කුරුවල් පල දරන පොල්ගස් ඇත්නම් එම ගසට සම්පූර්ණ කඳ ඇතුළට වදින පරිදි පරාල ඇණයක් ගසනු. මාස කීපයකින් කුරුවල් පල දැරීම මුළුමනින් ම නතර වේ.
එහි විද්‍යාත්මක පදනම
සමහර ගෙවතුවල සරුවට පල දැරුවත් එම ගෙඩි කුරුවල් වෙන පොල්ගස් කලාතුරකින් වුව දැකිය හැකි ය. මෙම තත්ත්වය නිසා එම ගස්වල ගෙඩි ප්‍රයෝජනයට ගැනීමට නුපුළුවන. ඊට හේතු ව බාගෙට පැසී කලටි වයසට එළඹෙන විට සියලු ම ගෙඩි කුරුවල් වී බිම වැටීම ය.
මෙ ලෙස පොල්පල කුරුවල් වී බිම වැටීමට හේතුවන කරුණු කීපයක් ඇත. ඉන් පළමු වැන්න ගෙඩි බහුල පොල් ඉති ගසට දරා ගැනීමට නුපුළුවන් වීම ය. එ විට නටුව කඳෙන් නො ගැලවුණත් බුරුල් වීම නිසා එම ඉත්තේ ගෙඩි කුරුවල් වී බිම වැටේ. දෙවන කාරණය පොල් ගස උපතින් ම කිසියම් දුබලතාවයකින් යුක්ත වීම ය. ඊට හේතු ව කුරුවල් පොල් ගෙඩියක් පැළ වී වැවුණ ගසක් ය යන්න ගැමියන් ගේ මතය වී තිබේ. මෙම දෙයාකාරයෙන් ම පැහැදිලි වෙන්නේ ගසේ පවත්නා යට කී දුර්වල තා මත පොල් ඉති නිසි ලෙස පලදරා පැසීමට හැරිය නො හැකි තත්වයක් උද්ගත වී ඇති බව ය. ඊට පිළියම් වශයෙන් මහා පරිමාණයේ වැවිලි කරුවෝ ගන්නා පියවර එම ගස් කපා ඉවත් කොට අළුතෙන් පැළ සිටුවීම ය. එහෙත් ගම්බද ගෙවතු හිමියෝ එ ලෙස නො කරති. තම ගෙවත්තේ එවන් ගසක් ඇත්නම් එම ගසේ පවත්නා දුබලතාවය මග හරවා යථා තත්ත්ව යට පත් කර ගැනීම සඳහා යම් යම් කෙම් පහන් කරති. මෙහි ඉහත සඳහන් මෙම ප්‍රායෝගික කරණයට බඳුන් වන්නේ එ බඳු අවස්ථාවලදී ය. පරාල ඇණයක් රැගෙන පොල් ගසේ බොඩය තෙක් බසින ලෙස ගැසීම එම කෙම් පහන් අතර එක් ක්‍රමයකි. මෙම ක්‍රියාවේ දී සිදු වන්නේ කුමක් ද? පල නො දරන ගස්වල කටු කම්බි පැටලීම, මිටියකින් ගසට ගැසීම, පිහියකින් කෙටීම ආදී ලෝහ ස්පර්ෂ වන විදියේ ක්‍රියාවක් සිදු කිරීම ගැමියන් අතර කොතෙකුත් ප්‍රචලිතව පවතී. මෙය ද ඒ හා සමාන ක්‍රියාවකි. යකඩ ඇණයක් පොල් ගසට ගැසු ව විට එම ලෝහයට ගන්සේ පවත්නා දුර්වල තාවය මග හරවා ගස යථාතත්වයට පත්කිරිමේ හැකියාවක් ඇති බව උපකල්පනය කළ හැකි ය.
Comments
Post a Comment