කුඩා අවධියේ සිට කාලි මෑණියන් අදහන බැතිමතුන් කාහටත් මෑණියන්ගේ බැල්ම නිරතුරුවම ලැබෙන බව නොරහසකි. කාලි මෑණියන්ගේ වරම් දෙන්නට කුඩා අවධියේ සිට උස් මහත්වී වෙලාව එනතුරු කාලි මෑණියන් ඒ දරුවන් දෙස බලාසිටින්නේ ආරක්ෂා කරන්නේ තමන්ගේත්ම දරුවන් මෙනි. ඔවුන් ගමේ හිටියත් රටේ නොහිටියත් කාලි මෑණියන්ගේ ආකර්ෂණය සදාකාලිකය. එවැනි අන්දමට කුඩා කාලයේ සිට කාලි මෑණියන්ගේ ආරක්ෂණය හිමිව තිබුණු තරුණ කාන්තාවක රැකියාව සඳහා ගොස් ඇය සේවය කළ නිවස ආසන්නයේ සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට උදවු කිරීමට ගොස් ඇය අමාරුවේ වැටුණු අවස්ථාවක කාලි මෑණියන් ඇය ආරක්ෂා කොට ඇයට වින කටිමින් විරුද්ධවාදිකම් කළ අසල්වැසි කාන්තාවට දඬුවම් දී හිස් අතින් ලංකාවට පන්නා දැමූ අතීත සිද්ධියක් කියන්නට මෙවරත් හඬ අවධිකර සිටියේ මහා භද්‍රකාලි අම්මාන් කෝවිලේ මහේන්ද්‍ර සාමිය. “මම මේ කියන කාන්තාවට කුඩා අවධියේ සිට එයාගෙ මියගිය මිත්තණිය ආදරයෙන් ළංවී සිටියා. ඒ නිසාම මේ අයට කාලි මෑණියන් මියගිය මිත්තණිය මාර්ගයෙන් කාලි වරමක් දෙන්න සූදානමෙන් හිටියා. මෙයාගෙ ළාබාල වයස නිසා තරමක් උස්මහත් වනතුරු එය ප්‍රමාද කළේ මිත්තණිය ඇයට ඇයගේ හොඳට ළංවී සිටින බව කාලි මෑණියන්ගේ දහසකුත් දෑස් අතරට එක්වී තිබුණු නිසයි. කොහොම නමුත් කාලි මෑණියන් ඇයගේ ආරක්ෂාවට නිරන්තරයෙන් සෙවණැල්ලක් මෙන් පෙනී සිටින ඇගේ මිත්තණියගේ ආත්මය මේ කාන්තාවට ළංවීම වසර කීපයක් යනතුරු දුරස්කර තැබුවා. එහෙම කළේ ඇයගේ ජීවිතය සරුකර දෙන්න. එහෙම කාලය ගතවෙදි මේ කාන්තාවට ජෝර්දානයේ ගෘහ සේවිකාවක් ලෙස රැකියාවක් ලැබුණා. ඒ ගෙදර හිටිය ජෝර්දන ජාතිකයා විවාහවෙලා සිටියේ එංගලන්තයේ සුදු ජාතික කාන්තාවක් සමඟ. ඒ දෙන්නා මේ කාන්තාවට හොඳට සැලකුවා. ඇයට ලංකා මුදලින් රුපියල් හතළිස් දාහක විතර වැටුපක් දුන්නා. ඒ විතරක් නෙවෙයි සිංහල තාලෙට ආහාරපාන හරිගස්ස ගන්නත් පහසුකම් සලසා දීලයි තිබුණේ. ඒ කාන්තාව හිටිය නිවෙසට යාබද නිවෙසේ වැඩට ඇවිත් හිටියේ ලංකාවේ කොළොන්නාව පැත්තේ කාන්තාවක්. කුවේට් - ඉරාක යුද්ධය පැවැති සමයේ යුද්ධයට බියේ කුවේට්වල ඉඳන් ආව මුස්ලිම් ජාතික යුවළක් තමයි ඒ ගෙදර පදිංචිව හිටියේ. මේ කාන්තාව ඒ අසල්වාසී ගෙදර හිටිය ලාංකික ගෘහ සේවිකාව සමඟ මිත්‍ර වුණා. මිත්‍ර වුණා පමණක් නෙවෙයි, ඒ ගෙදර මිදුවට හොරෙන් සිංහල තාලෙට එයා උයන පිහින දේවල් පවා අසල්වැසි හිතවතියට ලබාදුන්නේ කිසිම ලෝභකමක් නැතිව. ඒ අසල්වැසි තරුණියට එයා හිටිය ගෙදරින් හරිහැටි කෑමක් බීමක් නැතිව සිටි නිසා තමයි මේ කාන්තාව එහෙම උදවු කළේ. සුදු ජාතික කාන්තාවගේ ගෙදර සිටින මේ කාන්තාවගේ මවත් හිටියේ ජෝර්දානයේ අම්මාන් නුවර. ඒ මෙයා සිටින ජෝර්දාන් ජාතිකයාගේ මවුපියන්ගේ නිවෙසේ. මේ කාන්තාවට එන ලිපි පවා ආවේ ඒ මව සිටින ලිපිනයට. එංගලන්ත සුදු ජාතික කාන්තාව විවාහ කරගෙන ඉන්න ජෝර්දන ජාතිකයා සති අන්තයේ හැමදාම මවුපියන් බලන්න අම්මාන් නුවරට ගියාම එයාගේ ගෙදර ඉන්න මේ කාන්තාව හා මවගේ නමට ආව ලියුම් එයා මේ කාන්තාවට ගෙනැත් දෙනවා. නමුත් ලිපි ලැබීමට සතියක් විතර යන නිසා මේ කාන්තාව ඒව කඩිනමින් ගෙන්වා ගන්න මිත්‍රවී සිටින අසල්වැසි කාන්තාවගේ පිහිට පැතුවා. ඉන් පස්සේ එයාගේ ලියුම් පවා ආවෙ අසල්වැසි නිවෙසට. මාස කීපයක් ගතවෙද්දී ඒ අසල්වැදි කාන්තාව මේ කාන්තාව සමඟ තිබුණ ඇයි හොඳයි හිතවත්කම අඩුවන්න පටන්ගත්තා. මේ කාන්තාව සිටින ගෙදර සුදු ජාතික කාන්තාව මෙයාට හොඳින් සලකන එක ගැන අල්ලපු ගෙදර කාන්තාව ඊර්ෂ්‍යා කළා. මේ කාන්තාව අල්ලපු ගෙදර කාන්තාව සමග කොච්චර මිතුරියක ලෙස හිටියද කියනවානම් සෑම අවුරුද්දකම ඒ තරුණියගේ උපන්දිනයට උපන් දින සාදය ගත්තේ මේ කාන්තාව සිටිය සුදු ජාතික කාන්තාවගේ ගෙදර. ඒ ගෙදරට අවට ගෙවල්වල හිටිය ලංකාවේ කාන්තාවන් පිරිසක්ද අවුරුදු පතා සහභාගි වුණා. ඒ අවස්ථාවට ජෝර්දන ජාතිකයයි සුදු කාන්තාවයි දෙන්නත් සහභාගි වුණා. මේ කාන්තාව අල්ලපු ගෙදර හිටිය ඒ මිතුරියට එයාට ලැබෙන තෑගි බෝගවලිනුත් කොටසක් දුන්නා. ඒ තරමට ඒ අයට සහෝදරියක් වගේ මේ කාන්තාව සැලකුවා. අන්තිමේ අල්ලපු ගෙදරට මේ කාන්තාවගෙ නමට ලංකාවෙන් එවන ලියුම් දීමත් අර කාන්තාව නතර කරලා ඒවා විනාශ කළා. දිනක් මේ කාන්තාවයි අල්ලපු ගෙදර කාන්තාවයි අතර ඇති වුණු බහින්බස්වීමක් දුරදිග ගිහින් දෙන්නට දෙන්න අමනාප වුණා. ඒ ගෙදර කවුරුත් නැති වෙලාවේ සුදු කාන්තාව සිටින ගෙදර ඉන්න හිතවතිය දීල තිබුණ සුවඳ විලවුන් බෝතල් කීපයක්ම අර කාන්තාව ඒ ගේ ඉදිරිපිටට ගෙනත් පොළොවෙ ගහල බිඳල බැණ වැදිල ගියා. මේ කාන්තාවටත් ඒකට තරහා ගිහින් බෝතල් කටු සියල්ල කවරයකට එකතු කරල ගිහින් අල්ලපු ගෙදර පඩිය මතට විසි කළා. ඊට පස්සෙ මේ සිද්ධිය පැමිණිල්ලක් බවට පත්වෙලා ස්වාමිදූවරුන් දෙදෙනා අතර ගැටුමක් බවට පත් වුණා. ඒ සිද්ධියෙන් බැණුම් අහන්න වුණේ සුදු කාන්තාව සිටින ගෙදර ගෘහසේවිකාවට. මේ සිද්ධීන් එක වැලටම වෙද්දි සුදු කාන්තාව සිටින ගෙදර ඉන්න කාලි මෑණියන්ගේ බැල්ම තියෙන කාන්තාව එයාගෙ කාමරේ තියාගෙන වැඳුම් පිදුම් කරමින් සිටින කාලි මෑණියන්ට මේ අවනඩුව භාර කරමින් කන්නලව් කළා. මේ අසාධාරණය ගැන දුක කියමින් ඇය මුළු රැයක්ම කාලි මෑණියන්ගේ රුව ඉදිරිපිට හඬා වැටුණා. දින සති ගෙවීයද්දි අල්ලපු ගෙදර කාන්තාව සියලු දේට වැරදිකාරිය බවට ඒ ගෙදර අය තීරණය කරල ඒ කාන්තාව ආපසු ලංකාවට එවීමට කටයුතු කළා. ඒ විතරක් නෙවෙයි ඒ කාන්තාව ලංකාවට එන්න පෙර අවුරුදු එකහමාරක් විතර එකතු කරගෙන තිබුණ රත්තරන් බඩුත් එයාගෙ කාමරෙන් අතුරුදන් වුණා. ඒක කොහොම වුණාද කියල ඒ කාන්තාවට දැන ගන්න ලැබුණේ නැහැ. රන් බඩු නැතිවීම ගැන කොළොන්නාවෙන් ආව ගෘහ සේවිකාව එයාගේ හිටිය ගෙදර අයට කියල හඬා වැලපුණත් ඒ අයට ස්වාමි දුවගෙන් පිහිටක් ලැබුණේ නැහැ. ඒ අය හිතුවෙ මේ කාන්තාව කවුරුන් සමඟ හෝ අනියම් සබඳතාවක් තියෙන්න ඇතියි කියල. කොහොම නමුත් සුදු කාන්තාවගේ ගෙදර හිටිය පිළියන්දල පැත්තේ ගෘහණිය අල්ලපු ගෙදර ඉන්න ගෘහ සේකාවට සිදුවෙමින් තියෙන දේ ගැන කම්පා වුණා. කොළොන්නාවේ කාන්තාවට ස්වාමිදුවල ලංකාවට එන්න ටිකට් එක හදල දීල මාසෙක වැටුප විතරක් දීල ඒ කාන්තාව ලංකාවට එවා. ඒ කාන්තාව එනතුරු කටුනායක ගුවන්තොටුපොළේ ඇගේ සැමියා බලා හිටියේ දහසකුත් බලාපොරොත්තු ඇතිව. ඒත් ඒ අයගේ දරුවන්ගේ සිහින බොඳවී ගොස් තිබුණා. කටුනායක ඉඳන් කොළොන්නාවට එනතුරු සැමියා එයා සමග සණ්ඩු වුණේ ඇය දෙස සැකමුසුව බලමින්. අන්තිමේ ඒ කාන්තාවට වුණේ දරුවන් ගෙදර තියල සැමියාගෙන් වෙන්වී මවුපියන් ළඟට යන්න. විදේශ රටකදී වුව කාලි මෑණියන්ගේ බැල්ම ඇති කාන්තාවකට හිංසාවක් වීමට ඉඩ නොදී ඇය රැකගෙන ඇයට හිරිහැර කළ කළගුණ නොදත් ඒ කාන්තාව රටින් පිටමං කර එවීමට කාලි මෑණියන්ගේ දෑස් යොමුවූ අන්දම මේ අතීත සිද්ධියෙන් පැහැදිලි වෙනවා.”
Comments
Post a Comment