කෙම
එකකට එකක් කෙටි වන සේ කදුරු කෝටු 7ක් කපා පේ කර ගෙන එම කෝටු හැම එකක් ම වෙන් වෙන් වශයෙන් පහත සඳහන් මන්තරයෙන් 108 වර බැගින් ජීවම් කර ඉර බැස යන හැන්දෑ කරේ කතා නො කර හේනේ හෝ කුඹුරේ තැනින් තැන එල්ලනු. වල් ඌරන් ගෙන් පැමිණෙන හානි මුළුමනින් ම නතර වේ.
මන්ත්‍රය
ඕං නමෝ මුනි මුනි මහා මුනි වජ්ජ්‍ර මුනේ ස්ම:
එහි විද්‍යාත්මක පදනම
වනාන්තර ආශ්‍රිත ගම්වල ගොවියෝ හේන් සහ කුඹුරු ගොවිතැනේ දී මුහුණ දෙන බරපතල අලාපාලුවකි ගොවිතැනට වන සතුන් ගෙන් සිදුවන හානි ය. ඔවුන් එම හානි වළකා ගැනීම සඳහා රාත්‍රී කාලයට ගිනිමැල ගසාගෙන පැල් රකිමින් උන් එළවා දැමීමට වෙහෙස දැරීම අද ඊයේ සිට සිදු වෙන්නක් නොවේ. ඈත අතීතයේ සිට ම එම හානිය අඩු වැඩි වශයෙන් පවතී. මේ අයුරින් හේන්වලටත්, කුඹුරු වලටත් පැන බෝග විනාශ කරන වන සතුන් අතුරෙන් වල් ඌරන් සිදු කරන හානිය සුළු පටු නොවේ. මෙහි සඳහන් වන්නේ උන් ගේ පැමිණීම වළකාලිය හැකි සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකි කෙමකි. එ බැවින් මෙම කෙම කළ විට වල් ඌරන් නො පැමිණෙන්නේ කුමන හේතුවක් පදනම් කරගෙන ද යන්න විමසා බැලීම මෙහි දී ප්‍රයෝජනවත් ය. වල් ඌරෝ කණ්ඩායම් වශයෙන් ජීවත් වීම ප්‍රියකරන වන සත්ව විශේෂයකි. එම නිසා වල් ඌරු රංචුවල වැඩිහිටි, තරුණ, ළාබාල යන හැම තරා තිරමකට ම අයත් ඌරෝ සිටිති.
එක එක ප්‍රමාණවල කදුරු කෝටු ගෙන වෙන වෙන ම ජීවම් කර හේන්නේ රැඳවීමෙන් පෙනී යන්නේ ලොකු කුඩා හැම වල් ඌරෙකුට ම හේනට නො පැමිණෙන මෙන් තහංචි පැන වීමකි. කතා නො කර කෙම කිරිමෙන් ගම්‍යමාන වෙන්නේ ජීවමේත්, කෙමේත් බලය සුරක්ෂිත කිරිමක් ය යන්න අමුතුවෙන් කිව යුතු නොවේ.හැන්දෑකරේ කෙම කළ යුත්තේ එම ජාමය වල් ඌරන් පැමිණෙන කාල වේලාවට ආසන්න බැවිනි. කෝටු කපා ගන්නා කදුරු ගස කෙරෙහි ද මෙහි දී අවධානය යොමු විය යුතු ව තිබේ. එහි විශේෂත්වයක් පවතී. වල් ඌරෝ ගස්වල මුල්, වැල අල පොළව බිඳ ආහාරයට ගත්තත් කදුරු ගස් වෙත ළංවෙන්නේ නැත. ඒවා අධික තිත්ත රසයෙන් යුක්ත වන බැවින් උන්ට විෂ සහිත ය. මෙම කෙම සතු විද්‍යාත්මක පදනම එය බව අනාවරණය කරගත හැකි අතර, සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකි කෙමක් හැටියට මෙය හඳුන්වා දිය හැකි ය.
Comments
Post a Comment