gossiplanka image 1
 


කෙම


ගගක හෝ ඔයක පතුලෙන් දියේ කිමිදී අවශ්‍ය පමණ වැලි ගෙන පහත සඳහන් ගාථා පංතියෙන් පේකර උස් ස්ථානයකින් තබා සවස කුඹුරට ගොස් කතා නොකර ඉසින්න. මීයන් ගේ හානිය දුරු වේ.


ගාථා පංතිය


සබ්බ පාපස්ස අකරණං

කුසලස්ස උපසම්පදා

සචිද්ද පරියෝ දපනං

ඒතං බුද්ධානු සාසනං


සබ්බ පාපස්ස අකරණං

කුසලස්ස උපසම්පදා

සචිද්ද පරියෝ දපනං

ඒතං ධම්මානු සාසනං


සබ්බ පාපස්ස අකරණං

කුසලස්ස උපසම්පදා

සචිද්ද පරියෝ දපනං

ඒතං සංඝානු සාසනං


එහි විද්‍යාත්මක පදනම


මෙම කෙම බුද්ධ භාෂිතයට අයත් ය. පයට නො පෑගුණ වැලි ඒ සඳහා අවශ්‍ය වේ. ගගක හෝ ඔයක පල්ලෙන් වැලි ලබාගත යුත්තේ එ බැවිනි. මෙලෙස පවිත්‍රතාවයෙන් යුතු ව ලබා ගන්නා වැලි බලගැන්වීම ඉහත සඳහන් ගාථා රත්නයෙන් කළ යුතු ය.  අපේ පැරණි ගොවියෝ වී වගාව කළේ දෙවියන් බුදුන් අදහාගෙන ය. එම නිසා එයින් ලබන අස්වනු හඳුන්වන ලද්දේ බුද්ධ භෝගය යනුවෙනි. ඔවුහු ගොයම් කපා පාගා අස්වනු ගෙට ගත් විගස ප්‍රථමයෙන් ම බුදුන් ගේ කොටස වෙන් කරති. ඊළගට දෙවියන් ගේ කොටස වෙන් කරති. පසු ව එම වී වලින් සහල් සකස් කිරිබත් පිස බුදුන් ට පූජා කිරිමට අමතක නො කරති. ඊළඟට අම්පොල නමින් හඳුන්වන දෙවියන් ගේ කොටස කෙම්මුර දිනයක දී දේවාලය වෙත ගෙන ගොස් දෙවියන්ට පුදා කපු මහතා ගෙන් ආශිර්වාද ලබා ගනිති. මේ අයුරින් දෙවියන්ට බුදුන්ට ගෞරව සම්ප්‍රයුක්ත ව කරනු ලබන වී ගොවිතැනේ දී සතුන් ගෙන් කොතෙක් අලාපාලු පැමිණුනත් ඔවුහු උන්ට හිංසා පීඩා නො කරති. උන් විනාශ කර දැමීමට මාන නො බලති. පළවා හැරිම පමණක් කරති. ඒ සඳහා ඔවුන් කරනු ලබන ක්‍රමර්ධ අතර කෙම් ක්‍රම වලට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. එ මෙන් ම පට ඔවුන් දක්වන්නේ දැඩි කැමැත්තකි. ඊට මුලික හේතු  වන්නේ එ මගින් සතුන්ට හිංසාවක් පීඩාවක් සිදු නොවීමය.


මෙම කාර්යය සඳහා පමණක් නොව නොයෙකුත් විදියේ අපල උපද්‍රව කරදර වලට ද සහනයක් සලසා ගත හැකි මෙම ගාථා රත්නය තුළ ඇත්තේ බුද්ධානු භාවය යි. එහි බුද්ධානු භාවය මුසු ශබ්ද තරංග මඟින් අදාළ පලිබෝධකයාට කුඹුරට නො පැමිණ මඟ හැර යෑමට අවිහිංසාවාදී ඉගියක් සපයනු ලැබේ. කතා නො කර වැලි ඉසිය යුත්තේ බල ගැන්වු එම වැලි වල පවිත්‍රතාවය සුරැකීම සඳහා පමණක් ම නොවේ. කුඹුරේ නිසි තැන්වලට වැලි වැටීම සඳහා කෙම කරන්නා ගේ අවධානය යොමු කිරිම පිණිස ය.  එ නිසා මෙම ගාථා රත්නය සජ්ඣායනා කොට කරන ලද වැලි ඉසීමෙන් කුඹුරට පැමිණ ඇති මීයන්ගේ හානිය මුළුමනින් ම දුරු කිරීමට පුළුවන.