කෙම
ගොයමට පණු රෝගයක් වැළඳුණ විට නැවුම් මුට්ටියක් ගෙන තුනැට්ට මත හෝ නියර මත ළිපක් සාදා කිරි උතුරුවන්න. කිරි ඉතිරුණ පසු ව එම මුට්ටියට ම කැකුළු හාල් දමා නො ඉඳුල් කිරිබතක් පිසින්න. ඉක්බිති කුඹුර වටා නියරේ හත් පොළක කෝටු කෑලි හතක් සිටුවා එම කෝටු කෑලි මත කෙසෙල් පතුරු කෑලි හතක් බඩවත උඩට සිටින සේ අමුනන්න. ඒ වා මතට කිරිබත් ටික ටික බෙදා ඉතිරි කිරිබත් කුඹුර පුරා ඉසින්න. කිරිබත පිසීමේ දී ළිපට පිඹීමත්, මේ සියල්ල කරන විට කතා කිරිමත් නොකළ යුතු ය. දින දෙක තුනකින් බලන විට පණු රෝගය මුළුමනින් ම නිවාරණය වී ඇති අයුරු දැකිය හැකි ය.
එහි විද්‍යාත්මක පදනම
කිරි ඉතිරවීම සමෘද්ධිය හා සෞභාග්‍යය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවකි. මෙම කිරි ඉතිර වීමෙන් එම කාර්යය පමණක් නොව තවත් පලදායී ක්‍රියාවක් ඉෂ්ට සිද්ධ වේ. ඒ ගොයමට වැළඳුණ පණුරෝගය නිවාරණය වීම ය. මෙම කිරි ඉතිරවීම සිදු කොට නො ඉඳුල් කිරිබතක් පිසිය යුතු බව කෙම අනුව සඳහන් වේ. එය නියමයකි. කිරිබත් එ ලෙස පිසිය යුත්තේ රසය සහ සුවද ආරක්ෂක්ෂා කර ගැනීම සඳහා ය. තවත් අතකට විමසා බලන විට කෙම් පහන් වල දී යමක් නො ඉඳුල් ව පිළියෙල කරන්නේ ඊට ඇති ගෞරවය ආරක්ෂා කිරිමේ පරමාර්ථයෙනි. මෙහි දී නො ඉඳුල් ව කිරිබත් පිසීමේ ඉහත සඳහන් පරමාර්ථ දෙක ම අතිශයින් වැදගත් ය. කිරිබත් කෙසෙල් පතුරු වලට බෙදා කුඹුරට ඉස්ස පසු කුරුල්ලෝ පැමිණෙති. ඉක්බිති ඔවුන් කෙසෙල් පතුරු මත වසා කිරිබත් කන්නට පටන් ගනී. එ විට කෙසෙල් පතුරු ගැල වී බීම වැටේ. එහෙත් කුරුල්ලෝ ආරම්භ කළ කාර්යය අත් නො හරිති. බිමට බැස හැලුණ කිරිබත් අහුලති. එම කිරිබත් ද කන කුරුල්ලන්ට කුඹුරට ඉසින ලද කිරිබත් ද දර්ශනය වේ. බිම ඇති කිරිබත් ඉවර වුණ පසු ව නිරායාසයෙන් ම වාගේ උන් කුඹුරට යොමු වෙයි. කුඹුරේ ඇති කිරිබත් ද අවසන් වුණ පසු ව ගොයමේ සිටින පණුවන් වෙත උන්ගේ අවධානය යොමු වේ. පණුවන් යනු කුරුල්ලන් ගේ ජනප්‍රිය ආහාරයකි. මෙහි දී කුරුල්ලන්ට රසින් හා සුවඳින් යුතු කිරි බත් කන්නට දී උපක්‍රමශීලීව ගොයමේ සිටින පණුවන් වෙත අවධානය යොමුකර ඇති ආකාරය විස්මයජනක ය. ජීව විද්‍යාත්මක පලිබෝධ නාශක ක්‍රමය පදනම් කරගත් මෙම කෙමට යොමුවෙන ගොවියා පණුවන්ගේ හානිය කුරුල්ලන් ලවා නිවාරණය කරවා ගනිති. මෙම කෙම ක්‍රියාවට නැංවීමේ දී කිරිබත් බෙදීම සඳහා කෙසෙල් පතුරු හතක් භාවිතා කිරිම පිළිබඳව ද අවධානය යොමු කළ යුතු ය. ශාන්ති කර්ම, කෙම් ක්‍රම ආදී කටයුතු වලදී හත විශේෂ අංකයකි. එය වාසනාවන්ත හා සාර්ථක සංඛ්‍යාවක් යයි විශ්වාසයක් තහවුරු වී පවතී. හත් වරක් මැතිරීම, ද්‍රව්‍ය හතක් භාවිතා කිරීම නිදසුන් හැටියට සඳහන් කළ හැකි ය.
Comments
Post a Comment