කෙම
හේන් ගොවිතැනේ දී කුඩා වන සතුන් ගෙන් වන හානි වළකා ගැනීම සඳහා පහත සඳහන් මන්තරය 108 වරක් නො පෑගුණ වැලිවලට මතුරා හේනට ඉසිනු. කුඩා වන සතුන් ගෙන් වන හානි වැළකේ.
මන්ත්‍රය
ඕං හනුමා ජගරේ පෝ අප්පා හනුමා පෝ ඩී හ්‍රීං යං කිංචි ලෝකේ විජ්ජාචරණේ ස්වහාං
එහි විද්‍යාත්මක පදනම
හේන් ගොවිතැනේ දී පමණක් නොව කුඹුරු ගොවිතැනේ දී ද වගාවට කුඩා වන සතුන්ගෙන් වන හානි වළකා ගැනීම සඳහා සත්කෝරළ ගොවියෝ භාවිතයට ගෙන ඇති මෙම කෙම වයඹ පළාතේ වඩාත් ජනප්‍රිය ව ඇති බව පෙනේ.ප්‍රතිඵල ඉතාමත් සාර්ථක බව පැවසෙන මෙම කෙම කළවිට වන සතුන් පළා යන්නේ ඇයි? ඔබට ප්‍රශ්නයක් විය හැක. ඒ ගැන විමසා බැලීමට පෙර නො පෑගුණ වැලි ලබා ගන්නේ කෙසේ ද යන කාරණය කෙරෙහි අවධානය යොමු කළ යුතු ය. මිනිස් පයට නො පෑගුණ වැලි ලබාගත හැක්කේ ගංගා පන්ලකිනි. එසේ නැත්නම් ඔයක පලෙනි. එම වැලි කෙනෙක් නොයොදවා තුමූ ම ලබා ගැනීම වඩාත් සුදුසු ය. එ මඟින් නොපෑගුණ වැලි බවට විශ්වාසය ද තහවුරු වෙන බැවින් සාර්ථක අන්දමින් ප්‍රතිඵල ලැබීමට මහෝපකාරී වේ.මේ අයුරින් ලබාගන්නා වැලි සේදී යෑමෙන් පමණක් නොව මිනිස් පය ගැටීමෙන් කිළිටි වී නැති බැවින් පවිත්‍ර ය. හේනක හෝ කුඹුරක ඇත්තේ ඉහත සඳහන් කළ සතුන්ට හුරුපුරුදු පසකි. එම පස මත උසැරිසරා ඇති බැවින් කිසිදු අමුත්තක් නැත.ගං හෝ පතුලකින් ලබා ගන්නා වැලි එම සතුන්ට නුහුරු ය. එහි උන්ට අමුත්තක් ඇත. එම වැලි මෙහි ඉහත සඳහන් මන්ත්‍රයෙන් ජීවම් කළ විට ඊට ගුප්ත බලයක් ද එක් වේ. වනසතුන්ට අනතුරු හා උපද්‍රව හදුනා ගැනීම සඳහා සහජයෙන් උරුම වුණ ඉවක් තිබේ. වනසතුන් වගා බිමට ඇතුල් වුණ පසු ව ප්‍රථමයෙන් ම කරනු ලබන්නේ එම ඉව භාවිතා කරමින් අනතුරුදායක තත්වයක් ඇත්දැයි විමසා බැලීම ය. එ විට උන්ට නුහුරු නුපුරුදු වැලි විශේෂයක් වගා බිමේ විසිරී ඇති බව දැනේ. වන සතුන් එය හඳුනාගන්නේ අනතුරුදායක තත්වයක් හැටියට ය. ඊට මන්තර බලයක් ද එක් වී තිබීම තවත් විශේෂත්වයකි. එයින් බියට පත්වන වන සත්තු වගාබිම අසලකවත් නො සිට පළායති.
Comments
Post a Comment