙ අනාගත ජීවිතය ගැන ගොඩාක් බලාපොරොත්තු තබාගෙන හිටිය අයෙක්. ඒ මොකද ඒ තරුණියටත් සරසවි වරම් ලබාගන්න වාසනාව තිබුණා. දෙදෙනාම සරසවියට එකටම ඇතුළුවීමත් වාසනාවක් ලෙසයි දෙන්නගෙ ආදරයට රැකවරණයක් ලෙසයි හිතුවෙ. නමුත් මේ තරුණයා පාසල් වියේ සිට මේ තරුණියට පෙම් කළද ඇය සරසවියට පැමිණ ටික කලකින් ඇතිවූ වෙනස්කම් නිසා ඔහු ඒ ගැන වැඩි අවධානයක් යොමුකරමින් හිටියෙ. මේ තරුණයා පෙම්බැඳි තරුණියත් මාතලේ ප්‍රදේශයේ තරුණියක් වුණත් ඒ තරුණයාගේ ගම ආසන්නයේ නෙවෙයි පදිංචිව හිටියෙ. සරසවියට ආවට පස්සේ මවුපියන්ගේ ඇවිටිල්ල මත ඒ තරුණිය මවුපියන් දන්නා මහනුවර ප්‍රදේශයේ ව්‍යාපාරික නිවෙසක බෝඩි වුණා. සරසවියට පැමිණි දිනවල වසර 2ක් විතර ඒ අයගෙ ආදර කතාන්දරය වැඩි දියුණු වෙලා තිබුණත් එකට කෑව බීවත් ඇය ටින්කෙන් ටික වෙනස් වෙන්න පටන් ගත්තා. ඒත් මේ තරුණයා මේ තරුණියට තියෙන ආදරය නිසාම ඒ කිසිවක් ගණන් ගත්තෙ නැහැ. එක් දිනක් ඒ තරුණිය සරසවියෙන් පිටවෙලා යද්දී එයාව එක්කගෙන යන්න ඇවිත් හිටියෙ එයා නැවතිලා ඉන්න නිවෙසේ ව්‍යාපාරිකයාගෙ පුතා. ඒ අය ඇවිත් හිටියෙ එයාගෙ වාහනයෙන්. ඒ දර්ශනය දැකපු ගමන් මේ තරුණයාට ඇති වුණේ හරිම වේදනාවක්. එතැන් සිට මේ තරුණයා සරසවි විහාගයත් ළං ළංව එද්දි වුණු මේ සිද්ධීන් වල නිසා කලකිරීමට පත්වෙලයි හිටියෙ. එහෙම ඇතිවූ කලකිරීම නිසාම ඔහුට ලෝකාන්තයෙන් පැනල සිය දිවි හානි කරගන්න තරම් සිත් වුණා. කාලි මෑණියන් අදහන එයාගේ කල්‍යාණ මිත්‍රයෙක් ඔහුට යෝජනා කළා කාලි කෝවිලට යමු කියලා. ඒ තරුණයා එයාගෙ දුම්ගැනවිල්ල මා එක්ක කීවහම මම එයාට දරුවකු වගේ අවවාද කරල එයාගෙ දුක කියන්න කාලි මෑණියන් ඉදිරියේ ඉඩ අවස්ථාව අරන් දීලා එයා ලවා කාලි මෑණියන්ට බාරයක් ගැටගස්සවල කාලි මෑණියන්ගෙන් පිහිටත් ඉල්ලා සිටියා. ඒ තරුණයා කාලි මෑණියන්ට බාරවෙලා ගිහින් සති දෙකක් යන්න පෙර ඒ තරුණයා ඇවිදගෙන යද්දි සුඛෝපභෝගී මෝටර් රියකින් පැමිණි ලස්සන තරුණියක් ඒ තරුණයාට මෝටර් රථයට නඟින්න ඇරියුම් කර සිටියා. මේ තරුණයා ඒ ලස්සන තරුණියගේ මෝටර් රියට නඟිනව ඔහුට පෙම් කරමින් සිට ඈත්වී ගිය තරුණියට දර්ශනය වුණේ අර ව්‍යාපාරික පුතු සමඟ මෝටර් රථයෙන් එද්දීමයි. අර තරුණයා මෝටර් රියට නංවාගත්ත තරුණිය ඒ තරුණයාට ආදරය ප්‍රකාශ කර සිටියේ වාහනය තුළදීමයි. ඒ ආදර ආයාචනය ගැන මේ තරුණයාට පුදුම හිතුණා. ඒ ගැන දෙවරක් හිතන්නෙ නැතිව ඒ තරුණයා ඇයට බහ දීල පෙම්වතුන්ගේ ලෝකයට එකතු වුණා. ඒ විතරක් නෙවෙයි මේ සරසවි තරුණයා සමඟ පෙම්බැඳි තරුණිය එයාගෙ ආදර අන්දරය මවුපියන්ටත් කියලා එයාව රැගෙන ඇගේ ගෙදරට කැඳවාගෙන ගියේ ඒ තරුණියමයි. ඒ තරුණිය ඒ පළාතේ විශාල ව්‍යාපාර හිමි, ව්‍යාපාරිකයකුගේ එකම දියණියයි. මේ කඩවසම් තරුණයා දුටු ගමන් ඒ අයගෙ මවුපියන් මේ තරුණයගෙ මාතලේ ඉන්න මවුපියන්ගේ වතගොත සොයා බැලුවා. ඒ තරුණයාගේ මවුපියන් රජයේ සේවයේ උසස් තනතුරු දරන අය නිසා දානපති ව්‍යාපාරික යුවළ මේ සම්බන්ධයට කැමැති වුණා විතරක් නෙවෙයි දෙපැත්තෙම අය ගෙවල් දොරවලට ගිහින් සාකච්ඡා කරලා ඒ අයගෙ නීත්‍යනුකූල විවාහ ගිවිස ගැනීමත් කඩිනම් කළා. විවාහ මංගල්‍යය සරසවියෙන් පිටවීමෙන් පසු ගන්න යෝජනා වුණා. ඒ තරුණයාට මේ සියල්ල අකුරටම සිද්ධවෙමින් දුක වේදනාව පහව යදී විටින් විට මතකයට ආවේ කාලි මෑණියන්ව. එයා එයාගේ අලුත් පෙම්වතිය සහ එයාගෙ මවුපියන් සමග කාලි මෑණියන් ළගට ආවේ එයාටවත් ඔසවා ගෙන යන්න බැරි තරම් පූජා වට්ටියක් රැගෙන. ඒ ඇවිත් එයා සතුටු කඳුළු දෑසේ පුරවාගෙන කාලි මෑණියන් ඉදිරියේ වැඳ වැටුණෙ තමන්ගෙ මවුපියන්ට වඳින ආකාරයට හැගුම්බරව. ඒ අය කාලි මෑණියන්ට බාර ඔප්පු කරල ගෙදර යන්න ආපසු හැරුණ සෑම මාස තුනකට වරක් කාලි මෑණියන් ළඟට ඇවිත් දණින් වැටී පූජා පවත්වන බවට පොරොන්දු වෙමින්.” කුලුදුල් ආදරය අහිමි වී දුක නිවීමට කාලි මෑණියන් පිහිට වීමට වැඩි දිනක් ගත නොවුණු ආකාරය මේ සිද්ධියෙන් පැහැදිලි වෙනවා. ඒ විතරක් නෙවෙයි සුන් වූ ආදර පැතුම් මත විරහ ගී ගයන පෙම්වතුන් විශාල පිරිසක් දැන් කාලි කෝවිලට එන්න පටන් අරන් තිබෙන බව පවසමින් මහේන්ද්‍ර සාමි ඒ අතීත කතාව අවසන් කළා.
Comments
Post a Comment